• Kurahan Suwanda

    ශ්‍රී ලංකාවාසීන්ගෙන් බහුතරයක් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වන මොහොතක මෙම සතියේ කුරහන් සුවඳ ලිපිය ලිවීමට අවස්ථාවක් ලැබී තිබේ. මුලින්ම ලිවීමට ඇත්තේ වෙනදා අලුත් අවුරුද්දකදී ජනතාව උද්යෝගයෙන් යුතුව කටයුතු කරන අයුරු දක්නට ලැබුණත්, මෙවර එවැනි තත්ත්වයක් දක්නට නොමැති බවයි. මාර්තු මාසයේ අවසන් සතියේ පටන් ජනතාව වෙළෙඳ සැල්වලට පැමිණ අවුරුද්ද සඳහා අවශ්‍ය බඩු බාහිරාදිය, ඇඳුම් පැලඳුම් මිලදී ගැනීමට යුහුසුලුව කටයුතු කරති.

    නමුත් මේ අවුරුද්දේ ජනතාව ඒ අයුරින් යුහුසුලුව හැසිරෙන ආකාරයක් දක්නට නොමැත. ජනතාව හැසිරෙන්නේ අවුරුද්දක් නොමැති ගාණටය. ඒ සඳහා බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමට ජනතාව දරන්නා වූ ආයාසයයි. බඩුමිල දිනෙන් දිනම ඉහළ යයි. එහි අඩුවක් පෙනෙන්නට නොමැත. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්ධමනය 4෴ ට ආසන්න අගයක පැවැතුණද මාර්තු මාසයේදී එය 7.2෴ ක් දක්වා ඉහළ ගොස් තිබේ. එයින්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හැසිරීම ඔබට වටහාගැනීමට හැකිය. කිරිබතක් පිළියෙල කිරීමට හාල් කිලෝවක්, පොල් ගෙඩියක් මිලදී ගත් විට සාමාන්‍ය ජනතාව දිනයක ලබාගන්නා වැටුපෙන් භාගයක් පමණ වැය වෙන තත්ත්වයක් දැන් තිබේ.

    මේ සඳහා ආණ්ඩුවේ අදූරදර්ශී ආර්ථික දැක්ම හේතු වී තිබේ. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවද උද්ධමනය ඉහළ යෑමට හේතුවකි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් මහ බැංකුවේ සහකාර අධිපති සේපාල රත්නායක මහතාද සිය සාක්ෂි ලබාදීමේදී බැඳුම්කර ගනුදෙනුව හරහා උද්ධමනය ඉහළ ගිය ආකාරය පැහැදිලි කර පෙන්වීය.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනතාව බැඳ දමා තිබූ පටි ලිහන බව කියමින් ජනතාව මුළාකරමින් බලය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළද, ඔවුන් දැන් ජනතාවගේ පිට පමණක් නොව මුඛයද පටිවලින් වසා තිබේ. ජනතාවගේ පිට තද කර තිබුණේ කුමන ආණ්ඩුවක් යටතේද යන්න දැන් දැන් ජනතාවට තේරුම් ගොස් අවසන්ය.

    ජනතාවගේ පටි දිගින් දිගටම තද කරන අතරේ අතුරු අයවැය, පරපූරක ඇස්තමේන්තු ගෙනෙමින් තමන්ගේ පටි ලිහාගැනීමට නම් ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. සතියෙන් සතියට වාහන ලබාගැනීමට ඔවුහු කෝටි ගණන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් සිටිති. ඇමතිවරුන් සුඛෝපභෝගී වාහන මිලදීගන්නා විට, ආණ්ඩුව දිගින් දිගටම සාමාන්‍ය ජනතාව මිලදීගන්නා කුඩා වාහන මිල ඉහළ යැවීමට කටයුතු කරමින් සිටියි. වැස්සෙන් නොතෙමී යෑමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නද, අද වනවිට අඩුම තරමේ යතුරුපැදියක් හෝ මිලදීගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත.

    ලෝකයේ පිළිගත් නායකයන් පටි තද කරගන්න යැයි ජනතාවට පවසන විට මුලින්ම කරන්නේ තමන් හා කැබිනට් මණ්ඩලය පටි තද කරගෙන ජනතාවට ආදර්ශයක් ලබාදීමයි. නමුත් ලංකාවේ ආණ්ඩුව පටි ලිහාගන්නේ මහජනතාවගේ පටි බෙල්ල තෙක් තද කරමිනි.

    මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකේය ජනතාවගේ අනාගතය පිළිබඳ තීරණය කෙරෙන අවුරුද්දක් ලෙසද හැඳින්විය හැක. මා එසේ පවසන්නේ මේ අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා ජනතාවට තමන්ගේ යැයි පැවසිය හැකි රාජ්‍ය සම්පත් බොහෝ ප්‍රමාණයක් අහිමිවීමට නියමිත හෙයිනි. ශ්‍රී ලංකා ආර්ථිකයේ අනාගතය තීරණය කරන රාජ්‍ය සම්පත් කිහිපයක්ම ආණ්ඩුව පෞද්ගලික අංශයට පැවැරීමට මේ වනවිට සැලසුම් සකස් කොට අවසන්ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් කුමක් පැවසුවද හම්බන්තොට වරාය ඇතුළු ආර්ථික මර්මස්ථාන කිහිපයක් පෞද්ගලික අංශයට ලබාදීමට එක්සත් ජාතික පක්ෂ නායකයන් කටයුතු කරනු ඇත. මේ පිළිබඳ ඇස් කන් පියා බලාගෙන සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට සිදුවෙනවා මිස එය නැවත්වීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

    හම්බන්තොට වරාය ගිවිසුම ශ්‍රී ලංකා ජනතාවට වාසිදායක ලෙස සකස් කරගැනීමට වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උත්සාහ ගන්නා බව පෙනුණද, ඔහුට ඉහළින් සිටින ආර්ථික කමිටුව මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇත. හම්බන්තොට වරාය, කොළඹ වරාය,  විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව අනාගතයේදී තවදුරටත් අපට හිමි සම්පත් නොවනු ඇත.

    මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට අසත්‍ය පවසමින් කටයුතු කරන ආකාරය අපි ඔබට පැහැදිලි කර පෙන්වීමු. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අමාත්‍ය මණ්ඩලයද එකිනෙකාට නොදෙවෙනි අයුරින්  අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුළා කිරීමට කටයුතු කරමින් සිටිති.

    මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අධිකරණයක් පිහිටුවා එයට ජාත්‍යන්තර විනිසුරුවන් ගෙන ආ යුතු බවට ජිනීවා යෝජනාවලියේ ලිඛිතව තිබෙන විට අගමැතිවරයා පවසන්නේ එවන් දෙයක් නොමැති බවයි. ජනාධිපතිවරයා කියන්නේද එවන් දෙයක් නැතැයි යනුවෙනි. නමුත් විදේශ අමාත්‍යවරයා පමණක් එවැනි කරුණක් පවතින බව කියයි.

    එසේ නම් ව්‍යවස්ථාවට පටහැනි දෙයක් විදේශ කටයුතු අමාත්‍යවරයා යෝජනාවලියට එකතු කළේ කාගේ බලයක් ලබාගෙනදැයි යන්න ප්‍රශ්නකාරී තත්ත්වයකි. ව්‍යවස්ථාවට පටහැනි දෙයක් යෝජනාවලියට දැමීම පිළිබඳ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වගකිව යුතුයි. එසේ නොමැති නම් විදේශ කටයුතු අමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කළ යුතුය.

    කෙසේ වුවද ආණ්ඩුව සිදුකරන්නා වූ ජනතා විරෝධී ක්‍රියාමාර්ග නැවැත්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ අපි හැකි අයුරින් කටයුතු කිරීමට ජනතාවට පොරොන්දු ලබාදෙන්නෙමු. එහිදී ආණ්ඩුව අපව නිශ්ශබ්ද කිරීමට කටයුතු කරනු ඇත්තේ අභූත චෝදනා එල්ල කරමින් අප සිරගත කරමිනි. සිරගෙවල් එකක නොව කිහිපයක ගියද අපි ජනතාව වෙනුවෙන් කරන සටන කිසි ලෙසකින්වත් නතර කිරීමට සූදනම් නොවෙමු.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.