• ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයට තවත් අවස්ථාවක්!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට සත්‍ය වශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවක් ඇති බව නොපෙනේ. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට දෑත් දික් කළද නායකයන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුහුණදීමට තීරණය කර ඇත.

    නමුත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට සත්‍ය ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නම් තවත් එක් අවස්ථාවක් තිබේ. ඒ ඉදිරියේදී පැමිණෙන අයවැය ඡන්දයේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි.  ඒ හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් තිබේ.

    මේ වනවිට හම්බන්තොට වරාය චීනයට පවරා දී අවසන්ය. එහි මෙහෙයුම් කටයුතු ලබන 08 වැනිදා සිට ආරම්භ වීමට නියමිත බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළේය. හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළව ගිවිසුම්වලට අත්සන් කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි.

    ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොළද ඉන්දියාවට පවරාදීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුම්ද අත්සන් කරනු ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි. මේ අනුව වතමන් යහපාලන ආණ්ඩුව විසින් සිදුකරන පව්වලින් වැඩි ප්‍රමාණයකට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වගකිවයුතු වෙයි. අනෙක් අතින් ඔවුහු දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් කටයුතු කරති.

    මැතිවරණ කොමසාරිස්වරයා කොන්ද කෙළින් තබා ගත් තීරණයක් හේතුවෙන් ආණ්ඩුව සිරවීමේ ප්‍රතිඵලය වූයේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඒවා ගොනු කළ පාර්ශ්ව විසින්ම ඉල්ලා අස්කර ගැනීමයි. මේ කුමන්ත්‍රණය පසුපස සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය බවට බොහෝ දෙනෙක් චෝදනා කරන්නට වූහ.

    කෙසේ හෝ වේවා මේ වනවිට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ඇති බාධා ඉවත්ව යමින් තිබේ. ඉදිරියට එන මැතිවරණ අපේක්ෂා කරගෙන ආණ්ඩුව මේ වනවිට කටයුතු ආරම්භ කර ඇත. ඒ අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම්ද සිදු වෙයි. ඉදිරියේදී වරාය අධිකාරිය වෙනුවෙන් සේවකයන් 3000 ක් බඳවාගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.

    මේ වනවිට හම්බන්තොට වරායේ රැකියා අහිමි වූ 450 ක පමණ පිරිසක් සිටිති. ආණ්ඩුව කළ යුතු වන්නේ මුලින්ම මෙම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමයි. හම්බන්තොට සිටින සේවකයන් ගැන ආණ්ඩුව සත්‍ය වශයෙන්ම වද වෙන්නේ නම් කළ යුතු වන්නේ ඔවුන්ට රැකියා ලබාදීමයි.

    පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඇතුළුව සමස්තයක් වශයෙන් ආබාධයට ලක්වූ ජනතාව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මුලින්ම පැවසිය යුතු වන්නේ ආණ්ඩුව නිසි සූදානමකින් සිටියා නම් සිදු වූ ජීවිත හානි බොහෝමයක් අවම කරගැනීමට අවස්ථාව තිබූ බවයි. ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවට හදිසි ආපදාවක් සිදු වන බවට ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

    මේ අනුව ජනතාව එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් සිටියහ. අපාදාවෙන් වැඩි වශයෙන්ම ජීවිතක්ෂයට පත්වූයේ ධීවරයෝය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරියාකාරව ධීවර ප්‍රජාව දැනුවත් කළේ නම් ඔවුන්ට සිදු වූ හානිය වළක්වාගැනීමට අවස්ථාව තිබුණි. මේ පිළිබඳ අප පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කරන විට ආණ්ඩුව සඳහන් කළේ ශ්‍රී ලංකාවට එවැනි බලපෑමක් නොමැති බවයි.

    නමුත් අපාදාවක් නැතැයි කියා පැය විසිහතරක් ගත වීමට මත්තෙන් ආපදාව පැමිණියේය.  ඒ සඳහා ජනතාව සූදානම් නොවී සිටිමෙන් විශාල හානියක් ඇති විය. මේ අතර ඇතැම් ප්‍රදේශ තුළ තවමත් විදුලිය යථා තත්ත්වයට පත්කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

    කාලගුණය පාලනය කළ නොහැකි සාධකයකි. ඒ හේතුවෙන් 100% ක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකිය. නමුත් ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට තවමත් ආසන්න වශයෙන් හෝ අනාවැකියක් පැවැසීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලියේ පැවැත්වෙන තරගයේදී වායු දූෂණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලුවකට පත්වීමේ සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමුකර ඇති තත්ත්වයක් දැකිය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇති වූ අපහසුතාව වළක්වාගැනීම වෙනුවෙන් මුඛවාඩම් දමා ක්‍රීඩා කිරීම පිළිබඳ ඉන්දීය මාධ්‍යත්, ඇතැම් ක්‍රීඩා විචාරකයනුත් උපහාසයෙන් කතා කරන අයුරු දැකගත හැකි විය.

    නමුත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ ලෝකයේ ඉහළම වායු දූෂණයක් පවතින නගර අතර දිල්ලිය ඉදිරියෙන්ම සිටින බවයි. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන්ට පන්දු යැවීම තරමක් අපහසු වෙයි. ශ්‍රී ලංකාවට සිදුවූයේද එයයි. ගුවන් යානා ධාවනය පවා නවත්වා තිබූ බවටද තොරතුරු වාර්තා විය. නවදිල්ලි නුවර තරග පැවැත්වීමේදී ඉදිරියේදී මේ පිළිබඳ හෝ අවධානය යොමුවනු ඇත. ක්‍රීඩාවේදී අංක එකට සලකා බැලිය යුතු වන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවයි.

    ඔබට සුබ අනාගතයක්!

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

Leave a reply.

You must be logged in to post a comment.