• පෙට්‍රල් අර්බුදයෙන් පෞද්ගලීකරණයට පාඩමක්

    රජයකට කිසියම් වූ ගැටලුවක් නිරාකරණය කරගත නොහැකි වෙයිද, එහි අවසන් ප්‍රතිඵලය විඳීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවටය. මේ දිනවල පවතින පෙට්‍රල් අර්බුදයද ඒ සඳහා හොඳම උදාහරණයයි. පෙට්‍රල් අර්බුදය මේ තරම් වර්ධනය වීම පසුපස කොමිස් පිළිබඳ කතාවක් පවතී.

    අමාත්‍යාංශය නිවේදනය කරන්නේ පෙට්‍රල් අර්බුදයක් නොමැති බවය. නමුත් සාමාන්‍යයෙන් පාරේ ගමන් කරන විටත්, ඉන්ධන පිරවුම්හල් තුළට පිවිසෙන විටත් පවතින දිගු පෝලිම් ඛනිජ තෙල් අර්බුදයක් ඇතිද, නැතිද යන්න පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබාගැනීමට ප්‍රමාණවත් වෙයි.

    මීට ඉහතදීත් ඛනිජ තෙල් අර්බුදයක් ඉස්මතු විය. එහි පීඩාවද අවසානයට දැරීමට සිදුවූයේ සාමාන්‍ය ජනතාවටය. ආණ්ඩුව එම ගැටලුව අවසන් කිරීමට කටයුතු කළේ මැරයන් යොදවා විරෝධතාකරුවන්ට පහරදීම මගිනි.

    මේ දිනවල පවතින ඛනිජ තෙල් අර්බුදය පසුපස බාලතෙල් නැවක් පිළිබඳ කතාබහක් පවතී. එය රට තුළට නොගැනීම හේතුවෙන් මෙම අර්බුදය උත්සන්න වූ  බවද කියැවේ. කෙසේ වෙතත් මෙම බාලතෙල් නෞකාව ත්‍රිකුණාමලයෙන් රට තුළට ගැනීමට උත්සාහයක් පවතින බවද වාර්තා විය.

    බාලතෙල් නැව ප්‍රතික්‍ෂේප වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන සපයන තෙල් සමාගමක් තවත් නෞකාවක් ඔක්තෝබර් 02 වැනිදා වනවිට ශ්‍රී ලංකාවට යොමුකරන බව සඳහන් කළද, එයද සිදුනොවිණි. ඒ අනුව අර්බුදය තවත් උත්සන්න විය. කෙසේ වෙතත් වර්තමාන ඛනිජ තෙල් සම්බන්ධ අර්බුදය පිළිබඳ විවිධ වූ තොරතුරු වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා රටට හෙළිදරව් කිරීමට ආණ්ඩුවේ වගකීමය.

    පෞද්ගලීකරණය කිරීමේ කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවූ බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ හරහා පෞද්ගලීකරණය පිළිබඳ ජනතාවට නව කෝණයකින් සිතීමට අවස්ථාව හිමිව තිබේ. ත්‍රිකුණාමලයේ මෙන්ම හම්බන්තොට තෙල් ටැංකි සංවර්ධනය කරන මුවාවෙන් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කරමින් තිබේ. මේ හරහා සිදුවන්නේ ශ්‍රී ලකා ඛනිජ තෙල් සංස්ථාවට ඇති බලය තවදුරටත් අඩුවී ඉන්දීය සමාගම්හි බලය වැඩිවීමය.

    රජයේ කොන්දේසි කඩකරමින් ඉන්දීය සමාගම් බාලතෙල් සහිත නැව් ලංකාවට ගෙන ඒමටත්, නිශ්චිත දින වකවානුවලට ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට ළඟකර වීමට ඔවුන් කටයුතු නොකරන්නේත් දැනටමත් ඔවුන් සතුව ඇති බලය හේතුවෙනි.

    මෙයින් පෙනී යන්නේ එම සමාගම් අභිමත ආකාරයට කටයුතු කරන අයුරුය. වෙළෙඳ පොළේ කොටසක් පමණක් හිමි ඉන්දීය සමාගම් මෙසේ කටයුතු කරන්නේ නම්, ඔවුන්ගේ බලය තවදුරටත් වර්ධනය වේ නම් ඔවුන් කෙසේ හැසිරෙයිද යන්න පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මේ අතර මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉදිරියේදී ඉන්දියාවට පැවැරීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරියේදී මත්තල ගුවන්තොටුපොළ හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේදී හා පැමිණීමේදී ගැටලු ඇතිවීමටද අවස්ථාව තිබේ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද මේ ගැටලුව පවතී.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී මර්මස්ථාන මේ ආකාරයට පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කිරීම ගැටලුවක් වන්නේ ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමෙන් අවසන් ප්‍රතිවිපාක ජනතාවට දරාගැනීමට සිදුවීමය.

    පළාත් පාලන මැතිවරණය

    ආණ්ඩුව සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පවත්වන බවයි. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අපට නම්, මැතිවරණයක් පැවැත්වෙයිද යන්න පිළිබඳ තවමත් සැකයක් තිබේ. ආණ්ඩුව මේ වනවිට මැතිවරණයකට යෑම සතුටුදායක නොවන හෙයින් තෙවැනි පාර්ශ්වයක් ලවා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමෙන් හෝ එය කල්දමා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරයි යැයි සිතිය නොහැකිය.

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තරග කිරීමට සාකච්ඡා පවත්වමින් තිබේ. මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ටද එක්වීමට අවස්ථාව තිබේ.

    ජීවන වියදම

    වර්තමානයේ ජීවන වියදම් පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඉතිහාසයේ කිසිදු දිනයක නොවූ ලෙස පොල් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ. ග්‍රෑම්වලින් පොල් අලෙවි කරන තරමටම එය උග්‍ර වී තිබේ. සහල් පිළිබඳවද තත්ත්වය එසේමය. හාල් වර්ග අතළොස්සක් හැරෙන්නට සියලුම සහල් මිල රුපියල් 100 ඉක්මවා ගොස් තිබේ.

    මේ අතර ආණ්ඩුව පිටරටින් සහල් ආනයනය කරන බවද පැවසීය. සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ලංකාවට ගෙන ආ නමුත් තවමත් සහල් මිල අඩු නොවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බව නම් මනාව පැහැදිලිය. සහල් මිල අඩු නොවන්නේ මන්දැයි යන්න පිළිබඳ ආණ්ඩුව පරීක්ෂණයක් කිරීම ඉතාමත් වැදගත් කරුණකි.

    සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02ක් ආනයනය කිරීමේදී එම තොගය ආනයනය කළේ කවුරුන් දැයි යන්න පිළිබඳ මේ අවස්ථාවේදී ජනතාවට හෙළිදරව් කළ යුතුය. මෙතරම් සහල් ප්‍රමාණයක් ආනයනය කළද, රුපියල් 100ට අඩුවෙන් සහල් ලබාදිය නොහැකි නම් ගැටලුවක් පවතින බව මනාව පෙනීයයි.

    ජීවන වියදම් කමිටු, ආර්ථික කමිටු ආදී වශයෙන් සෑම දෙයකමට කමිටු මෙන්ම කොමිසම් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරයි. නමුත් ඒ කමිටුවලින් හෝ කොමිසම් හරහා ජනතාවට සිදුවූ සේවයක් නොමැත. ඒ සඳහා ජනතාවගේ මුදල් වෙන් කිරීමද අපරාධයකි.

    තංගල්ල බන්ධනගාරය

    හම්බන්තොට විරෝධතාවට එක්වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සඳහා ඊයේ දිනයේදීත් අපි කටයුතු කළෙමු. පසුගිය රජය යටතේ ඉදිකළ තංගල්ල බනධනාගාරයේ සේවා පවත්වාගෙන යෑම සඳහා නිලධාරීන් 100 – 150ක් පමණ අවශ්‍ය වුවද, සිටිනුයේ 30 දෙනෙකි. එය බන්ධනාගාර කටයුතු නිසි ලෙස පවත්වාගෙන යෑම සඳහා කිසිසේතම ප්‍රමාණවත් නොවේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.