• හම්බන්තොට විරෝධතාව

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබෙන්නේ හම්බන්තොට පැවැති විරෝධතාවට පොලීසිය එල්ල කළ මැර ප්‍රහාරයෙන් පසුවය. රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පැවැති සාමකාමී විරෝධයට පොලීසිය මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේය. කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින් පමණක් නොව අතින් පයින් පවා ජනතාවට පහරදීමට පොලීසිය කටයුතු කළේ යහපාලනයේ නිරුවත ජනතාවට හොඳින් පෙන්වමිනි.

    පොලීසිය මෙහිදී විරෝධතාවට එක්ව සිටි ජනතාව අතරින් 28 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ අතර කාන්තාවෝද වූහ. ඒ අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට එළඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එසේම තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. මෙ අතර විරෝධතාවට එක්ව සිටි මටත්, ඩී.වී. චානක ඇතුළු තවත් කිහිප දෙනෙකුටත් හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය. මට කැඳවීම ලැබුණේ අද (10දා) එන ලෙස වුවත්, මම ඊයේ (09දා) පොලීසියට ඉදිරිපත් වීමට තීරණය කළෙමි.

    කුරහන් සුවඳ තීරු ලිපිය ලියන්නේ සඳුදා දිනයේදී වුවත්, එය %අද^ පුවත්පත හරහා පළ වෙන්නේ අඟහරුවාදා දිනයේදීය. ඒ අනුව මම කුරහන් සුවඳ ලිපිය ලියමින් සිටින විට පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පිටත් වීමි.

    ඒ එය අවසන් කිරීම ප්‍රකාශය ලබාදීමෙන් පසු සිදුකිරීමේ අරමුණිනි. මා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවටද වාර්තා පළ වූ අතර, කුමන දෙයකට හෝ සූදානමින් මම හම්බන්තොට පොලීසියට ගියෙමි. නමුත් මා පොලීසියට පැමිණීමෙන් පසු පොලීසිය පැවසුවේ සඳුදා පාර්ලිමේන්තු දිනයක් නිසාත්, වෙනත් වැඩ තිබෙන නිසාත් කට උත්තරයක් ගන්නට නොහැකි බවයි. නමුත් මා ඒ අවස්ථාවේ සඳහන් කළේ කට උත්තරය ලබාගන්නා ලෙසත්, මගේ විරෝධතාවක් නොමැති බවත්ය. එසේම මම ඒ සඳහා විරෝධයක් නොමැති බවට ප්‍රකාශයක් ලබාදෙන බවත්, කටඋත්තරය ලබාගෙන අවසන් කරන ලෙසත් ඉල්ලා සිටියෙමි. නමුත් පොලීසිය විනාඩි කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසු මට කීවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි 25 වැනිදායින් පසු ප්‍රකාශය ලබාදෙන ලෙසයි. එදාට නොහැකි නම් ඊට පසු දිනයක එය ලබාදෙන ලෙසද ඔවුහු ප්‍රකාශ කළහ.

    අපි සඳුදා දිනයේදීම පොලීසියට ගිහින් ප්‍රකාශය ලබාදීමට කටයුතු කළේ වරදක් කර නොමැති නිසාත්, අප නීතියට අනුව කටයුතු කර ඇති නිසාත්ය. එහෙත් එසේ ඉදිරිපත් වූවාට පසුද අපට ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දවසක් ලබාදීමට කටයුතු කළේද පොලීසියමය.

    විරෝධතාව පිළිබඳ හම්බන්තොට පොලීසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු තහනම් නියෝගයක් ලබාගත් බවට තොරතුරු වාර්තා වුවද, එම නියෝගයේ සඳහන් කරුණු ගැන අපි දැනුවත්ව නොසිටියෙමු. එමෙන්ම විරෝධතාව පැවැති අවස්ථාවේදී විරෝධතාවට එක්වූ පිරිස කිසිදු අවස්ථාවක උසාවි නියෝගය කඩනොකළ බවට පොලීසියද අධිකරණයට කරුණු දැක්වීය. පොලීසිය පැවැසූ කරුණ වූයේ නීතිය හා සාමය කඩවූයේ අවසාන මොහොතේදී විරෝධතාකරුවන් විසිර ගියාට පසු බවයි. පොලීසිය මේ ක්‍රියාවට යොමුකළේ විරෝධතාව කඩා කප්පල් කිරීමට බව එයින්ම පැහැදිලිය. එය කඩාකප්පල් කිරීමට පොලීසිය කටයුතු කළේ අප විරෝධතාව සාමකාමීව පවත්වාගෙන යන අතරතුරය.  කඳුළු ගෑස්, ජල ප්‍රහාර පමණක් නොව පොලීසිය අතින් පයින් පවා විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළේය. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පහරකෑමට ලක්වූ තරුණයෙක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙහිදී එම පොලිස් නිලධාරියාට එරෙහිව කිසිදු ආකාරයකින් තවමත් නීතිය ක්‍රියාත්මක වුවී නැත. නමුත් යම් හෙයිකින් මෙම ප්‍රහාරයට පොලිස් කොස්තාපල්වරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධ වූයේ නම් ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබීමටද බැරි නැත.

    හම්බන්තොටදී පොලීසිය එල්ල කළ ප්‍රහාරය මගින් තවත් දෙයක් පැහැදිලි විය. අප දිගින් දිගටම සඳහන් කළේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් තිබෙන බවයි. එම පොලිස් රාජ්‍යයේ ලක්ෂණ හම්බන්තොටදී  මනාව දැකීමට හැකි විය. විරෝධතාවට සම්බන්ධයක් නොමැති, ඖෂධ ලබාගැනීමට ආයුර්වේද රෝහලට පැමිණි මවුවරුන් පවා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් රාජ්‍යයේ ලක්ෂණ පෙන්වීය.

    අප මේ විරෝධතාව වෙනුවෙන් හම්බෙන්තොට යොදාගත්තේ රාජ්‍ය සම්පත් විකිණීමේදී වැඩිම හානිය හම්බන්තොටට සිදුවන හෙයිනි. ආණ්ඩුව මේ වනවිට හම්බන්තොට වරාය චීනයට පවරා අවසන්ය. දැන් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවරීමට කටයුතු කරමින් තිබේ. ඊට අමතරව හම්බන්තොට අක්කර 15000 ක් චීනයට ලබාදෙන බවටද තොරතුරු වාර්තා වෙමින් පවතී.

    හම්බන්තොට වරායත්, මත්තල ගුවන්තොටුපොළත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආදායම් උත්පාදනය සඳහා පවතින හොඳම ආර්ථික මර්මස්ථාන දෙකකි. චීනය විසින්  %එක් තීරයක් එක් මාවතක්^ සංකල්පය ක්‍රියාවට නැංවීමත් සමග හම්බන්තොට වරායෙනුත්, මත්තල ගුවන්තොටුපොළෙනුත් විශාල ආදායමක් උපයාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. ඒ සඳහා සැලසුම් සකස් කරනවා වෙනුවට යහපාලන ආණ්ඩුව කළේ එම සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීමය.

    සුබ අනාගතයක් !

    ලබන සතියේදී නැවත හමුවෙමු

Leave a reply.

You must be logged in to post a comment.