• සංවේදීව උමා ඔය දෙස බලමු

    උමා ඔය සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතිකාවතක් නිර්මාණය වී තිබේ. ඒ උමා ඔය උමගෙහි ඇතිව තිබෙන්නා වූ ජල කාන්දුව හේතුවෙනි. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. ආරම්භ කිරීම මත මෙහි සියලු දෝෂයන් වත්මන් ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පැවරීමට කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබේ.

    ඒ අනුව උමා ඔයේ සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම 2005 වසරේදී මහින්ද චින්තනයට ඇතුළත් කෙරිණි. ඒ වාරිමාර්ග හා කෘෂි කර්මාන්ත අංශය යටතේය. මහින්ද චින්තයට වාරිමාර්ග හා කෘෂි කර්මාන්ත අංශය පිළිබඳ යොජනා ඉදිරිපත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමයද ප්‍රධාන වශයෙන්ම මැදිහත් විය. මන්දයත් එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග ප්‍රධාන වශයෙන්ම පාර්ශ්වකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙළ උරුමයත් කටයුතු කළ හෙයිනි.

    අද උමා ඔයට එරෙහිව දැවැන්ත හඬක් නඟන ජනතා විමුක්ති පෙරමුණ මෙම ව්‍යාපෘතියේ ධනාත්මක පැතිකඩ පිළිබඳ හොඳින් දැන සිටියා මෙන්ම, 2005 මහින්ද චින්තනයට එය ඇතුළත් බවද දැනගෙන සිටියේය.

    උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ ඉරාන රජය මගිනි. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ පාරිසරික වාර්තා ඇතුළු අනෙකුත් ඇගයීම් වාර්තා  ලබාගනිමින් පසුවය. ව්‍යාපෘතිය ආරම්භ කළද යහපාලන ආණ්ඩුව පත්වීමට මත්තෙන් එහි ඇති වූ ගැටලුවක් මත ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය.  ඉන්පසුව නැවත වරක් පරිසර වාර්තාවක් ලබාගැනිණි.

    පතලක දෝනාව කපන විට මීටර් ගණනක් දෝනාව කපා එය මුද්‍රා තැබිය යුතුය. ඊළඟ කොටස ආරම්භ කරන්නේ එලෙස මුද්‍රා තැබීමෙන් පසුය. මෙවැනි ආකාරයට ඊළඟ අදිරයට මාරු වීමේදි කැපූ දෝනාව මුද්‍රා නොතැබුවහොත් එය ගිලා බැසීම සාමාන්‍ය තත්ත්වයකි. ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන ගියේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ප්‍රමිතියකට අනුවය. යම් හෙයකින් ගැටලුවක් ඇති වුවහොත් එය සොයා එයට පිළියම් යෙදීමටද අපි කටයුතු කළෙමු. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව උමා ඔය පිළිබඳ කමිටුවක් පත් කෙරිණි. පාඨලී චම්පික, විජිත් විජයමුණි සොයිසා මහතා මෙන්ම එවකට ඌව මහ ඇමතිවරයා වූ හරින් ප්‍රනාන්දු මහතා මෙම කමිටුව නියෝජනය කළහ.

    නැවත වරක් උමා ඔය ආරම්භ කිරීමට අනුමැතිය ලබාදුන්නේ එම කමිටුවය. ඒ අනුව මේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ 80% ක පමණ වැඩ අවසන් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත් සියලුම ව්‍යාපෘති මේ ආණ්ඩුවෙන් නැවැත්විණි. එවැනි ඇතැම් ව්‍යාපෘති අද දක්වාම නැවත ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. කොළඹ වරාය නගරය පමණක් අවුරුදු දෙකක් ප්‍රමාද විය.

    එහෙත් පරිසර ප්‍රශ්නයක් තිබෙනවා යැයි සංවේදී ලෙස කතා කරන ආණ්ඩුව උමා ඔය නැවතත් සති දෙක තුනකින් පටන් ගත්තේය. මෙම ව්‍යාපෘතියෙන් ජනතාවට සෙත සැලසෙන බව ආණ්ඩුව දනියි. යම් හෙයකින් මෙම ව්‍යාපෘතියේ ගැටලුවක් ඇති නොවුණේ නම් ඒ සියලු ධනාත්මක තත්ත්වයන් තම ගිණුමට බැර කරගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. නමුත් ගැටලුවක් ඇති වූ විට එය රාජපක්ෂ ගිණුමට බැර කර අත පිසදාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

    උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවට වැදගත් මෙන්ම අවශ්‍යම ව්‍යාපෘතියකි. එමෙන්ම එයින් හම්බන්තොට ජනතාවටද සෙත සැලසෙයි. උමා ඔය මූලික පරීක්ෂණ සිදුකරන කාලසීමාවේදී මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. උමා ඔය ආරම්භ කරන සමයේ වාරිමාර්ග ඇමතිවරයා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. පරිසර ඇමති ලෙස කටයුතු කළේ පාඨලී චම්පික රණවක මහතාය.

    උමා ඔය දෙවැනි වතාවට යළි ආරම්භ කිරිමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, පාඨලි චම්පික රණවක මහතාත් වත්මන් ආණ්ඩුවේය. එමෙන්ම එදා ඇමතිවරයා ලෙස හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනපතිවරයාය. එවැනි තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ ව්‍යාපෘතිය නවත්වා ඇවුරුදු දෙකක  පමණ කාලයක් කල්මරමින් තිබියදී උමා ඔය කඩිනමින් පටන්ගෙන මහින්ද රාජපක්ෂ මහතාට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේද? උමාඔයෙන් වැරැද්දක් වී තිබේ නම් ඒ සඳහා 80% ක් වගකිවයුතු වන්නේ වත්මන් ආණ්ඩුවයි. මන්ද යත් අප දෙවැනි වතාවට පරිසර වාර්තාවක් ලබාගැනීම සඳහා තාවකාලිකව නවතා තිබූ ව්‍යාපෘතිය පරිසර වාර්තාවක් ලබාගෙන නැවත ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව නිසාවෙනි.

    අප අදත් සඳහන් කරන්නේ උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට යා යුතු බවයි. නමුත් පරිසරයට සිදුවන හානිය අවම විය යුතුවා මෙන්ම ජනතාවට ප්‍රමාණවත් වන්දියක්ද ලබාදිය යුතු බවයි.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කිරීමේදීද මෙවැනි විශාල ජනතා විරෝධයක් පැමිණියේය. නමුත් අප එය කිසිම ආකාරයකින් දේශපාලන ගැටලුවක් කරගත්තේ නැත. එය කුමන හෝ පාර්ශ්වයකට පටවා ඇඟ බේරාගැනීමට අපටද අවස්ථාව තිබිණි. නමුත් අපි ජනතාව සමග සාකච්ඡා කර ඒ ගැටලු විසඳා ව්‍යපෘතිය ඉරියට ගෙනගියෙමු. නොරොච්චෝලේ නිසා අද සමස්ත රටම ප්‍රතිලාභ ලබයි. අද නොරොච්චෝලේ නැතිනම් මේ රටේ දැවැන්ත විදුලි හා බලශක්ති අර්බුදයක් ආරම්භ වී අවසන්ය.

    වර්තමානයේදී ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සිටින උගතුන් සහ බුද්ධිමතුන් පිළිබඳ තැකීමක් නොකර කටයුතු කරයි. යම් ගැටලුවක් ඇති වූ විට කරන්නේ එය විසඳාගැනීම සඳහා විදෙස් රටවලින් විශේෂඥයන් ගෙන ඒමයි. නමුත් මේ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය තරම් විශේඥයන් සිටින අතර, ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් පිළිබඳ විශ්වාසය තැබීමයි. දේශීය විශ්වවිද්‍යාලවල ඒ ඒ අංශ සඳහා විශේෂීකරණය වූ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ ගැටලුව අවම කරගත හැකි බව පවසා තිබේ.  ආණ්ඩුව උමා ඔය ගැටලුව තවත් දේශපාලනික කාරණයක් කර නොගෙන, එහි ඇති ආර්ථික වටිනාකම පිළිබඳ අවධානය යොමුකර පාරිසරික සංවේදීතාවන් හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්ය.

    ලබන සතියේ යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.