• Kurahan Suwanda

    ශ්‍රී ලංකාවාසී ජනතාව මහත් වූ අභිමානයෙන් සමරන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඉතාමත් ආසන්න කාලසීමාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට අවස්ථාවක් ලැබීම භාග්‍යක් ලෙස සලකමි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලංකා වාසී ජනතාවට මෙම අවුරුද්ද සතුටින්, සාමයෙන්, සෞභාග්‍යවත් නව වසරක් වේවායැයි මුලින්ම සුබ පැතුම් ගෙන එන්නෙමු.

    ගැටුම්, තරහා අමතක කර සෑම දෙනෙකුම එකා මෙන්ම සිංහල අලුත් අවුරුද්ද සැමරීම අනාදිමත් කාලයක සිට පැවත එන්නා වූ සිරිතයි. ඉතින් මේ අවුරුද්දේදී ඔබ ඔබගේ සබඳතා අලුත් කරගනිමින්, ගැටුම් අමතරක කරමින් කටයුතු කරන ලෙස මේ අලුත් අවුරුද්දේ මම ඔබෙන් ඉල්ලා සිටිමි.

    අලුත් අවුරුද්දේ සෘණාත්මක දෑ පැවැසීම උචිත නොවුණත් වත්මන් ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියා පිළිබඳව ඔබව දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. අවුරුද්දේ සුන්දර බව උඩින් පෙනෙන්නට තිබුණත් ඒ යට පවතින්නේ වඩාත් අසුන්දර කතාවකි. අවුරුද්ද නිමා වීමත් සමග යහපාලන ආණ්ඩුව ජනතාව පෙළා දමන කටයුතු ආරම්භ කරනු ඇත.

    එයින් පළමුවැන්න වන්නේ ජීනීවා හි සම්මත කරගත් යෝජනාව ආණ්ඩුව වසර දෙකක් තුළ ක්‍රියාත්මක කිරීමට සිදුවීමය. අපගේ රණවිරුවන් පිළිබඳව කරන පරීක්ෂණයකට ආණ්ඩුව දැන් කැමැත්ත පළ කර අවසන්ය. මේ කරණ පරීක්ෂණ හා අධිකරණ කටයුතු සඳහා විදෙස් විනිසුරුවන් සම්බන්ධ වීම හෝ නොවීම පිළිබඳව ජනතාවට පැහැදිලි චිත්‍රයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත්ව තිබේ. ජනපතිවරයා හා අගමැතිවරයා විදෙස් විනිසුරන් සම්බන්ධ කර නොගන්නා බව පැවැසුවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවාහිදී කිවේ ඊට හාත්පසින්ම වෙනත් කතාවකි.

    එසේම ඉදිරියේදී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයද ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය ගැටලුවක පත්කරමින් ආරම්භ කිරීමට යන මෙම අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත පිළිබඳව ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවීම අත්‍යාවශ්‍ය කරුණකි. එසේම ඉදිරියේදී සංවර්ධන විශේෂ විධිවිධාන පනතද වෙනත් ආකාරයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳවද ජනතාව දැඩි උනන්දුවකින් සිටීම අත්‍යාවශ්‍ය කරුණකි.

    සිංහල අලුත් අවුරුද්ද මතුවෙන් ඉතාමත් ලස්සනට පෙණුනත් ඒ යටින් තිබෙන අතිශය භයානක කතාව පිළිබඳව මේ කළේ මතක් කිරීමක් පමණකි. අලුත් අවුරුදු කාලයේදී ජනතාව රතිඤ්ඤා පත්තුකරමින් , නෑගම් යමින් සතුටුවත් රටේ අනාගතයට සිදුවීමට යන මේ දැවැන්ත අභාග්‍යසම්පන්න කරුණු පිළිබඳව ජනතාව දැනුවත් වීම වටී.

    අලුත් අවුරුද්ද අවසන් වූ වහාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපිට මූලිකවම මැයි දිනයේ සංවිධානය කටයුතු සිදුකිරීම ආරම්භ කළ යුතු වෙයි. ඒ වෙනුවෙන් දැනටමත් අප සැලසුම් සකස් කර අවසන්ය. ආණ්ඩුව අපගේ මැයි රැළිය පැවැත්වීම සඳහා ගාලුමුවදොර පිටිය ලබාදී තිබේ. එක් අතකින් ආණ්ඩුව අපට මැයි දිනය පැවැත්වීම සඳහා ගාලු මුවදොර පිටිය ලබාදීමෙන් කළේ එක්තරා ආකාරයක අභියෝගයකි.

    නමුත් අපි ඒ අභියෝගය  ඉතාමත් සතුටෙන් බාර ගන්නෙමු.ඉතිහාසයේ මැයි දින රැළියක් වෙනුවෙන් සහභාගීවන වැඩිම ජනතා සහභාගීත්වය මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේදී දැක ගැනීමට හැකිවෙනු ඇත.

    අනිත් අතින් අවුරුදු නිමාවත් සමගින් මේ යහපාලන ආණ්ඩුව අපෙගෙන් දේශපාලන වශයෙන් කරන්නා වූ පළිගැනීම් තවදුරටත් ක්‍රියාත්මක කරවනු ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා අවස්ථා දෙකකදීම මේ බව පවසා තිබුණි. ආණ්ඩුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් පළිගත් ආකාරයෙන්ම එකාබද්ධ විපක්ෂයේ තවත් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනු ඇත. ඒ අතර මා සිටියොත් පුදුම වීමටද අවශ්‍ය නොවේ.

    අලුත් අවුරුද්දේ ආණ්ඩුවට මතක් කර දිය යුතු කරුණක්ද තිබේ. ඒ දිගින් දිගටම කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය පිළිබඳවය. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබාදීමට පැමිණි ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරාගෙන වසර දෙකකට ආසන්න කාලයක් ගතවී අවසන්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතා කැමැතැත උරගා බැලුවේ මැතිවරණ පවත්වමිනි. නමුත් මේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට බිය වී තිබේ.

    පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දැමීම හේතුවෙන් ගමේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. දිගින් දිගටම ඩෙංගු උණ වර්ධනය වීමත්, විවිධ වූ වෛරස් උණ පැතිරීයාමටත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නිසි පරිදි කසළ බැහැර නොකිරීමය. මැතිවරණ කොමසමේ සභාපතිවරයා  පවසන්නේ තමන් ඕනෑම අවස්ථාවකදී දැන් මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බවයි. එසේ නම් ආණ්ඩුව කළ යුතු වන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමයි. ජනපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය ඇති පළාත් සභා හි මහ ඇමතිවරුන් අතර පැවැති හමුවේද පළාත් පාලන මැතිවරණය මේ වසරේදී පවත්න බව සඳහන් කළත් මේ දක්වාම ඒ සඳහා සූදානමක් පෙනෙන්නට නොමැත.

    නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේදී ගැටලු ඇතිවන්නේ නම් මේ වසරේදී පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වා ඉදිරි කාලයේදී නව ක්‍රමයකට යෑම මේ සඳහා ඇති එකම විසඳුමයි. මා දන්නා අයුරින් පාර්ලිමේන්තුවේ  බොහෝ දෙනෙක් එයට කැමැත්තද ප්‍රකාශ කර තිබේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

     

     

Leave a reply.

You must be logged in to post a comment.