• හවුල් ආණ්ඩුවේ අවුල්

    පසුගිය සතියේදී ආණ්ඩුව රාජපක්ෂ පවුලෙන් පළිගැනීම නැවත ආරම්භ කළේය. මේ පිළිබඳව අපි පසුගිය සතියේදී කුරහන් සුවඳ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට කටයුතු කළෙමු. ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තිබූ දින දෙකක් නිරපරාදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළත් ගතකිරීමට සිදුවීම නිසා මෙම දින දෙක අහිමි විය.

    මගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ආවේ තාජුඩීන් ඝාතනය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට බව මාධ්‍ය ඔස්සේ විකාශය විය. එය සිරිලිය සවිය සංවිධානයට අයත් වාහනයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වූ කැඳවීමක් විය.

    මෙහිදී ඇයගෙන් ප්‍රශ්න කර තිබුණේ, වාහනයේ ටිංකරින් කිරීම පිළිබඳව, වාහනයේ වර්ණය වෙනස් කිරීම,  ආරක්ෂාවට ගිය වාහන මොනවාද යන්න ගැනයි. තාජුඩීන් ගැන කිසිවක් ප්‍රශ්න කර නොතිබිණ. ජනපති ආර්යාවක් සිය ආරක්ෂාව වෙනුවෙන් භාවිත කළ වාහනයක පාට වෙනස් කිරීම පිළිබඳව ලෝකයේ පරීක්ෂණ පවත්වන එකම රට ශ්‍රී ලංකාව විය හැකිය.

    මීට අමතරව මව හා මගේ පියා විවාහකද? හමුවීම සිදුවුණේ කෙසේද? යන්න පිළිබඳවත් ප්‍රශ්න කර තිබුණි. මේ අතර රෝහිත මල්ලිගෙන්ද වාහනයේ පාට වෙනස් කිරීම පිළිබඳව මෙන්ම ඔහුගේ නම, ගම, ආගම පිළිබඳවද ප්‍රශ්න කර තිබුණි. පොලිස් මූල්‍ය අපරාධ ඒකකය රෝහිත මල්ලිගෙන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව පිළිබඳවද ප්‍රශ්න කර තිබූ අතර, එයටද ඔහු හොඳින්ම පිළිතුරු ලබාදී තිබුණි. ආණ්ඩුව කළයුතු වන්නේ උඩ තිබෙන චන්ද්‍රිකාවක් පිළිබඳව පරීක්ෂණ කිරීම නොව කඩා වැටුණු හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ බැලුම ගැන සෙවීමය.

    මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකුට තර්ජනය කළ බව පවසමින් ඔවුන් මා හටද නඩුවක් දැමීමට කටයුතු කරමින් සිටී. මෙය පොලිස්පතිවරයා පිළිබඳව තිබෙන ජනතා අප්‍රසාදය වළක්වා ගැනීම සඳහා කරන කුමන්ත්‍රණයක් ලෙසින්ද හැඳින්විය හැකිය. පොලිස් මූලස්ථානයේදී අහිංසක සේවකයෙකුට පොලිස්පතිවරයා තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය හරහා විකාශය විය.

    නීතිය නමන පොලිස්පතිට එයින් විශාල විරෝධයක් එල්ල වූ අතර, ඔහු සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට මේ වන විට සමාජයේ මතයක් පැතිර යමින් තිබේ.  එවැනි අවස්ථාවක එම මාතෘකාව වෙනතකට යොමු කිරීම සඳහා මා පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළ බවට වන කතාවක් නිර්මාණය කර තිබේ. විහිළුවට කරුණ නම් තර්ජනය කළා යැයි කියන උප පොලිස් පරීක්ෂකවරයා මා හට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේදීත් හමු නොවීමය.

    පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට කටයුතු කරන අතරේම ආණ්ඩුව දැන් දැන් ජනතාවට ඡන්ද අල්ලස් ලබාදීමට කටයුතු කිරීමද ආරම්භ කර තිබේ. එහිදී ආණ්ඩුව අන්තර්ජාල බද්ද, යතුරු  පැදි බදු මෙන්ම කුඩා ට්‍රක් රථ සඳහා වන බදුද අඩු කර තිබේ. කුමනාකාරයෙන් හෝ ජනතාවගේ බදු අඩු කිරීම ජනතාවට වාසිදායකය. නමුත් ජනතාවට මේ දෙන්නේ ඡන්ද අල්ලස් බව නම් ඔවුන් අමතක නොකළ යුතුය. එක් අතකින් බදු අඩු කරන ආණ්ඩුව අනෙක් අතින් එම බදු ජනතාවගෙන් අය කිරීමටද කටයුතු කරයි. සීනි සඳහා ආනයන බද්ද රුපියල් අටකින් අඩු කිරීම ඒ සඳහා හොඳම උදාහරණයයි.

    මේ අතර පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටියි. මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත පනත සඳහා තවත් සංශෝධන 25ක් පමණ එක් කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

    මේ අතර ආණ්ඩුවේ ඇත්ත තත්ත්වය පිළිබඳව කතා කළ විජේදාස රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. කෙසේවෙතත් අප මේ බව අවුරුදු දෙක හමාරක් තිස්සේ පවසමින් සිටින අතර, දැන් හෝ එහි ඇත්ත තත්ත්වය  පිළිබඳව විජේදාස ඇමතිවරයා තේරුම් ගැනීම හොඳ දෙයකි. ඒ අනුව සිටිය නොහැකි තැන එළියට පැමිණීමට ඔහු තීරණය කර තිබේ. මේ විජේදාස රාජපක්ෂ මහතාගේ ආරම්භය පමණි.

    මේ අතර රජය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ජනපතිවරයාට රට ගමන් කරනා අසතුටුදායක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ. මේ අතර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාද රතු නිවේදනයක් නිකුත් කළේය. මෙයින් පෙනෙන්නේ හවුල් ආණ්ඩුව දැන් අවුල් වී ඇති බවයි.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කලින් කලට විවිධ කතා කීමට දක්ෂයෙකි. දැන් ඔහු අපේ හත්මුතු පරම්පාරවේම ඉඩම් යොදාගෙන අපට ඉඩම් 21ක් ඇති බවට ප්‍රකාශ කරමින් සිටී. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන විට පොළොන්නරුවේ වැව් ගොඩකරමින් හෝටල් සකස්කර තිබෙන්නේ ඔහුගේ පවුලේ අයට යැයි අනුර කුමාර සහෝදරයා ප්‍රකාශ කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එයම පැවසීය. මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියට නොපැමිණීමෙන්ම පෙනෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව සමග ගනුදෙනුවක් ඇති බවයි.

    මෙතෙක් කුරහන් සුවඳ තීරු ලිපියෙන් අවධානය යොමු නොකළ කරුණකින් මෙවර ලිපිය අවසන් කිරීමට අදහස් කළෙමි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව වන මාතෘකාවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ පිපිරීම ඉරිදා දඹුල්ලේ පැවති තරගයෙන් පසුව සිදුවිය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයක් හමුවේ ප්‍රථම වතාවට ප්‍රේක්ෂකයන් කුපිත වී කටයුතු කිරීමයි. මේ වන විට තරුණ කණ්ඩායමක් ලෙස ක්‍රමයෙන් නැගී සිටිමින් සිටින කණ්ඩායමට ජනතා සහාය අවශ්‍ය වෙයි. දඹුල්ලේ සිදුවීම කණගාටුවට කරුණකි.

    නමුත් ප්‍රේක්ෂකයන් කළයුතු වන්නේ තවදුරටත් කණ්ඩායමට ශක්තිය දෙමින් කටයුතු කිරීමයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පිළිබඳව විවේචන පැවතියත් ඔහු සෘජුව සිය අදහස් ප්‍රකාශ කරයි. ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්තම විනාශය සිදුවූයේ යහපාලන රජය යටතේදී බව මේ වන විට ඔහු පවසා තිබේ. ක්‍රීඩාවට දේශපාලනය එක් නොවිය යුතුය යන්න ප්‍රධාන කරුණකි. නමුත් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇත්තේ එයයි. තරග දිනීම, පරාජයට පත්වීම සාමාන්‍ය දෙයක් වුවත් පරිපාලනය ක්‍රීඩාවට ඇඟිලි නොගසා පුහුණුකරුට හා ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදිය යුතුය.  

Leave a reply.

You must be logged in to post a comment.