• Kurahan Suwanda

    මීතොටමුල්ල වෙනුවෙන් භේදයකින් තොරව එක්වෙමු!

    අලුත් අවුරුද්දේ හැමෝම සතුටින් සිටින විට අපට අසන්නට දකින්නට ලැබුණේ හද කම්පා කරවන ප්‍රවෘත්තියකි. ඒ මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ ඛේදවාචකයයි. ඊයේ දිනය වන විටත් කුණු කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ අයගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණි. ඒ විපතෙන් නිශ්චිතවම කොපමණ පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇත්ද යන්න පිළිබඳව ඊයේ දිනය වන විටත් අවසන් වශයෙන් නිල ප්‍රකාශයක් රජය මගින් ප්‍රකාශ නොවුණි.

    මෙහි දේශපාලනික වශයෙන් වගකීම ගත යුත්තේ කුමන මන්ත්‍රීවරයාදා මන්ත්‍රීවරියද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම අනවශ්‍යය. නමුත් මේ කුණු කන්දේ ගැටලුවට තිරසාර විසඳුමක් අවශ්‍ය බවට එහි ජනතාව දිගින් දිගටම බොහෝ කාලයක සිට කතා කළ මාතෘකාවක් වුණි. එමෙන්ම %මීතොටමුල්ලට තවත් කුණු එපා^ යනුවෙන් දිගින් දිගටම ඔවුන් විරෝධතා දැක්වීය. පසුගිය මාර්තු මාසයේදීත් ජනතාව කොලොන්නාවේ මාර්ග අවහිර කරමින් කුණු කන්දට එරෙහිව  විරෝධතාවක් පැවැත්වීය. ඒ ජනතාව සමග එක්තරා මන්ත්‍රීවරයෙක්ද පාරට බැස උපවාස කළේය. නමුත් එයින් පසුවත් කොලොන්නාවට කුණු ගෙන ඒම අවසන් නොවුණි.

    දේශපාලනික වශයෙන් මේ කුණු කන්ද පිළිබඳව කතා කරන්නේ නම් කොළොන්නාව කුණු කන්දට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු ජනතාවට පොරොන්දු ලබාදෙමින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට පැමිණි පිරිස් බොහෝය. ඔවුන් එසේ මන්ත්‍රී තනතුරු ලබාගත් පසුව මීතොටමුල්ල කුණු කන්දේ ගැටලුවට විසඳුමක් දෙනවා වෙනුවට කළේ මුනිවත රැකීමයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ බව මනාව පෙනුණි.

    කොළඹට එකතු වන කුණු කොළොන්නාවට රැගෙන ගියේ කොළඹ නගර සභාවේ මැදිහත්වීම මතය. ඉතිහාසයේ පටන්ම කොළඹ නගර සභාවේ පාලනය පැවැතියේ එක්සත් ජාතික පක්ෂය යටතේය. එක් අවසථාවකදී පමණක් ස්වාධීන කණ්ඩායමකින් කොළඹ නගර සභාව පාලනය කළද, ස්වාධීන කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ අනුව කොළඹ කුණු පාලනය කිරීම පිළිබඳව සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

    මේ, කුණු කන්ද යටින් පවතින දේශපාලන තත්ත්වයයි. නමුත් දැන් කුණු කන්දේ ගැටලුව පිපිරී අවසන්ය. දේශපාලනය නිසා අවසාන වශයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ රටේ තවත් අහිංසක ජන කණ්ඩායමකටය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ කුණු කන්දේ ගැටලුවට විසඳුමක් ලබාදීමට ගත් උත්සාහය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අදහස් කරන්නෙමු. මන්දයත් කුණු කන්ද නාය යෑමටත් අවසානයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා වගකිව යුතු බවට මේ ආණ්ඩුව ප්‍රකාශ කිරීමට වැඩි ඉඩක් පවතින බැවිනි.

    මීතොටමුල්ල කුණු කන්ද වෙනත් ස්ථානයකට ගෙන යෑමටත්, කොළඹ කසළ කළමණාකරණය කිරීමටත් ලෝක බැංකුවේ ආධාර යටතේ මහින්ද රාපක්ෂ ආණ්ඩුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි. ඒ සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන අටක ප්‍රතිපාදන වෙන් කර තිබුණි. ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබුණි. මෙහිදී පුත්තලම දිස්ත්‍රික්කයේ අරුක්කාලු ප්‍රදේශයට මීතොටමුල්ල කුණු කන්ද රැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණය කිරීමට සැලසුම් සකස්කර තිබුණි. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සිය මාර්ගය අලුත්වැඩියා කිරීමටද එකඟ වී තිබුණි. පාරිසරික තත්ත්ව ඇගයීම් කර එහි  වාර්තාද අනුමත වී තිබුණි.

    කසළ කළමනාකරණය කිරීමට අදාළ මන්ත්‍රීවරුන්ට අදහස් ලබාගැනීම සඳහා ඔවුන්ව දකුණු කොරියාවේ සංචාරයකට යොමු කළෙමු. ඒ කසළ කළමනාකරණය කිරීම සඳහා හොඳම ක්‍රමය පවතින්නේ කොරියාවේ බැවිනි. ලෝක බැංකු ආධාර යටතේ මූලික මුදල් මේ සඳහා වෙන්කර තිබියදීත් ආණ්ඩු මාරුවත් සමගින් මෙම වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වත්මන් ආණ්ඩුව විසින් නවතා දැමීය. නමුත් ආණ්ඩුව සිදුකළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මීතොටමුල්ල කුණු කන්දේ ගැටලුව අවසන් කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමයි. එසේ කළා නම් මෙවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට ජනතාවට මුහුණදීමට සිදු නොවන්නට තිබුණි.

    මීතොටමුල්ලට කුණු රැගෙන නොයන බවට දැන් ආණ්ඩුව විසින් තීරණයක් ගෙන තිබුණද දිනපතා කොළඹට එකතුවන කුණු කුමන ප්‍රදේශයට රැගෙන යන්නේදැයි පැහැදිලිව මේ වන තෙක් ප්‍රකාශක් සිදුකර නොමැත. අවුරුදු දින කිහිපයේදී ගම්බිම් බලා ගිය ජනතාව දැන් ක්‍රමයෙන් කොළඹට පැමිණෙමින් සිටියි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී කොළඹ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති අතර, දිනපතා සුපුරුදු පරිදි කුණු එකතුවීමක්ද සිදුවනු ඇත. ඒ අනුව කුණු බැහැර කිරීම පිළිබඳව ආණ්ඩුව ඉක්මනින්ම තීරණයක් ගත යුතුව තිබේ.

    මේ අතර පසුගිය දින කිහිපයේදී කොළඹ සැලකිය යුතු ප්‍රමාණයක් කුණු එකතු වී තිබේ. ඒ අනුව ඇළ මාර්ග කිහිපයක්ද අවහිර වී තිබේ.  දැන් දැන් මෙය ජාතික ප්‍රශ්නයක් බවට පත්වනු ඇත. කොළඹ මේ වන විටත් සැලකිය යුතු මට්ටමක ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් දැකිය හැකිය.  ඒ තත්ත්වය තවදුරටත් උත්සන්න වීමට මෙම කුණු ප්‍රශ්නය බලපෑම් එල්ල කරනු ඇත.  එමෙන්ම අපිරිසුදු පරිසර පද්ධතිය හේතුවෙන් රෝගී තත්ත්වයන්ද වර්ධනය වනු ඇත. දිනපතා රාජකාරියට පැමිණෙන ජනතාව මෙම රෝගාබාධ රැගෙන ගමට ගිය විට ගමේ සිටින පවුල්ද මේ හේතුවෙන් ගැටලුවලට මුහුණ දෙනු ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් දින පහක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලින් ඉල්ලීමක් සිදුකර තිබේ. ජනපතිවරයා  සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලීම වැදගත්ය. කෙසේවෙතත් වාර්තාවක් ඉල්ලීමෙන් පමණක් එයට විසඳුම් නොලැබෙනු ඇත. පසුගිය මාස කිහිපයේදීම ජනපතිවරයා විවිධ ගැටලු පිළිබඳව වාර්තා ඉල්ලුවද ඒ වාර්තා සඳහා සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව ජනතාවට දැනුවත්භාවයක් නොමැත. මේ ගැටලුව හුදෙක්ම වාර්තාවකට පමණක් සීමා නොකළ යුතුය. මෙහි මූල්‍යමය ගැටලුවක් නොමැත. අවුරුදු ගණනාවක් මේ කුණු කන්ද පිළිබඳ ගැටලුවට තාවකාලික පැලැස්තර ඇලවීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ නමුත් දැන් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට දැන් කාලය පැමිණ තිබේ. මේ ගැටලුව විසඳීම සඳහා එකිනෙකාට ඇඟිලි දිගුකර ගැනීමකින් තොරව, පක්ෂ භේදයකින් තොරව සහය දිය යුතු බවට මම මතයක සිටින්නෙමි. කුණු කන්දේ ගැටලුව විසඳීම  සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යා හැකිනම් එයද මෙයට ස්ථිර විසඳුමක් වනු ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

Leave a reply.

You must be logged in to post a comment.