• ඒකාධිපති පාලනය හා දිට්ඨ ධම්මවේදනීය කර්ම

    ජාත්‍යන්තරයේ සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමකින් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කරමි. ඒ සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතාගේ පාලනයෙහි සිදු වූ කඩාවැටීම සම්බන්ධයෙනි. ඔහුගේ පාලනයෙන් දේශපාලකයන්ට ඉගෙනගැනීමට බොහෝ දේ පවතී. සිම්බාබ්වේට එවැනි අභාග්‍යසම්පන්න සිදුවීමක් නොවී ආණ්ඩු මාරුවක් සිදු වූයේ නම් නිවැරදි යැයි අප දරන මතයයි.

    නමුත් ඔහුගේ පාලනය මෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට මෙය අවස්ථාවක් නොවේ. මුගාබේ පාලනයට චෝදනා එල්ල වූයේ ඔහු ඒකාධිපති පාලකයෙකු බවටය. මෙම චෝදනාව පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයටද එල්ල විය.

    නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෘජුව තීන්දු තීරණ ගත්තේය. එවකට මැතිවරණයට එක්වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එම පාර්ශ්වයෙන් මෙම සෘජු තීන්දු තීරණ ගැනීම ඒකාධිපති පාලනයක් බවට හුවා දැක්වීය. සෘජුව තීන්දු තීරණ ගැනීම හා ඒකාධිපති පාලනය අතර විශාල වෙනසක් පවතී. රටක පාලනය සඳහා සෘජු තීන්දු තිරණ ගැනීම වැදගත් ය. ලෝකයේ බොහෝ රටවල් දියුණු වී ඇත්තේ එසේ සෘජු තීන්දු තීරණ ගැනීමෙනි.

    මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් සිංගප්පූරුව පාලනය කළ ලී ක්වාන් යූ ය. ඔහු සිංගප්පූරුව දියුණු කළේ එසේ සෘජු තීරණ ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මූලිකම අරමුණක් වූයේද සෘජු තීන්දු තීරණ ගැනීමය. යුද්ධයෙන් පටන් ගෙන ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර ආරම්භ කළ මෙගා ව්‍යාපෘති දක්වා වූ සියල්ලම ක්‍රියාවට නැංවූයේ එසේ සෘජු තීරණ ගැනීමේ ප්‍රතිඵල වශයෙනි.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ නැත්තේ මෙයය. එසේ වුවද ශ්‍රී ලංකාවේ පාලකයන් මේ වනවිට ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරවමින් සිටියි. එහිදී ඒකාධිපති පාලකයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, නැත්නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද යන්න පිළිබඳ ජනතාවට ගැටලුවක් තිබේ.  සිම්බාබ්වේ පැවැති ඒකාධිපති පාලනය හා ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ඒකාධිපති පාලනය අතර වෙනසක් නොමැත.

    වත්මන් ආණ්ඩුව මුලින්ම ඒකාධිපති ගමනක් ගමන් කළේ ගමේ පාලනය සකස් කරන පළාත් පාලන මැතිවරණය අත්තනෝමතික ලෙස කල් දමමිනි. ඉන්පසුව පළාත් සභා මැතිවරණයද කල් දැමිණි. මහ බැංකු බැඳුම්කර වංචාව, ඔස්ට්‍රේලියාවේ අල්ලස් හා දූෂණ පරීක්ෂණය, රුසියාවේ නැව් ගනුදෙනුව, උද්ඝෝෂණවලට පහරදීම ආදිය පිළිබඳ අවධානය යොමු කරන විට පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ඒකාධිපති පාලනයයි.

    මහින්ද රාජපක්ෂ මහතාට සෘජු තීරණ ගැනීම පිළිබඳ චෝදනා එල්ල කළ වත්මන් පරිපාලකයන්ට චෝදනා එල්ල වන්නේ තීන්දු තීරණ නොගෙන අත්තනෝමතික පාලනයක් පවත්වාගෙන යෑම පිළිබඳවය.

    මේ අතර බැඳුම්කර කොමිසම හරහා තවත් වැදගත් තොරතුරු හෙළිවෙමින් පවතී. එහිදී හෙළි වූ වැදගත්ම තොරතුරක් වන්නේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් හා කෝප් කමිටු සාමාජිකයන් අතර ඇති වූ දුරකථන සංචාදයන්ය.

    එම කෝප් කමිටු සාමාජිකයන් අතරින් අමාත්‍ය දයසිරි ජයසේකර මහතා තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ කරුණු පැහැදිලි කළේය. මේ අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගෙන් විමසා සිටි විට ඔහු එයට පිළිතුරු දෙනවා වෙනුවට කළේ එයින් මගහැර යෑම සඳහා ප්‍රශ්නය වෙනත් අතකට යොමු කිරීමය.

    සුජීව අමාත්‍යවරයාට එයට පිළිතුරු දීමට නොහැකිය. ඔහු බැඳුම්කර ගනුදෙනුව නිවැරදි කරමින් පොතක් පවා ලියා පළ කළ තිබේ. ඉතින් ඔහුගේ දුක අපට හොඳින්ම තේරේ. අපට බොරු චෝදනා එල්ල කොට සිරගත කළ පුද්ගලයන්ට අද වනවිට දිට්ඨධම්මවේදනීය කර්ම පල දෙමින් තිබෙන්නේ මේ අයුරිනි.

    ඔවුන් මුලින්ම සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් නොදන්නා බවයි, පසුව පැවසුවේ ඇලෝසියස් නාමල් රාජපක්ෂගේ  මිතුරෙක් බවයි.  මේ අතර මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන ටැප් කිරීම හා පෞද්ගලික තොරතුරු හෙළි කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩකිරිමක් බවයි.

    නමුත් අපේ දුරකතන ටැප් කිරීම, අපි යන එන තැන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම, මාධ්‍ය සමග අපේ නිවෙස්වලට පැමිණ පරීක්ෂණ කිරීම මන්ත්‍රී වරප්‍රසාද  කඩකිරීමක් නොවන්නේදැයි ප්‍රශ්න කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    අනෙක් අතින් බැඳුම්කර වංචාව සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සම්බන්ධ නොමැති බව පැවසුවද ඒ සඳහා ඔවුන් වගකිව යුතු වෙයි. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවූ පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත්කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බාරගත යුතුය. මන්ද යත් අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් නිර්දේශ කළද, එම පත්වීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙයිනි.

    මේ අතර ඇතැම් මාධ්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැති බවට තොරතුරු වාර්තා කර තිබිණි. එම වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමිනි.

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් සිටින විට එයට එරෙහිව මේ වනවිට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. කුරහන් සුවඳ තීරු ලිපි මාලාවෙන් මීට පෙර අවස්ථාවකදී මා මේ පිළිබඳ ඔබට පැහැදිලි අවබෝධයක් ලබාදුන්නෙමි. එහිදී මා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල් දමාගැනීම සඳහා වත්මන් පාලනයට ඇති එකම තුරුම්පුව ලෙස එයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාවක් ඇති බවයි. මේ වනවිට එය යථාර්ථයක් බවට පත්ව ඇත. දැන් එය අධිකරණය සතු ක්‍රියාවක් හේතුවෙන් ඒ පිළිබඳ තවදුරටත් අදහස් ප්‍රකාශ නොකරමි.

    මේ අතර පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ සිද්ධිය පිළිබඳවද යමක් කතා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. තිස් අවුරුදු ශාපලත් යුද්ධයකින් පසු සාමයෙන් නැගී සිටින ශ්‍රී ලංකාව තවත් එවැනිම වූ අඳුරු යුගයකට ගමන් නොකරවීමට වත්මන් පාලනය තීන්දු තීරණ ගත යුතුය. ගිංතොට ගැටුම පසුපස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් සිටින බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත.

    ජනතාවද මීට වඩා ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙයි. එසේම එවැනි සිදුවීම් නැවත නැවතත් ඇතිවීම වැළැක්වීමට රජය කටයුතු කළ යුතුය. ඒ සඳහා හමුදා බුද්ධි අංශ සක්‍රිය කිරීම වැදගත් වෙයි. නමුත් මේ වනවිට ආණ්ඩුව විසින් බුද්ධි අංශ අඩපණ කර තිබීමත්, බුද්ධි අංශ  නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබීමත් නිසා බුද්ධි අංශ කෙසේ නම් සක්‍රිය කරන්නේදැයි ගැටලුවකි.

     

Leave a reply.

You must be logged in to post a comment.