• පොරොන්දු දේශපාලනය හා ආර්ථිකය අතට ගැනීම

    මැතිවරණ කටයුතු සඳහා දිවයින පුරා යෑමට මට සිදුව ඇත. පසුගිය අඟහරුවාදා තීරු ලිපිය ලිවීමෙන් අනතුරුව ගතවූ සතිය තුළදීද මා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා සහාය දැක්වීය. එහිදී මා හට දැකීමට සිදුවූයේ එකම දෙයයි. එනම් පොරොන්දු දේශපාලනය හා කප්පම් දේශපාලනයයි.

    මේ සඳහා උදාහරණ දෙකක් මම ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් මෙහි සටහන් තබමි. එකක් හම්බන්තොට, සූරියවැව, හත්පෝරුව ගම්මානයේ අම්මා කෙනෙක් මා හට පැවසූ කතාවයි. ඇය සඳහන් කළේ, උදේ එක්සත් ජාතික පක්ෂයෙන් කැන්වසින් ආපු අය පැවසුවේ “එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නේ නැත්නම් සමෘද්ධිය කැපෙනවා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී සමෘද්ධිය ආරක්ෂා කරගන්න” යන්නයි.

    එදිනම සවස  පැමිණ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස් පවසා ඇත්තේ, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය භාවිත කළොත් සමෘද්ධිය ආරක්ෂා වෙනවා” කියලයි. ඉතින් ඇය මට කිව්වේ “පුතේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නත් සමෘද්ධිය කැපෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නත් සමෘද්ධි කැපෙනවා. කොහොමත් සමෘද්ධිය කැපෙන නිසා මම පොහොට්ටුවට ඡන්දය දෙනවා” යනුවෙනි.

    පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල එක පක්ෂයකින් මෝල් ගහක් දීලා අනෙක් පක්ෂයෙන් වංගෙඩියක් දෙනවා. නමුත් පොළොන්නරුවේ බහුතරයක් ගොවීන් කන්න හතරක් වගාකර නෑ. ඒ අය ජීවත් වෙන්නේත් නොයෙකුත් ආර්ථික අපහසුතා මධ්‍යයේයි. ඔවුන්ට මෝල් ගසින් හා වංගෙඩියෙන් කෙටීමට වී වත් සහල්වත් නොමැත. වසර තුනක කාලයක් ජනතාව පිළිබඳව  තඹ සතකයට නොසිතමින් කටයුතු කළ ආණ්ඩුවට මැතිවරණය ළං වූ විට දැන් ජනතාව මතක් වී තිබේ.

    එමෙන්ම වසර තුනක් ගතවූ විට දැන් ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක බව පිළිගෙන ඇත. කුරහන් සුවඳ තීරු ලිපි මාලාව හරහා අප දිගින් දිගටම සඳහන් කළේ ආණ්ඩුවේ ආර්ථික හැසිරවීම අසාර්ථක බවත්, රටේ ආර්ථිකය හසුරවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයන් තිදෙනෙකුගෙන් බවයි. හාල් කිලෝව රුපියල් 100 ඉක්මවන විටත්, පොල් ගෙඩිය රුපියල් 100 ඉක්මවන තෙක්ම වගේ වගක් නොමැතිව ආණ්ඩුව කටයුතු කළේය. දැන් අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ පසුගිය වසර තුනේදී ආර්ථිකය හැසිරවූයේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බවත් එහිදී ජනතාවට බරපතළ ආර්ථික ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවෙමින් තිබෙන බවත්ය.

    ඒ අනුව ඉදිරියේදී තමන් ආර්ථිකය හසුරවන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමටද නැතහොත් ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙනදැයි යන්න දන්නේ ජනපතිවරයාම පමණයි. කෙසේ වෙතත් පැහැදිලිම දේ වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවයි. නමුත් ආණ්ඩුවේ අසාර්ථක වීම හේතුවෙන් අවසන් වශයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක ජනතාවටම පමණි.

    මේ අතර කතරගම ඇති වූ සිදුවීම සතිය ආරම්භයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට පත් විය. පොලීසිය එල්ල කළ වෙඩි පහරින් අහිංසක පුද්ගලයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත. මෙම සිදුවීම යම් හෙයකින් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී ඇතිවූවා නම් අනිවාර්යෙන්ම එම වගකීම පැවැරෙන්නේ මහින්ද රාජපක්ෂයට. වෙඩි තැබුවේ මහින්ද රාජපක්ෂය.  රතුපස්වල, මීගමුව හා කටුනායක ඇතිවූ සිදුවීම් සඳහා වගකිව යුතු බවට එවකට මැතිවරණ වේදිකාවේදී දැන් බලයේ සිටින පිරිස් කෑ මොර දෙමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ බවයි.

    නමුත් කතරගම සිදුවීමේ වගකීම පොලීසියේය. රතුපස්වලට, මීගමුවට, කටුනායකට මහින්ද රාජපක්ෂ වගකිවයුතු බවට ඔවුන් පවසන්නේ නම් කතරගම සිදුවීමටද වගකිව යුත්තේ අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

    එදා රතුපස්වල සිදුවීම සිදුවන එම ප්‍රදේශය බාරව සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කතරම පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බව වාර්තා වෙයි. එමෙන්ම 21දා දහවල් සිවිල් ආරක්ෂක කමිටු කැඳවමින් ඔහු ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ “මම තමයි රතුපස්වල සිටියේ. මෙතැනත් වැඩිපුර දඟලන්න ආවොත් බලාගන්නම්. මම කාටවත් බය නෑ” යනුවෙනි. මේ බව සනාථ කිරීමට ගම්වාසීන් දැන් දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට බාර දෙන විට හිමිවූයේ මීතොටමුල්ල කුණු කන්ද මෙන් ණය කන්දක් බවයි.   අනෙක් අතින් ඔවුන් සඳහන් කළේ ණය ලබාගන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට බවයි. මෙසේ පැවසූ ආණ්ඩුව වසර තුනක් ගතවන විට රුපියල් බිලියන 3000කට ආසන්න ණයක් ලබාගෙන ඇත.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී යුද්ධය නිම කිරීමට හා රට සංවර්ධනය කරන අතරේ ලබාගත් සමස්ත ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් බිලියන 5000ක් විය. එයින් අඩකටත් වැඩි ණය ප්‍රමාණයක් වසර තුනක් තුළ යහපාලන රජය ලබාගෙන ඇත්තේ දිනකට රුපියල් බිලියන 3ක  අගයක් ලෙසිනි. කෙසේ වෙතත් සමස්ත ණය ප්‍රමාණයේ අඩුවක් නොවූ අතරම සංවර්ධනයක්ද සිදුව නොමැත. අනෙක් අතින් ආර්ථිකය අතට ගන්නා ජනපතිවරයා මේ ණය ගැන සොයන්නද කොමිසමක් පත්කරාවිද යන්න ඉදිරියේදී අවධානය යොමු කළයුතු කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.