• Kurahan Suwanda

    ජීවන වියදම හා උද්ඝෝෂණ

     

    කුරහන් සුවඳ ලිපි මාලාවට අදාළව පසුගිය සතියේදී පළ කළ යුතුව තිබූ ලිපිය පළ නොවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම පාඨක ජනතාවගෙන් සමාව ඉල්ලමින් මෙවර ලිපිය ආරම්භ කිරීමට අදහස් කළෙමි. පසුගිය සතියේදී අධිකරණ කටයුතු වෙනුවෙන් බොහෝ සෙයින් කාර්යබහුල වීම හේතුවෙන් එම සතියේදී කුරහන් සුවඳ ලිපිය ලිවීම අතපසු විය.

    පසුගිය සතිය මෙන්ම මෙම සතියද දේශපාලනික වශයෙන් වඩාත් ආන්දෝලනාත්මක කාලසීමාවක් බවට පත් විය. ආණ්ඩුවේ මේ වනවිට පවතින මතගැටුම් සමග ජනතාවට පෙනෙන්නට තිබෙන දෙයක් වන්නේ ආණ්ඩුව තුළ පවතින මතගැටුම් තව තවත් වර්ධනය වෙමින් තිබෙන බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකළ කැබිනට් සංශෝධන ප්‍රකාශය ඒ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණයයි.

    ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව තුළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් කැබිනට් සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් පවතින බවයි. ඉක්මනින්ම කැබිනට් මණ්ඩලයේ වෙනසක් වන බව කියූ මහින්ද අමරවීර අමාත්‍යවරයාම වළි පවසන්නේ කැබිනට් සංශෝධනයකට හදිසියක් නොමැති බවයි. ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින මතභේදය එයින්ම පෙනෙයි.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩු කළද එයින් ජනතාවට ලැබුණු සහනයක් පෙනෙන්න නැත. ජීවන වියදම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන අතර, එයට පිළියමක් ලබාදීමට හෝ යහපාලන ආණ්ඩුවට නොහැකි වී තිබේ. රුපියල් 200 ක් රැගෙන කඩයකට ගිය විට හාල් කිලෝවක් හා පොල් ගෙඩියක් පමණක් මිලට ගත්විට එම මුදල් අවසන් වෙයි. විශේෂයෙන්ම ඉතිහාසයේ කිසි දිනක නොවූ අයුරින් සහල් මිල ඉහළ ගොස් තිබේ. එම මිලෙහි අඩු වීමක් කෙදිනක හෝ සිදුවුවද පැවැති මිල ගණන් යටතේ නැවත වරක් සහල් මිලදී ගැනීමට නම් අවස්ථාවක් නොලැබෙනු ඇත.

    සහල් සඳහා පනවා තිබූ බදු පහළ දමමින්, වී අලෙවි මණ්ඩලය සතු සහල් තොග විකුණා දමමින්, සහල් මිල අඩු කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත්තද, එහි මිලෙහි වෙනසක් සිදු නො‍වූයේ රට තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක නිසාවෙනි.

    මේ සඳහා එකම විසඳුම ලෙස ආණ්ඩුව මගින් සහල් ආනයනය කිරීම දක්වා තිබුණද අදූරදර්ශී ආණ්ඩුවේ ක්‍රියාකලාපය මේ සඳහා හේතු වූ බව අපට පෙනී යයි. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ආණ්ඩුව ලබාදුන් පොහොර සහනාධාරය කප්පාදු කිරීම, සහල් අතිරික්තයක් තිබෙන බැවින් වී වගා නොකරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම වැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග මේ සඳහා හේතු වී තිබේ. එම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල මේ වනවිට විඳීමට සිදුව ඇත්තේ රටේ අහිංසක දුපප්පත් ජනතාවටය.

    පොහොර සහානාධාරය කපාහැරීම හරහා වී වගා කළ ගොවීන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් වූ අතර, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් “වී අතිරික්තයක් තිබෙනවා, දැන් වී වගා කරන්න එපා* යනුවෙන් සිදුකරන ලද ප්‍රකාශය හරහා තවදුරටත් වී නිෂ්පාදනය අධෛර්යමත් වීය. එයින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සැලසුමක් නොමැතිකමයි. ජීවන වියදම ඉහළ යන තරමට ජනතාවගේ ආදායම වර්ධනය නොවීම නිසා සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය එන විට ජනතාවට අති විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවෙයි.

    මේ අතර සහල් මාෆියාවක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවමත් ආණ්ඩුව පරීක්ෂණයක් ආරම්භ කර නැත. ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් මහතාද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළත්, ඒ කිසිවක් ගැන පරීක්ෂණයක් නැත.

    එමෙන්ම නැවතත් වියළි කාලගුණය රටට බලපා තිබේ. ලැබූ වර්ෂාව තරමක් දුරට අස්වැසිල්ලක් වුවද නියඟය පහව ගිය බවක් එයින් පැහැදිලි නොවීය. නියඟය, ජීවන වියදම් ඉහළ යෑම ආදී කරුණු පිළිබඳ ආණ්ඩුවක් වශයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුය.

    ජනවාරි මාසය පුරාවටත්, පෙබරවාරි මාසයේ ආරම්භක සතිය පුරාවටත් රටේ විවිධ ප්‍රදේශවලින් උද්ඝෝෂණ ව්‍යාපාර වාර්තා වූ අතර, ආණ්ඩුව පවසන්නේ උද්ඝෝෂණ හරහා රටේ උද්ඝෝෂණ කරන්න ඕනෑ තරම් ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි පෙනෙන බවයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේද ප්‍රජාතන්ත්‍රවාදය පැවතුණු අතර, විවිධ විරෝධතා පැවැත්විණි. නමුත් යහපාලන ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගීටීමක් ඒ කාලයේදී සිදු වූයේ නැත. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන උදම් ඇනුවද උද්ඝෝෂකයන්ට සැලකුවේ අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය යොදාගනිමිනි. මේ උද්ඝෝෂණවලින් පෙනෙන යථාර්ථය නම් වර්තමානයේ රටේ විවිධ කණ්ඩායම්වලට විවිධ ගැටලු පවතින බවයි.  ජනතාව පාරට බහින්නේ මේ කිසිදු ගැටලුවකට ආණ්ඩුවට පිළිතුරු ලබාදීමට නොහැකි වීම නිසාවෙනි.

    මෙවැනි ආකාරයට දිගින් දිගටම විරෝධතා ව්‍යාපාර පැවැත්වුවහොත් රටෙන් බාගයක් පමණ වන ජනතාව වසර අවසන් වනවිට පාරට බසිනු ඇත. එමෙන්ම විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හරහා සිරගෙවල් ඔවුන්ගෙන් පිරී යනු ඇතවි. හම්බන්තොට විරෝධතාවට එක්වූ පිරිස් සහ කොළඹ පැවැති උද්ඝෝෂණවලට එක් වූ සිසුහු තවමත් බන්ධනාගාරයේය.

    උද්ඝෝෂණවලට ප්‍රහාර එල්ල කර ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් මෙය පාලනය කළ හැකි බව ආණ්ඩුව සිතනවා නම් එය හිතලුවක් පමණි.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නොරොච්චෝලේ බලාගාරයෙන් කොමිස් ලබාගත් බවට කළ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී යමක් පැවසිය යුතුය. මුලින්ම කිවයුතු වන්නේ එම ප්‍රකාශය අසත්‍ය බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මේ වනවිටත් ප්‍රකාශයක් කර  අවසන් බවයි. එය චන්ද්‍රිකා මැතිනිය වැනි හිටපු ජනපතිවරියක හා බණ්ඩාරනායක මැතිතුමාගේ හා සිරිමාවෝ මැතිනියගේ දියණියක වශයෙන් කළ යුතු ප්‍රකාශයක් නොවේ.

    ඇය රාජපක්ෂ පවුල පිළිබඳ විටින් විට අසත්‍ය ප්‍රකාශ කළාය. චීන රජය පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කළාය. මෙවැනි ආකාරයට ප්‍රකාශ සිදු කිරීම හරහා ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර පවතින සබඳතා සඳහා ගැටලුවක් ඇති විය හැකිය. කෙසේ වෙතත් ඇයගේ අසත්‍ය ප්‍රකාශවලට රටේ ජනතාව දැන් අවධානය යොමු කරන්නේ නැත. එමෙන්ම ඇය මේ වනවිට ජාත්‍යන්තර සබඳතාවක්ද පාවා දී තිබේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

Leave a reply.

You must be logged in to post a comment.