• බැඳුම්කරය යට ගහන්න රාජපක්ෂ භීතිකාව යළි එයි

    මේ සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය වෙනුවෙන් පෑන අතට ගන්නා විටත් මගේ මව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ සඳහා ඇය සූදානම් වන අවස්ථාවක මෙවර තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. මේ අතර දෙවැනි මල්ලි යෝෂිත රාජපක්ෂද අපරාධ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබෙන අතර, රෝහිතට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෙන් කැඳවීමක් ලැබී ඇත.

    මෙය හුදෙක්ම දේශපාලන පළිගැනීම් මත සිදුවන දෙයකි. මගේ මවත්, සහෝදරයන් දෙදෙනාත් දේශපාලනය නොකළහ. දේශපාලනය කළේ මාත්, පියාත් පමණි. ආණ්ඩුවට රාජපක්ෂවරුන්ගෙන් දේශපාලන පළිගැනීම් කිරීමට අවශ්‍ය නම් දේශපාලනය නොකළ අය එයින් ඉවත් කර, දේශපාලනය කළ අය පමණක් එයට යොදාගන්නා ලෙස පැවසීමට කැමැත්තෙමි.

    අගමැතිවරයා ඉදිරියේදී නීතිපති හමුවීමක් යොදාගැනීමත්, ප්‍රධාන මාධ්‍ය හරහා රාජපක්ෂවරුන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට තීරණය කර ඇති බවත් ප්‍රධාන මාධ්‍ය හරහා ප්‍රචාරය වී ඇති කරුණක් වී තිබේ. ඒ අනුව දිගින් දිගටම ආණ්ඩුවට එල්ල වන විවේචන මග හරවා ගැනීමට ඔවුන් විසින් සෑම දිනකම ඇති රාජපක්ෂ තුරුම්පුව නැවත වරක් ඉදිරියට ගෙන තිබේ.

    ඉදිරි දින තුන තුළදී රාජපක්ෂ පවුලේ උදවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම පිළිබඳ මාධ්‍ය හරහාද ප්‍රධාන ලෙසම විකාශය කෙරෙනු ඇත. ඒ සඳහා ජනතාවගේ උනන්දුව වැඩිවීමට ඉඩ පවතින අතර, ඒ හරහා ආණ්ඩුව දින දෙක තුනකට ගොඩ යනු ඇත.

    එසේම නීතිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉදිරියේදී පැවැත්වෙන බවටද තොරතුරු වාර්තා වෙයි. මේ හරහා ස්වාධීනව කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවටද ඇඟිලි ගසා ඔවුන් භීතියට පත් කිරීමට ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බව පෙනේ.

    මේ අතර සමෘද්ධිය පිළිබඳ මේ වනවිට රටේ කතාබහක් නිර්මාණය වී තිබේ. විෂය භාර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ තමා සහනාධාර නොකැපූ බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඇඹිලිපිටියේ පැවැති උත්සවයක් අමතමින් සඳහන් කළේ තමා කිසිවෙකුගේ හෝ සමෘද්ධිය කැපීමට ඉඩ නොදෙන බවයි.

    තත්ත්වය එසේ නම් ජනතාවගේ මේ සා විරෝධයක් පැන නැගී ඇත්තේ ඇයිදැයි යන්න සොයා බැලිය යුතුය. නමුත් සත්‍ය තත්ත්වය නම් ගම්මානවල දුප්පත් මිනිසුන්ගේ සමෘද්ධිය අත්හිටුවා ඇත.  එසේ සමෘද්ධිය කැපුවේ කුමන පුද්ගලයන්ද යන්න සොයා බැලිය යුතුය. මේ අතර තංගල්ලේ ලියුම් බෙදමින් පවසා ඇත්තේ සමෘද්ධිය ලබාගැනීමට අවශ්‍ය නම් දිලිප් වෙදආරච්චිට හා මහින්ද අමරවීරට අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි.  මේ ක්‍රියාත්මක වන්නේ යහපාලනයද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.

    පසුගිය සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් වූයේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණනායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. නමුත් රවි කරුණනායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පමණක්ම මෙම ගැටලුව අවසන් නොවේ. රවි කරුණනායක මහතා යනු එක් පුද්ගලයෙක් පමණි. මේ හා සම්බන්ධ ලොකුම හොරු ටික තවම නිදැල්ලේය.

    මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් සමාජ මාධ්‍ය වෙත ඉදිරිපත්ව තිබිණි. ඒ ඔහු විදුලි සෝපාන ක්‍රියාකරවන්නෙකු වෙත පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවකි. නීතිය නවන බවට කළ ප්‍රකාශයත් සමග ඔහු මුලින්ම ජනතාවට එපා විය. නැවතත් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පිළිබඳ වූ දුරකථන සංවාදයක් හේතුවෙන් ඔහු ජනතාවට එපා විය. දැන් නිල ඇඳුමේ බලය යොදාගෙන ජනතාවට පෙළා දැමීමට ඔහු  කටයුතු කරන ආකාරයටද ජනතාවට එපා වී තිබේ. මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුය.

    බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ රවි කරුණනායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත්ව පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි නම්, හම්බන්තොට වරාය බදු දීමේ ගනුදෙනුව දූෂණයක් බවට පවසන විජේදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වා භංගයක් ගෙන ඒමට කටයුතු කරයි නම්, මැතිවරණය කල් දමන බවට චෝදනා එල්ල කරමින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු ගන්නා තීරණය පිළිබඳවද දැන් ජනතාව සිය අවධානය යොමුකර තිබේ.

    හම්බන්තොට වරාය චීනයට බදු දීමට ආණ්ඩුව ගත් තීරණය පිළිබඳ කුරහන් සුවද තීරු ලිපියෙන් මීට ඉහත සතියකදී අප ඔබව දැනුවත් කරමින් පැවසුවේ හම්බන්තොටට හිලව් වශයෙන් ශ්‍රී ලංකා ජනතාව සතු තවත් වටිනාම සම්පත් කිහිපයක් ඉන්දියාවට ලබාදෙනු ඇති බවයි. එහිදී අපි සඳහන් කළේ මත්තල ගුවන්තොටුපොළ හා හම්බන්තෙට තෙල් ටැංකි ඉන්දියාවට පවරනු ඇති බවයි. දේශපාලනිකි වශයෙන් විජයදාස රාජපක්ෂ මහතා සමග මතභේදයක් පැවැතියත්, හම්බන්තොට වරාය පිළිබඳ ඔහු කළ  ප්‍රකාශයට අප පූර්ණ වශයෙන් සහයෝගය දෙන්නෙමු.

    හම්බන්තොට බදු දී එහි උණුසුම පහව යන්නටත් පෙර මේ වනවිට ඉන්දියාව මත්තල වෙනුවෙන් ඩොලර් මිලියන 250 ක් ආයෝජනය කිරීමට සූදානම් වෙයි. ඒ සඳහා අවසර දීමට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක්ද පසුගිය කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව අපගේ පුරෝකථන සාර්ථක වෙයි. හම්බන්තොට හා මත්තල ආරම්භය පමණි. මේ ආකාරයට ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් තවත් ආර්ථික මර්මස්ථාන කිහිපයක්ම ඉදිරියේදී චීනය, ඉන්දියාව ඇතුළු රටවල් විසින් ගිලගැනීමට නියමිතය.

    ලබන සතියේදි යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.