• රුසියානු තේ තහනම හා ජාත්‍යන්තර සබඳතා.

    ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත අපනයනය කළ තේ තොගයකින් කුරුමිණි විශේෂයක් හමුවීමත් සමග රුසියාව විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් තේ ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම නවත්වා ඇත. මෙය ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණකි. ඒ බව සඳහන් කිරීමට දත්ත කිහිපයක්ද ඉදිරිපත් කරමින් ලිපිය අරම්භ කරමි.

    රුසියාවට තේ අපනයනය කරන ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරට වෙළෙඳ පොළේ හිමිව ඇති කොටස 23% කි.  මේ වසරේ මාස 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ තොගය ටොන් 141,300 ක් වන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 436 කි. මෙවැනි දත්ත හරහා පෙන්නුම් කරන්නේ රුසියාවේ තේ වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවට හිමි බලයයි.

    කෙසේ වෙතත් රුසියාවේ ශ්‍රී ලංකාවේ තේ සඳහා වන තහනම ඊයේ (18දා) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි. ඔවුන් මෙම තහනම පනවන්නේ තාවකාලිකව බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම වැදගත් වෙයි.

    මේ හරහා ශ්‍රී ලංක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වීමට අවස්ථාව තිබේ. මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන රැලියකදී ප්‍රකාශ කර තිබුණේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමා රුසියානු ජනපතිට ලිපියක් යොමු කිරීමට බලපාපොරොත්තු වන බවයි.

    කෙසේ වෙතත් ලිපිය ලියන අවස්ථාව වනවිටත් එවැනි ආකාරයක ලිපියක් ජනාධිපති විසින් යොමුකර ඇති බවට තොරතුරු වාර්තා නොවීය. වත්මන් ආණ්ඩුව අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ දැන් බටහිර ශ්‍රී ලංකාව දෙස වෙනස් වූ ආකාරයෙන් බලන බවයි. ඒ අනුව ආණ්ඩුව ඉතාමත් ඉක්මනින් කටයුතු කළ යුතු වෙයි.

    අනෙක් අතින් මෙම තහනම පැනවීමත් සමග ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අසාර්ථක බව හොඳින්ම පැහැදිලි වෙයි. ආණ්ඩුවට කිසිම සැලසුමක් හෝ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොමත. මේ වනවිට ආණ්ඩුව පොදු විදේශ ප්‍රතිපත්තියකින් බැහැරව එක් එක් රටවලට වෙන් වෙන් වූ ප්‍රතිපත්ති භාවිත කිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව තිබේ.

    මගේ දේශපාලනය දෛවය තීරණය කරාවි

    මේ අතර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ නාමල් රාජපක්ෂ 2025 දී බලයට ගෙන ඒම සඳහා මහින්ද රාජාපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බවයි. මුලින්ම සඳහන් කළ යුතු වන්නේ මාව බලයට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට උවමනාවක් නැති බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී වෙන්ව නොයා යුතුය යන මතයේ තවමත් අපි සිටිමු. කෙසේ වෙතත් දැන් එය සිදුවෙමින් පවතින බව පැහැදිලි වෙයි. පක්ෂය එකතු කිරීමට නම් සිදුකළ යුතුව තිබූ එකම දෙය වූයේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එයින් ඉවත්වීමය.

    නමුත් තනතුරු, වරදාන, වරප්‍රසාද හමුවේ ඔවුන් එය සිදු කිරීමට අකමැති බව පෙනුණි. අපටත් එසේ තනතුරු වරදාන හමුවේ ආණ්ඩුවට එක්වීමට තිබිණි. නමුත් ජනතාව වෙනුවෙන්, රටේ සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි තවමත් විපක්ෂයේ සිට සටන් කරන්නෙමු. අපි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියේ මේ සටනට සහාය දැක්වීමට අපත් සමග එක් වන ලෙසය.

    නමුත්  ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. තම ගැටලුව වසාගැනීම සඳහා සුපුරුදු පරිදි රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරමින් සිටියි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ මා යන තැන මගේ දෛවය තීරණය කරනු ඇත. මම තවදුරටත් දේශපාලනයේ නිරත වෙමි යන්නයි. එස්.බී. දිසානායක යනු දේශපාලනය  වසර කිහිපයක් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලනය ගැන ජනතාව හොඳාකාරවම දනී. ඉතින් එවැනි අයෙක් කරන මෙම ප්‍රකාශ වැදගත් නොවේ.

    මේ වනවිට මැතිවරණය ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතරට යමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට මැතිවරණයට හොඳ සූදානමකින් තරග කරමින් සිටියි. අප ඉදිරිපත් කළ නාමයෝජනා හයක් සුළු දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබිණි. කෙසේ වෙතත් ඒ සඳහා නීතිමය වශයෙන් ගත යුතු පියවර පිළිබඳ මේ වනවිට සාකච්ඡා පවත්වමින් පවතී.

    කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට තවමත් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට වැ‍ඩපිළිවෙළක් ඇති බවට නොපෙනේ. මේ වනවිට අපට ඇති ගැටලුව වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එසේත් නොමැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටනට නායකත්වය සපයන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය මෙම මැතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන්නේදැයි යන්නයි.

    පක්ෂ මාරුවීම් සිදුවන බවට තවදුරටත් මතයක් පවතී. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ පිරිස ගැන යමක් කිවයුතුව තිබේ. ඔවුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරමින් පසුදින ආණ්ඩුවට එක්වූ පිරිසය. ඒ අනුව එය සිදුවූයේ හුදෙක්ම වාසි වෙනුවෙනි.

    ඔවුන් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පතුරමක් හෝ ලබාගැනීමට සූදානම් බවයි. නමුත් නාමයෝජනා නොලැබූ පමණින් ඔවුහු ආණ්ඩුවට එකතු වීමට කටයුතු කරති. නාමයෝජනා නොලැබූ පමණින් රට විකුණන පාර්ශ්ව සමග එකට එකතු වී ඉඳගැනීමට කටයුතු කරති.  ඔවුන් රටට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන්නේද, එසේත් නැත්නම් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන්නේදැයි යන්න මෙහිදී හොඳින්ම පැහැදිලි වෙයි.

    ලබන සතියේදී හමුවෙමු!

    ඔබට සුබ අනාගයත්!

Leave a reply.

You must be logged in to post a comment.