• හම්බන්තොට වරාය ජාතියට අහිමිවීම

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී කඩඉමක්, එසේත් නොමැතිනම් කාලසීමාවක් ගතවන අවස්ථාවකදීය. ඒ අනාගතයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට වඩාත් වැදගත්ම ආර්ථික මර්මස්ථානයක් බවට පත්වන හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 80ක කාලයක පැවරීමට අදාළ ගිවිසුමේ අවසන් කටයුතු සිදුවන හෙයිනි. වරායේ අවසන් ගිවිසුම අද (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා විය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේදී වත්මන් පාලනයේ සිටින පිරිස් මතුකළ මත අතර ප්‍රධාන තැනක් හම්බන්තොට වරයාට හිමිව තිබූ අතර, ඔවුන් සඳහන් කළේ එම ව්‍යාපෘතිය සුදු අලියෙකු බව මෙන්ම එය ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය බවයි. එසේ වහසි බස් දෙඩූවන්ට මේ වනවිට හම්බන්තොට වරාය විදේශයන්ට අලෙවිකළ හැකි සම්පතක් බවට පත්ව තිබේ.

    කවුරුත් දන්නා පරිදි අනාගතයේදී ලෝකයේ ප්‍රධාන ආර්ථිකයක් බවට චීනය පත්වනු ඇත. එහිදී ඔවුන් ඉන්දියන් සාගරය හරහා නාවික සේද මාවත පිහිටුවීමට බලාපොරොත්තුවන අතර  ඇමෙරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට ඉන්දීය සාගරය හරහා සිය නිමැවුම් යොමුකරනු අත. මෙහිදී ශ්‍රී ලංකාව එම මාර්ගයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති අතර, සේද මාවතේ සෘජු ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාව පවතියි.

    අප අද සඳහන් කරන මෙම කරුණු අනාගතයේදී යථාර්ථයක් බවට පත්වනු ඇති බවට ඔබට පැහැදිලි වනු ඇත. චීනය විසින් පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල වරාය සංවර්ධනය කිරීමට පෙළඹී ඇත්තේ මේ නිසාවෙනි.

    හිටපු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ගිවිසුමෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාගැනීමට උත්සාහ ගන්නා අයුරු දැකගත හැකිවිය. ඔහු පිළිබඳ විවේචන පැවැතියද අමාත්‍යවරයා එසේ සටන් කළේ දේශපාලන වාසියකින් තොරව නම් අපි එය අගය කරමු. එසේම මෙම සටන නිසා අවසානයේදී ඔහුට වරාය හා නාවික අමාත්‍යාංශයද අහිමි වූ අතර, ඔහු පසුගිය කැබිනට් සංශෝධනයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.

    හම්බන්තොට වරාය ගිවිසුම ගැන රජයෙන් ඇසීමට මට ප්‍රශ්න කිහිපයක් තිබේ.

    • හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා සමාගම් දෙකකින් යෝජනා ලබා දී තිබුණේද?
    • එම සමාගම් දෙකෙන් එක සමාගමක් තෝරාගන්නා ලද්දේ කුමන පදනමක් යටතේද?
    • එසේ තෝරාගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවක් මගින් ලබාදුන් නිර්දේශ මොනවාද? තෝරාගත් සමාගම සමග අත්සන් කරන ගිවිසුම් දෙක මොනවාද?
    • එලෙස අත්සන් කරන ගිවිසුම් දෙක මගින් ස්ථාපනය කරන සමාගම් දෙකෙහි කොටස් බෙදී යන්නේ කවර ආකාරයටද?
    • එම සමාගම් දෙකට පැවරෙන කාර්යයන් මොනවාද?
    • එම සමාගම්වලට ලැබෙන ආදායම් මාර්ග මොනවාද?
    • වරායේ නඩත්තු කටයුතු පැවරෙන්නේ කුමන සමාගමකටද?
    • මෙම පෞද්ගලීකරණය හරහා රජයට හා වරාය අධිකාරියට ලැබෙන ආදායම් ප්‍රභවයන් මොනවාද?
    • මෙම ගිවිසුම මගින් ලබාදෙන ඉඩම් ප්‍රමාණය කොපමණද? ඒවා ලබාදෙන්නේ කුමන පදනමක් මතද? මෙම ගිවිසුම මගින් මෙහෙයුම් පර්යන්ත සඳහා ලබාදෙන ඉඩම් සඳහා බදු කුලියක් අය කරන්නේද?
    • මෙම වරායේ තෙවැනි සහ සිවුවැනි අදියරයන් ඉදිකිරීමේ අයිතිය මෙම සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද? එසේ ලබාදෙන්නේ නම්, ඒ කුමන පදනමක් මතද?
    • හම්බන්තොට වරායේ දෙවැනි අදියර ඉදිකිරීමේදී, ඉදිකරන ලද අක්කර 110 ක් විශාල දූපත මෙම සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද? එසේ ලබා දෙන්නේ නම්, ලබාදෙනු ලබන්නේ කුමන පදනමක් මතද?
    • මෙම පොද්ගලීකරණය හරහා රජය ආරම්භයේ ලබාගන්නා මුදල කොපමණද?
    • මේ සඳහා දේශීය හෝ ජාත්‍යන්තර සමාගමක් මගින් තක්සේරුවක් ලබාගෙන තිබේද? එසේ නොමැති නම් එම වටිනාකම නිර්ණය කරන ලද්දේ කුමන පදනමක් මතද?
    • එම මුදලින් හම්බන්තොට වරාය ඉදිකිරිම සඳහා ලබාගත් ණය මුදල ගෙවන්නේද? එසේ නොමැති නම් එම ණය මුදල් ගෙවන ආකාරය සහ ආයතනය කුමක්ද?
    • හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා වන ගිවිසුම අත්සන් කරන්නේ කවදාද?
    • මෙම අත්සන් තබන ගිවිසුම අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි අත්සන් කිරීමට ප්‍රථම, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවාද?

    මේ අතර සරසවි සිසු මර්දනය අඛණ්ඩවම රජය විසින් සිදුකරමින් සිටින අතර, ඒ සඳහා සුදු වෑන් යොදාගන්නා අයුරුද දැකිය හැකිය. මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පවරා තිබිණි. කලක් කළු පැහැති ඩිෆෙන්ඩර් රථවලින් පුද්ගලයන් පැහැරගැනීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කටයුතු කළ අතර, මේ වනවිට සුදු පැහැති වෑන් රථ යොදා ගනිමින් සිසුන් පැහැරගැනීමට උත්සාහ කරයි.වූයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගන්නා බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අභූත චෝදනා එල්ල කළ වත්මන් ආණ්ඩුව සුදුවෑන් යොදාගනිමින් සිසු නායකයන් පැහැරගැනීමට කටයුතු කිරීම අභාග්‍යසම්පන්න කරුණකි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා 2017 අංක 09 දරණ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනතට අත්සන් කිරීමට කටයුතු කළේය. ජාත්‍යන්තරයේ බලපෑම මත මෙම පනත ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ආ අතර මෙහි රටට අහිතකර කරුණු රාශියක් දක්නට ලැබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ පිළිබඳ ඊයේ (24දා)  මහනායක හිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයවෙත විවෘත ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙම කාර්යාලයක් ලෙස හැඳින්වුවද ඇත්ත වශයෙන්ම එය උසාවියක් ලෙස ක්‍රියාත්මක වෙයි. පනතේ 12 වැනිවගන්තිය අනුව මෙය මනාව පැහැදිලි වෙයි.

    සති අන්තයේදී යාපනයේ නල්ලූර් කෝවිල අසලදී යාපනය මහාධිකරණ විනිසුරුවරයා ගමන්ගත් වාහනය සමීපයේ සිදු වූ වෙඩි තැබීම අභාග්‍යසම්පන්න කරුණකි. අප පුන පුනා සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයත් සමග පැවැති සටන හුදෙක්ම ත්‍රස්තවාදයට එරෙහි සටනක් බවත්, එය දෙමළ ජනතාවට එරෙහි සටනක් නොවන බවත්ය. යාපනයේ සිදුවීම මෙය හොඳින්ම පැහැදිලිවූ සිදුවීමක් විය.

    බුද්ධිමත් දෙමළ ජනතාව අතරද එය එසේම බවට පැහැදිලිවූයේ තමන් වෙනුවෙන් දිවිපිදූ පොලිස් නිලධාරියා හා තුවාල ලැබූ පොලිස් නිලධාරියා වෙනුවෙන් මහාධිකරණ විනිසුරු මානික්කවාසාගර් ඉලන්චේලියන් මහතා කනගාටු වන අයුරු දැකීමට ලැබීමෙනි.  කෙසේ වෙතත් ඇතැම් දමිළ දේශපාලනඥයන් පවසන්නේ විනිසුරුවරයා ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා ඡන්දයට පැමිණීමට සූදානමක් ඇති බවයි. නමුත් මා විශ්වාස කරන්නේ විනිසුරුවරයාගේ හැසිරීම හුදෙක්ම ස්වාභාවික හැසිරීමක් බවයි.

    අනෙක් අතින් යාපනයේ සිදුවීම ජාතික ආරක්ෂාවටද ගැටලුවක් ඇති බවට පැහැදිලි සාක්ෂියකි. මීට ඉහතදීත් යානයේ මෙවැනි වෙඩි තැබීම් වාර්තා වුවද, ඒ සඳහා නිසි පිළියම් යෙදීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රශ්නය තවත් ඔඩුදුවා ඇති බවට පැහැදිලි කරුණක් ලෙස යාපනයේ සිදුවීම හඳුන්වාදිය හැකිය. එසේම මේ වනවිට පාතාලයේද යම් නැගිටීමක් දක්නට ලැබෙන අතර, මේ සියල්ලටම පැහැදිලි විසඳුමක් ලබාදීමට අපොහොසත් වන්නේ නම් මුළු රට තුළම පාතාල ත්‍රස්තවාදයක් ඇති වනු ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.