• අසාර්ථක වසර තුනක්

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් ගතවන අවස්ථාවේ මේ සතියේ “කුරහන් සුවඳ” තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉදිකළ හම්බන්තොට වරායේ චීන කොඩි ඔසවා තිබේ. ඒ සැමට ඉහළින් තිබූ     ශ්‍රී ලංකා කොඩිය පහත් කරමින් චීන හා ශ්‍රී ලංකා කොඩි එක මට්ටමකට ගෙන එමිනි.

    ජනාධිපතිවරයාගේ තෙවැනි පදවි ප්‍රාප්තිය සමරනුයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ලොකුම කොල්ලයට චූදිතයන් වූ  අග්‍රාමාත්‍යවරයා ආරක්‍ෂා කර ගනිමිනි. බැඳුම්කර වාර්තාව පිළිබඳ ප්‍රකාශයක් කර ජනාධිපතිවරයා එය නීතිපතිට යොමුකර ඇත. ඒ හරහා ඔහුගේ වගකීම අවසන්ය. දැන් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

    මේ අතර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවද අගමැතිවරයා නීතිපතිවරයාට යොමු කළේය. ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන්ද ඉදිරියට වගකීම ඇත්තේ නීතිපතිවරයාගේය.

    ඒ අනුව ජනාධිපති හා අගමැති බැඳුම්කර පන්දුව නීතිපතිට යොමුකර ඔවුන්ගේ අත් පිසදා ගෙන තිබේ. දැන් ජනතාව බලා සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්නය.

    කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කර මාස කිහිපයක් ගතව ඇතත්, ඒ සඳහා ගත් ඉදිරි පියවරක් නොමැත. එම තත්ත්වයම බැඳුම්කර වාර්තාවටත් අත්වෙනු ඇත. කාලයක් ගත වූ විට ජනතාවටම එය අමතක වනු ඇත.

    ජනාධිපතිවරයාගේ තෙවැනි පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් රාජගිරිය ගුවන්  පාලම හා මොරගහකන්ද ජලාශය ජනතාව වෙනුවෙන් විවෘත කිරීම සිදු කළේය. මේ ව්‍යාපෘති දෙකම ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේය.

    මෙම ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ ලබන්නේ ජනතාව වන හෙයින් ප්‍රමාද වී හෝ එම ව්‍යාපෘති ජනතාවට විවෘත කර දීමට රජය කටයුතු කිරීමට ස්තුතිවන්ත වෙමි. මේ ආකාරයටම වරාය නගරය, උමාඔය ව්‍යාපෘතිය, නෙළුම් කුළුණ නියමිත පරිදි ඉදි කිරීමට රජය අවස්ථාව දුන්නේ නම් එම ව්‍යාපෘති අවසන් අදිරයට පැමිණීමට හැකියාව තිබිණි.

    කුමන ව්‍යාපෘතියක් අවසන් කළද, එය සිදුවන්නේ ජනතා මුදලිනි. නමුත් වත්මන් ආණ්ඩුව පවසනුයේ මේ ව්‍යාපෘති සඳහා මුදල් ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා බවයි. නමුත් පවසනුයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සොරකම් කර ඇති බවය.

    ජනාධිපතිවරණ කාලසීමාවේදී රාජගිරිය ගුවන් පාලමෙන් කොමිස් ගත් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැතිවරණ වේදිකාවල පැවසීය.

    දැන් කතාව කණපිට හරවමින් කියනුයේ රාජගිරිය ගුවන් පාලමට මුදල් ගෙනාවේ ජනාධිපති හා අගමැති බවය. මෙයින්ම යහපාලන ආණ්ඩුවේ බොරුව හොඳින්ම පැහැදිලි වෙයි. එදා කොමිස් ගත්තා යැයි පැවසූ රාජගරිය ගුවන් පාලමට මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාය. ජනාධිපතිවරණ සමයේ කළ අනෙකුත් ප්‍රකාශද මේ ආකාරයටම වෙයි. කෙසේ වෙතත් ජනතාව දැන් යහපාලන ආණ්ඩුවේ අසත්‍ය ප්‍රචාරවලට හසු නොවනු ඇත.

    මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද පළමු ජන හමුව පසුගියදා කඩවතදී පැවැත්විණි. ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක්ද ලැබිණි. එම ජනතාව දුටු ආණ්ඩුව දැන් කලබලයට පත්ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් මේ ආරම්භය පමණි.

    මේ අතර මැතිවරණය වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් තරග වදින අපේක්‍ෂකයන්ට සහාය දැක්වීම වෙනුවෙන් කොළඹ පැවැති ජනහමු කිහිපයකට එක්වීමට පසුගිය දින කිහිපයේදීම මා හට අවස්ථාව ලැබිණි. මීට සමගාමීව කොළඹ නගරයේ ජනතාව ජීවත් වන නිවාස වෙත ගමන් කිරීමද ආරම්භ කළේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලැබී ගැනීම වෙනුවෙනි.

    සමස්ත ජනතාවම බැට කන ජීවන වියදම් ප්‍රශ්නය කොළඹ ජනතාවට තදින්ම දැනී ඇත. ග්‍රාමීය ජනතාවට සාපේක්‍ෂව නගර බද ජනතාව එදිනෙදා සිය ජීවිතය පවත්වාගෙන යෑම සඳහා විශාල අරගලයක නිරත වන බව මෙහිදී පැහැදිලිව දක්නට ලැබිණි.

    අනෙක් අතින් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ඉබි ගමනින් ඉදිරියට යනවා හැරෙන්නට වත්මන් ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතියක් නොමැති තරම්ය.

    කොළඹ නගරයේ ව්‍යාපාරිකයෝද දැඩි ලෙස ගැටලු රැසකට මුහුණපා සිටිති. ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිරිසුදු නගරයක් බවට පත්කිරීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මේ වන විට සිදු නොවන බව ජනතාව පැවසූ ප්‍රධාන කරුණකි. අනෙක් අතින් කොළඹ කොටුව ආසන්නයේ පවතින පාවෙන වෙළෙඳ සැල් සංකීර්ණයද දැන් අභාවයට යමින් තිබේ. හම්බන්තොටද, කොළඹද, යාපනයද, නුවරද කියා භේදයක් නොමැත. ජනතාව ආර්ථික ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. මේ සියල්ලෙන්ම පෙනෙනුයේ වත්මන් රජය පත්ව තවත් අසාර්ථක වසර තුනන් අවසානයේදී තවත් අසාර්ථක වසරක් ආරම්භ වෙමින් තිබෙන බවයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.