• ජාතික සම්පත් විකිණීම

    වරාය නගර ව්‍යාපෘතියෙන් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කරමි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂනායක වූයේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. එක් අවස්ථාවක කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.

    කෙසේ වෙතත් යහපාලන රජය නැවතත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළේ, එය මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කළ වැදගත්ම ව්‍යාපෘතියක් බවට පසක් කරගැනීමෙන් පසුවය. ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන ආවා නම් එහි බිම් සකස් කිරීම වැනි බොහෝ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරයට පැමිණීමට නියමිතව තිබිණි.

    කෙසේ වෙතත් වරාය නගර ව්‍යාපෘතිය නවතා දැමීම හේතුවෙන් එවකට ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධානම නියමුවා බවට පත්ව තිබූ මෙන්ම සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මිතුරෙක් බවට පත්ව සිටි චීනය අප රටටත් සමග අමනාප වීම ආරම්භ කළේය.

    මෙම අමනාපය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ආණ්ඩුවට වන්දි වශයෙන් කොළඹ වරාය නගරයේ වැඩිපුර ඉඩම් කොටස්, හම්බන්තොට වරාය හා අක්කර 15,000 ක් චීනයට ලබාදීමට සිදු විය. චීනයට මෙසේ සන්තෝසම් ලබාදීම ගැන ඉන්දියාව ඉන්පසුව අමනාප විය. ඒ සඳහා ඔවුන්ගේ ඉල්ලීම වූයේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළයි. ඒ අනුව දැන් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීමට අදාළ ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩාලය තුළ කඩිනමින් සිදුවෙමින් පවතී.

    මත්තල පමණක් ඉන්දියාවට දීමෙන් නවතින්නේ නැත. ඉදිරියේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දියාවට පැවරීමට කටයුතු කරනු ඇත. මේ අතර ඉන්දියානු තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මේ සඳහාද අවසරය දීමට රජයට සිදුවනු ඇත.

    අනෙක් අතින් ඉදිරියේදී කොළඹ වරාය හෝ තවත් වැදගත් ආර්ථික මර්මස්ථානයක් ඇමෙරිකාව හෝ ජපානය ඉල්ලා සිටියහොත් එය ඔවුන්ට ලබාදීමටද ආණ්ඩුව කටයුතු කරනු ඇත. ආණ්ඩුව ජාත්‍යන්තරය ජය ගත්තේ මෙසේය. ඇත්ත වශයෙන් ආණ්ඩුව ජයගත්තාද, එසේත් නොමැති නම් පරාජය වූවාද යන්න ජනතාව දන්නා කරුණකි.

    පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරන් බවට පත්ව සිටි කලාපීය, ආසියාතික, යුරෝපීය රටවල් සියල්ලම මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබේ. අනෙක් අතින් ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ රටකි. නමුත් වත්මන් ආණ්ඩුවට තිබෙන්නේ චීනයට, ඉන්දියාවට හා ඇමෙරිකාවට බැඳි  විදේශ ප්‍රතිපත්තියකි.

    අප විදේශයන් සමග ගනුදෙනු කරන විට ඔවුහු මහින්ද රාජපක්ෂ රජයට උපකාර කළහ. නමුත් කිසිම රටක් අපගෙන් ඒ සඳහා හිලව් ලෙස ජාතික සම්පත් නොඉල්ලුවේය. එමෙන්ම ගෝලීය වශයෙන් වැදගත් සම්පත් ආක්‍රමණය කිරීමට කටයුතු නොකළද, ඔවුහු ඒවා දියුණු කිරීම සඳහා අපට උදව් කළහ.

    රෝහින්ග්‍යා සරණාගත ගැටලුව

    මේ වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ රටේ දැඩි  මතයක් නිර්මාණය වී තිබේ. රෝහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණියා හෝ නැතා හෝ මෙතන ඇති ගැටලුව නම් ආණ්ඩුව රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. ඒ සම්බන්ධයෙන් විෂය භාර වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වරින් වර පැමිණි සියලු රෝහින්ග්‍යා සරණාගතයන් දිවයිනෙන් පිටත් කර හැරීමට කටයුතු කළ බවයි.

    ඉන්පසුව බස්නාහිර සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවසුවේ කිසිදු රෝහින්ග්‍යා සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ නොමැති බවයි. නමුත් ඒ ප්‍රකාශවල උණුසුම පහව යන්නටත් මත්තෙන් ගල්කිස්සේ රඳවා සිටි රෝහින්ග්‍යා සරණාගතයන් 31 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය විය. යම් හෙයකින් රජය මෙම සරණාගතයන් 31 දෙනා පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට පවසා තිබුණා නම් එදා ගල්කිස්සේ සිදු වූ සිදුවීම නොවන්නට ඉඩ තිබිණි. රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමත්, ඔස්ට්‍රේලියාවට යන නැවකින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙනඒමත් ආණ්ඩුව සිදුකළ දැවැන්ත කුමන්ත්‍රණයක කොටසක් ලෙස හැඳින්විය හැක.

    නාවික හමුදාපතිගේ මාසයක සේවා දිගුව

    නව නාවික හමුදාපත ට්‍රැවිස් සින්නයියා මහතාට මසක පමණ සේවා දිගුවක් ලබාදීම ගැටලුවක් බවට පත්ව තිබේ. දිගින් දිගටම නැවක් පිළිබඳ ගනුදෙනුවකට විරෝධය දැක්වීම නිසා නව නාවික හමුදාපතිට මසක පමණ සේවා දිගුවක් ලැබී තිබේ. ඒ අනුව ඔහු නාවික හමුදාවේ කෙටිම කලක් සේවය කළ නාවික හමුදාපති වශයෙන් විශ්‍රාම යනු ඇත.

    බොහෝ පිරිසක් විරෝධය දක්වන විට මේ මතභේදයට තුඩු දී ඇති නෞකාව සම්බන්ධයෙන් වන ගනුදෙනුව සිදු කිරීමට ආණ්ඩුවට ඇති අවශ්‍යතාව කුමක්දැයි යන්න පිළිබඳ ජනතාවට හෙළි කළ යුතු වෙයි. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් විරෝධය දැක්වූ දැක්වූ ජනාධිපති ලේකම් හා ආරක්ෂක ලේකම් එම තනතුරුවලින් ඉවත් කෙරිණි. එම ගනුදෙනුවට මුලින් විරෝධය දක්වා පසුව එකඟ වීම හේතුවෙන් හිටපු නාවික හමුදාපතිගේ කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුවේ ඉහළම නායකයෝ කටයුතු කළහ.

    වර්තමාන නාවික හමුදාපතිට මාසයකින් ගෙදර යෑමට සිදුවූයේ මේ ගනුදෙනුවට බෑ කී නිසාදැයි යන්න පිළිබඳ දැන් ජනතාවට සැකයක් මතුව තිබේ. මෙහි පසුපස සිටින්නේ කවුදැයි යන්න රජය රටට හෙළි කළ යුතුව තිබේ.

    අයවැයෙන් සහන ලැබීම

    පළාත් පාලන මැතිවරණය ඉදිරියට පවත්වන හෙයින් ආණ්ඩුව මෙවර අයවැයේදී ජනතාව රැවටීම සඳහා සහන ලබාදීමට කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අහස උසට වැඩි වී තිබේ. මේ මිල ගණන් රුපියලකින් හෝ දෙකකින් අඩු කරමින් ජනතාවට සහන දෙන බව පැවසීමට මංගල සමරවීර මහතාගේ මංගල අයවැය ඉදිරිපත් වනු ඇත. නමුත් එම මංගල අයවැයෙන් නම් ජනතාව නොරැවටෙනු ඇත.

Leave a reply.

You must be logged in to post a comment.