• මෙගා බොරු හා ලිච්ඡවී පාලනය – කුරහන් සුවඳ

    මැතිවරණයෙන් පසු නැවත වරක් ත්‍රිකුණාමලයේ හා කන්තලේ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ සොයා බැලීමටත් එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුවෙනවාද යන්න සොයා බැලීමටත් පසුගිය සතියේදී එම ප්‍රදේශවල සංචාරයක නිරත වීමට අවස්ථාව ලැබිණි. එහිදී එම ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණු අතර, සංවර්ධන කටයුතු සියල්ලම එක තැන ඇනහිට තිබේ.

    අගමැතිවරයා ත්‍රිකුණාමලය නගරය සම්බන්ධ කරමින් “මෙගා සංවර්ධනයක්” කරන බවට නොයෙක් වර ප්‍රකාශ කළද, ත්‍රිකුණාමලය හා ඒ අවට කිසිදු සංවර්ධනයක සලකුණක් හෝ පෙනෙන්නට නොමැත. ඒ අනුව ත්‍රිකුණාමලය සංවර්ධන පිළිබඳ අගමැතිවරයාගේ තවත් “මෙගා බොරුවක්” ගමේ භාෂාවෙන්ම කියනවා නම් %අතේ පත්තු වී^ තිබේ. මෙගා සංවර්ධනයක් පිළිබඳ කයිවාරු ගසන ආණ්ඩුවට අඩුම තරමින් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියට ගෙන ආ සංවර්ධන ව්‍යාපෘතීන් හෝ ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි වී තිබේ. එයින් අවසානයේදී බැට කමින් සිටින්නේ අසරණ ජනතාවය.

    ත්‍රිකුණාමලය හා කන්තලේ ජනතාව එහි පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් නිතරම ජලය පිළිබඳ ගැටලුවකට මුහුණදෙන අතර, එයට විසඳුම් දීමට ආරම්භ කළ වැව් අමුණු පිළිසකර කිරීමේ ව්‍යාපෘතිද එක තැන පල්වෙමින් තිබේ. මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම රජයේ වගකීම වුවද, වත්මන් ජනතාව පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මේ ගැටලු විසඳෙන බවක් පෙනෙන්නට නොමැත.

    පසුගිය ජනාධිපතිවරණ කාලයේදී වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු ඉටුකළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව ජනතාවට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහන මිලක් යටතේ රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදියට අය කළ මුදල ආපසු ලබාදෙන බවත්, ක්ෂේත්‍ර නිලධාරීන්ට නොමිලයේ යතුරුපැදි දෙන බවත්ය. නොමිලයේ යතුරුපැදි ලබාදෙනවා වෙනුවට ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදියෙන් තවත් මුදලක් අය කිරීමටද මේ වනවිට රජය කටයුතු කරමින් සිටියි.

    පසුගිය කාලසීමාවේදී ගුරු හිඟයට පිළියමක් ලෙස සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරිණි. ඒ අතර දෙදහසකට ආසන්න පිරිසක් සිටි අතර ඔවුන්ට යතුරුපැදියක හිමිකම තිබිණි. කෙසේ වෙතත් ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ යතුරුපැදිවලට ගෙවීමට තිබෙන ඉතිරි මුදල් ගෙවන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දන්වා තිබේ.

    මෙය ගැටලුවක් වන අතර සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන අවස්ථාවේදී ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදුකර නොතිබිණි. රජය කළ යුතුව තිබුණේ යතුරුපැදිය නැවත බාරදෙන ලෙස පැවසීම හෝ සංවර්ධන නිලධාරීන් ලෙස වැඩ කළ කාලසීමාව වෙනුවෙන් සහනයක් ලබාදීමයි. නමුත් මේ කිසිවක් නොකර රජය එක්වරම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ සංවර්ධන නිලධාරීන්ගෙන් යතුරුපැදි වෙනුවෙන් මුදල් අය කරගැනීමට කටයුතු කිරීම සාධාරණ කරුණක් නොවේ.

    මේ පිළිබඳ විසඳුම් ඉල්ලා ගුරුවරුන් මුදල් අමාත්‍යාංශයේ ඔම්බුඩ්ස්මන්වරයා දැනුවත් කිරීමට කටයුතු කරන අතරතුර, විසඳුමක් ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳ තවමත් කිසිදු පිළිතුරු ලබාදීමක් සිදුකර නොමැත.

    පසුගිය සතියේදී විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට පහරදීම පිළිබඳ මෙන්ම වෛද්‍යවරුන් පැවැත්වූ වැඩවර්ජනය පිළිබඳ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු විය. එසේම එය රටේ බොහෝ පිරිසක් කතාබහ කළ මාතෘකාවක් බවටද පත්විය. ඔවුන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වූ අතර, බදාදා දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබුණේ අමාත්‍යවරයා හමුවන අදහසිනි. එය බදාදා දිනයක් වූ හෙයින් එදින මහජන දිනයද විය.

    කෙසේ වෙතත් පසුව එය නොසන්සුන්කාරී තත්ත්වයක් කරා වර්ධනය වූ අතර, එස්.ටී.එෆ්. යොදා සිසුන්ට පහර පිට පහර දීමට ආණ්ඩුව කටයුතු කළේය. ගම්වල සිටින අහිංසක දෙමාපියන් තම දරුවන් විශ්වවිද්‍යාල වෙත යොමු කරන්නේ ආරක්ෂක අංශවලින් ගුටි කෑමට නොවේ. දෙමාපියන් සිය ආහාර වේල පවා කැප කරමින් දරුවන්ට ඉගැන්වීමට කටයුතු කරන්නේ ඔවුන්ට හොඳ අනාගතයක් ලබාදීම වෙනුවෙනි. එසේ සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින මවමින් විශ්විවිද්‍යාල වෙත යොමු කරන සිසුන්ට, උද්ඝෝෂණ සිදු කරමින් මහමග රස්තියාදු වීමට සිදුවන්නේ නම් එය ඛේදවාචකයකි.

    මේ වසරේ ගත වූ මාස කිහිපය පිළිබඳ අවධානය යොමු කළහොත් සයිටම් විරෝධී උද්ඝෝෂණ බොහෝ ප්‍රමාණයක් පැවැත්වුවද ඒ සඳහා සෑම පාර්ශ්වයකටම පිළිගත හැකි විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ.
    දිනෙන් දින පවත්වන වර්ජන හේතුවෙන් අහිමි වන මිනිස් පැය හේතුවෙන් ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් බිලියන ගණනකි. මෙම ගැටලුව තවත් ඔඩු දිවීමට අවස්ථාව නොදෙමින් වගකිවයුතු විසඳුමක් ලබාදිය යුතුය.
    මේ රටේ වෛද්‍යවරයාගේ පටන් තැපැල් සේවකයා, ගිලන් රථ සේවකයා, සරසවි සිසුන් ආදී බොහෝ පිරිසක් ආණ්ඩුවට එරෙහිව පාරට බසින තත්ත්වයට පත්ව තිබේ. ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකට මේ සා ජනතා, රාජ්‍ය සේවක, පෞද්ගලික සේවක විරෝධයක් නොතිබූ තරම්ය. එසේම රටේ ගරුතර මහා සංඝරත්නය පවා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරන තත්ත්වයට පත්ව තිබේ. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ආණ්ඩුවේ පවතින අකාර්යක්ෂමතාවයි. ආණ්ඩුවකට එරෙහිව විරෝධතා පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් වත්මන් ආණ්ඩුවට එරෙහිව පවතින්නේ අසාමාන්‍ය විරෝධයකි. ආණ්ඩුව සිදුකළ යුතු වන්නේ සාකච්ඡාවෙන් මේ ගැටලු විසඳීමට කටයුතු කිරීමයි.

    ලිච්ඡවී පාලනයක් පිළිබඳ කතා කළද ක්‍රියාවෙන් එය පෙනෙන්නට නොමැත. ඒ නිසා නිසි තැනට නිසි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!
    සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.