• අනුරට පෙනෙන “රාජපක්‍ෂ ඉඩම්” හා නොපෙනෙන “මෛත්‍රී ඉඩම්”

    පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය රජජපක්‍ෂවරුගේ ඉඩම් පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. රාජපක්‍ෂවරුන්ට ඉඩම් 21ක් තිබෙන බව ඔහු පැවසීය. ඩී.ඒ. රාජපක්‍ෂ, ලක්ෂ්මන් රාජපක්‍ෂ, ජොර්ජ් රාජපක්‍ෂ සහ අනෙක් පැත්තෙන් නිරූපමා රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, ඩඩ්ලි රාජපක්‍ෂ, ගාන්ධිනී රාජපක්‍ෂ, ප්‍රීති රාජපක්‍ෂ වැන්නන් හා මා ඇතුළත්ව අප පරම්පරාවට ඇත්තේ ඉඩම් 21කි.

    අප හට අනුර කුමාරගෙන් ඇසීමට ඇත්තේ මෑත දවසක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නුවරඑළියේ විවෘත කළ හෝටලය පිළිබඳ හා සිරිසේන මහතාගේ ඉඩම් පිළිබඳවය. ජනාධිපතිවරණ සමයේදී අතෙහි මුදල් නොමැති, සරල, බෝල්ට්පොයින්ට් පෑනෙන් අත්සන් තබන බව පැවසුවද, අතේ සතේ නැති අය නුවරඑළියට ගොස් රුපියල් කෝටි ගණනක හෝටලයක් විවෘත කිරීමට කටයුතු කළේය.

    පොළොන්නරුවේ වැව් ගොඩකර හෝටල් සැදූ බව කියැවුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරම්පරාවේ පිරිස් පිළිබඳවය. අප නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වරක් පොළොන්නරුවට පැමිණ ඒ පිළිබඳ පැවසීය.

    ඔහු පැවසුවේ, සිරිසේන මහතායි, ඔහුගේ පවුලේ අයයි වැව් ගොඩකර හෝටල් ඉදිකළා යනුවෙනි. රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, ඩලස් අලහප්පෙරුම හා මම මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කතා කළෙමු.

    එදා වැලි මාෆියාව, හාල් මාෆියාව, ගස් මාෆියාව ගැන පැවසුවේය. වර්තමානයේ මෙම දූෂණ විරෝධී පෙරමුණට මේ පිළිබඳ නොපෙනෙන්නේදැයි ඇසිය යුතුය. දුප්පත් පුද්ගලයෙකු ව්‍යාපාර කර ඉහළට ඒම පිළිබඳ අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. අපි එයට කැමැත්තක් දක්වනවා සේම එයට ගරු කරන්නෙමු. අනෙක් අයට වළකපා, ඇඟිල්ල දිගුකර, හොරා යැයි මඩ ගසා තම කටයුතු වසාගැනීමට කටයුතු කරන්නේ නම් එය අසාධාරණ ක්‍රියාවකි.

    පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර අවසන්ය. දැන් එය මැතිවරණ කොමිසමට යොමුකළ යුතුය. එය ඉතා ඉක්මනින් සිදුවුවහොත් මේ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙර මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානමින් සිටී. අප බලාපොරොත්තු වන්නේද මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වනු ඇති බවය. එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති විරෝධය හොඳින්ම ඔවුන්ට දැක ගැනීමට හැකි වෙනු ඇත. පළාත් පාලන මැතිවරණය ඒකාබද්ධ විපක්‍ෂය මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග පුළුල් සන්ධානයක් සැකසීමට කටයුතු කරමින් තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම එම සන්ධානයත් සමග මැතිවරණයට යෑමට මේ වනවිට තීරණය කර අවසන්ය.

    වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග මැතිවරණයට යෑමට හැකියාවක් නොමැත. ඒ ආණ්ඩුවේ පාපකාරී වැඩපිළිවෙළට අපට සහයෝගය ලබා දිය නොහැකි බැවිනි. මේ පාපකාරී වැඩ සඳහා නිදහස් පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයටත්, එක්සත් ජාතික පක්‍ෂය නිදහස් පක්‍ෂයටත් ඇඟිල්ල දිගුකර බේරීමට නොහැකිය. ඒ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඍජුව වගකිව යුතුය.

    ආණ්ඩුව පැමිණියේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටය. කෙසේ වෙතත් වසර දෙකහමාරක් පමණ කල් තැබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වනවාත් සමගම අනෙක් අතින් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව සූදානම් කර තිබේ.

    ඒ සඳහා ඔවුන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙනැවිත් තිබේ. කෙසේ වෙතත් එම පනත් කෙටුම්පත අපි ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කරන්නෙමු. මේ හරහා ඔවුන් බලාපොරොත්තු වන්නේ පළාත් සභා මැතිවරණයද තවත් වසර දෙකකින් පමණ කල්දැමීමටය. ආණ්ඩුවේ බොරුව හා පතිවත මෙයින් හෙළිව තිබේ.

    මේ අතර ආණ්ඩුව නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ හරහා ඉතා අපහසුවෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ජනතාව තවදුරටත් අගාධයට යොමුකර තිබේ. මහින්ද රාජපක්‍ෂ රජය ලබාදුන් සියලු බදු සහන මෙම පනත හරහා ඉවත් කර තිබේ.

    මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් ආණ්ඩුව වැරදි පූර්වාදර්ශයක් ලබාදෙමින් සිටියි. මූලික පනත ගෙනෙන විට ඔවුහු ගැටලු නොමැතිව සාමන්‍යයෙන් හොඳ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරති. නමුත් පනතට එරෙහිව අභියෝග  කිරීමට ඇති කාලය අවසන් වූ විට ඔවුන් කරනුයේ සංශෝධන කරමින් එය වෙනස් කිරීමය. ඒ හරහා අවසන් වරට පාර්ලිමේන්තුවේදී සම්මත වන්නේ මුලින් ඉදිරිපත් කළ පනත නොව, වෙනස්ම පනතකි. මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැණි අතර ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීය. අණ්ඩුව මෙය දිගින් දිගටම ගෙනගිය හොත් අවසානයේදී ව්‍යවස්ථාව සම්මත කිරීමට මෙම ක්‍රියාමාර්ගයම ගනු ඇත.

    සමෘද්ධිය පිළිබඳ ගැටලුව අප තවදුරටත් අධිකරණය හමුවට ගෙන යෑමට සූදානම්ය. එහිදී අධිකරණයෙන් සාධාරණයක් ඉෂ්ට වෙතැයි අපෙක්ෂා කරන අතර, ජනතාවගේ මානව හිමිකම් කඩකිරීමට විරෝධය දක්වමින් මානව හිමිකම් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නෙමු.

Leave a reply.

You must be logged in to post a comment.