• Kurahan Suwanda

    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳ පසුගිය සතියේදීද අපි කුරහන් සුවඳ ලිපි තීරුවෙන් සාකච්ඡා කළෙමු. කෙසේ වෙතත් ජනතාවට සංවේදී නොවන ආණ්ඩුව ජනතාව විරෝධය පවා නොතකමින් සිය මුරණ්ඩු ආර්ථික තීරණ ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටියි. පසුගිය සති අන්තයේදී මිරිජ්ජවිල ආයෝජන කලාපය සඳහා මුල්ගල තැබීමේදී ඇතිවූ සිදුවීම එහි ආසන්නතම සිදුවීමයි.

    අගමැතිවරයා හා ආණ්ඩුව මෙම ගැටලුව වෙනත් පැතිකඩක් කරා යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.නමුත් මේ පිළිබඳ හම්බන්තොට ජනතාව තුළ පැහැදිලි සැකයක් මෙන්ම සිය ඉඩම් හා දේපළ පිළිබඳ පැහැදිලි බියක්ද තිබේ. මේ සටහන ලියන අවස්ථාව වනවිටත් හම්බන්තොට ජනතාව ජීවත්වන්නේ බියෙන් හා සැකයෙනි. එය යථා තත්ත්වයට පත්කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැතිවා මෙන්ම අවශ්‍යතාවක් ඇති බවක්ද පෙනෙන්නට නැත.

    මේ අතර හම්බන්තොට පිළිබඳ ආණ්ඩුව තුළ මත දෙකක් පවතින බවට පෙනේ. ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ එකදු බිම් අඟලක් හෝ නොවිකුණන බවයි. එහෙත් ඒ ප්‍රවෘත්ති ප්‍රකාශයේම ඊළඟ ප්‍රවෘත්තිය ලෙස වාර්තාවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු හම්බන්තොටින් අක්කර 15000ක් ගන්නා බවටමහ නායකවරුන් දැනුවත් කරන ආකාරයයි.  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා සිටින රැස්වීමෙන් එළියට විත් මාධ්‍යයට පවසන්නේ තම ආණ්ඩුවකුමන ප්‍රශ්නය පැමිණියද, අක්කර 15,000ට අදාළ ගිවිසුම හා වරාය ගිවිසුම අත්සන් කරන බවයි.

    ජනාධිපතිවරයා රටේ භූමිය නොවිකුණන බව ප්‍රකාශ කරන විට ඊට පසුදින අග්‍රාමාත්‍යවරයා සියලු පාර්ශ්වයන්ට ආරාධනා කරමින් හම්බන්තොට කර්මාන්ත පුරයක් සඳහා මුල්ගල් තැබීය. ජනාධිපතිවරයා මේ පිළිබඳ නොදැනුවත්දැයි අපි නොදනිමු. නමුත් ඔහු මේ පිළිබඳ කිසිවක් නොදන සිටීම හෝ ඒ සඳහා දැඩි ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස මම කනගාටු වෙමි. මේ හේතුවෙන් ජනතාවගේ තිබෙන සැකය හා බිය තවදුරටත් ඉහළ යයි. හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපයට මුල්ගල තැබීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් නොවූයේ ඇයිද යන්න ගැටලුවකි. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් එම අවස්ථාවට එක් නොවීමද ගැටලුවකි.

    හම්බන්තොට ආයෝජන කලාපයට එරෙහිව ජනතාව සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කළේ මෙවැනි වටපිටාවක් පවතිද්දීය. එහිදී කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සිදුකිරීමට ඔවුන් සූදානම් වූයේ නැත. නිදහස ගැන සඳහන් කරන ආණ්ඩුව එම අවස්ථාවේ ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හම්බන්තොටදී අහිමි කළේ ආරක්ෂක අංශ මෙන්ම මැර කණ්ඩායම් යොදාගෙන ප්‍රහාරයක් කරමිනි. මෙම ප්‍රහාරයෙන් ස්වාමීන් වහන්සේලා පවා තුවාල ලැබූහ.

    මෙහිදී ආණ්ඩුව සඳහන් කළ ප්‍රධාන කරුණක් වූයේ උසාවි නියෝගයක් තිබියදී විරෝධතාව දැක්වූ බවයි. නමුත් උත්සවයට පෙරදින තිස්ස මහාවිහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඉදිරිපිටදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ %උසාවි නියෝගය ඉවත්කරන්නම්, උත්සවයට එන්න^යනුවෙනි.

    අගමැතිවරයගේ කතාව විශ්වාස කළ සියලු දෙනා විශ්වාස කළේ උසාවි නියෝගයක් ක්‍රියාත්මක නොවන බවයි. ඒ අනුව පැවැත්වූ සාමකාමී පාගමනේ පන්සිල් ලබාගන්නා අවස්ථාවේ ආණ්ඩුව පහර දුන්නේය.  සාමකාමී නොවන උද්ඝෝෂණයක් නම් පන්සිල් සමාදන් වීමේ අවශ්‍යතාවක් නැත. සාමකාමී විරෝධතාව පැවැත්වූ අයට පමණක් නොව නිවෙස්වල සිටි අයට පවා ඔවුහු පහර දුන්හ. මෙහිදී දරුවන්, වැඩිහිටියන් කාන්තාවන් යැයි කියා කිසිදු තැකීමක් නොකෙරිණි. ආණ්ඩුවකෙතරම් මර්දනයක් දියත් කළද වරාය විකිණීමට එරෙහිවත්, ඉඩම් විකිණීමට එරෙහිවත් අපිදිගින් දිගටම විරෝධතාසිදුකරමු. එය හුදෙක්ම දේශපාලන වාසි නිසා පවත්වන්නක් නොවන අතර, සැබැවින්ම මතු ඉපදීමට සිටින දරුවන් වෙනුවෙන් පවා කරන අරගලයකි.

    මෙවැනි ආකාරයට ජනතා විරෝධී තීන්දු තීරණ සඳහා විරෝධය දක්වන්නට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින විට එහි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සිදු වෙයි. එහි නවතම අවස්ථාව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගැනීමයි. යහපාලන ආණඩුවේ දේශපාලන පළිගැනීම් මේ වසරේදී හෝ අවසන් වනු ඇතැයි සිතුවද, මේ අත්අඩංගුවට ගැනීම් හරහා කියැවෙන්නේ එය ඉදිරියටත් පවත්වාගෙන යන බවයි. මේ වසරේදී හෝ ආණ්ඩුව ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට යමෙකු විශ්වාස කළේ නම් එය හුදෙක්ම මුළාවක් පමණි.

    ඔවුන් ඉලක්ක කරන්නේ විපක්ෂයේ සිටින ප්‍රබල කථිකයන්ය. ඉදිරියේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතයි. එසේම ඔවුන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නේ හම්බන්තොටට පාවාදීමට එරෙහිව ජනතාව තව තවත් දැනුවත් කරන අවස්ථාවකදීය.  එවැනි අවස්ථාවක විපක්ෂයේ ප්‍රධාන කථිකයන් අත්අඩංගුවට ගැනීම හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ විපක්ෂයේ හඬ මර්දනය කිරීමයි.

    විමල් වීරවංශ ඇමතිවරයාට තිබෙන චෝදනාව වන්නේ වාහන අවභාවිත කිරීමයි. ඔහු ඇමතිධුරය දැරූ අවස්ථාවේ ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාද සිය හිතවතුන් වෙනුවෙන් වාහන ලබාදීමක් සිදුකර තිබේ. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමක් හෝ ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැත. නියෝජ්‍ය ඇමතිවරයාගේ නම මා විසින් සඳහන් නොකළද, අප දැනුවත් පරිදි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපව ඇසුරුකරයි. මෙයින් මනාව පැහැදිලි වන්නේ තෝරාගත් පිරිසකට පමණක් දඬුවම් කරන බව නොවේද? යහපාලනය යනු එයදැයි අපි නොදනිමු.

    ලබන සතියේ හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.