• ජනපතිතුමනි ‘’හෙට’ දිනය උදා වී අවසන්ය.

    පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත් පුන පුනා පැවසූ කරුණක් වූයේ පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවක් වෙනස් නොවන බවයි. නමුත් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත්  පාලන මැතිවරණය මේ වනවිට ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

    පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩු වෙනස් විය නොහැකි බව පවසන උදවියට පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව වෙනස් කළේ කොහොමදැයි යන්න පිළිබඳ දැන් අමතක වී තිබේ. එම මැතිවරණය පැවැත්වූයේ රටේ ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වුවද, පත්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස එවකට බහුතරයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසුරුවා හැර සුළුතරයක්ව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේය.

    ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 43කි. සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමිව තිබූ ආසන සංඛ්‍යාව 162කි. එවිට ජනාධිපතිවරණයකින් පසුව අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමට ජන වරම යොදාගත්තේ නම් මේ ජනවරම ආණ්ඩුව පෙරළීමට නොවන බව පවසන්නේ මන්දැයි යන්න ගැටලුවකි.

    මැතිවරණය පවත්වා අද (20දා) වනවිට දින දහයක් ගෙවී ගොස් අවසන්ය. රට අරාජික තත්ත්වයට පත්ව තිබේ. අමාත්‍යාංශ මට්ටමින් කිසිදු කාර්යයක් සිදු නොවේ. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබේ. කොටස් වෙළෙඳ පොළ කඩාවැටී තිබේ. ආයෝජන නවතින තැනට රට පත්ව තිබේ. නමුත් ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට මේ ගැන කිසි ගාණක් නොමැත.

    අග්‍රාමාත්‍යවරයා සිය අග්‍රාමාත්‍ය තනතුරත්, පක්ෂ නායක තනතුරත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රට පසෙක දමා කටයුතු කරමින් තිබේ. අරලියගහ මන්දිරයේදී එජාප මැති ඇමතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහ, රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් තම පුටුව ආරක්ෂා කරගැනීමේ සටන මෙහෙයවමින් තිබේ.

    කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය ලෙසත්, පොදුජන පෙරමුණ ලෙසත් මේ සිදුවීම් දාමය පිළිබඳ අපි මහත් ඕනෑකමින් අවධානය යොමුකර සිටිමු. අපේ ස්ථාවරත්වය දැනටමත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අගමැති ලෙස පත්කර සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් අප විපක්ෂයේ සිට ඒ සඳහා සහාය ලබාදෙන බවයි.

    මෙම සහාය දීම වෙනුවෙන් අපි කිසිම තනතුරු ලබාගැනීමක් අපේක්ෂා නොකරමු. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුරයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 96 දෙනා තමන්ට සහාය දක්වන්නේ  නම් “හෙට වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කරනවා” යනුවෙනි.

    ඒ “හෙට” දැන් උදා වී තිබේ. අතිගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන ඔබගේ අවංක චේතනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීම නම්, ඒ සඳහා ව්‍යවසථානුකූල බලයක් ඔබට පැවරී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ ලිපිය අනුව කැබිනට් මණ්ඩලය අහෝසි කර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් ඇති ඔබට සුදුසු පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කරගෙන මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එසේ නම් දැන් කැබිනට් මණ්ඩලයක් තිබිය නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය එයින් අවසන් වන්නේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වන හෙයිනි.  එසේත් නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබේ. ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල් දැමීම වැනි  රටට අහිතකර දෑ සිදුකි රීමට තුනෙන් දෙකක බලයක් යොදාගත්තේ නම් ජනතාව වෙනුවෙන් ජනතා ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන්  අවස්ථාව ලබාදිය යුතුය. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහාය දැක්වීම ජාතියේ අවශ්‍යතාවක් ලෙස දකින අතරම, මේ සියලු ගැටලු අවසන් කිරීමට අවස්ථාව තිබෙන්නේද යළි මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමෙන් පසුය.

    බල තණ්හාව

    පසුගිය ජනපතිවරණ වේදිකාවේදී එවකට විපක්ෂනායක වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවන් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බල තණ්හාවෙන් පෙළෙන බවයි. නමුත් සත්‍ය ලෙසම බල තණ්හාවෙන් පෙළෙන්නා කවුදැයි යන්න දැන් ජනතාව විසින් හොඳින්ම තේරුම් ගෙන ඇත. පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙසට පක්ෂය තුළින්ම කැරැල්ලක් පැමිණෙන විටත් බල තණ්හාව හේතුවෙන් ඒවා මැඬ පවත්වමින් අවුරුදු 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන්නේ එම පක්ෂයට මැතිවරණ 30ක පරාජයන් අත් කරදෙමිනි.

    අණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව පළාත් පාලන මැතිවරණය හරහා ප්‍රකාශ කර ඇති අවස්ථාවක ජන මතයට ගරු කරමින් ඉල්ලා අස්වෙනවා වෙනුවට අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ව්‍යවස්ථාව අනුව තමන්  තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි. එසේම දෝෂාභියෝගයක් පරාජයට පත්වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවටද එතුමා ප්‍රකාශ කර ඇත.  ඒ අනුව බල තණ්හාව පවතින්නේ කාටදැයි යන්න දැන් ජනතාවට හොඳින්ම තේරුම් ගොස් ඇත.

    ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පැමිණීමටත් මත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් නික්මුණේය. නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් දීම වෙනුවෙන් සියලු කටයුතු සම්පාදනය කළේය. ඒ රනිල් බල තණ්හාවෙන් පෙළෙන බවට චෝදනා එල්ල කළ පුද්ගලයාය.

    ලෝකයේම අවධානය

    රට කෑලි කෑලිවලට බෙදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙනුවෙන් ලබාදීමට සූදානම් වන විට, ඉවක් බවක් නොමැතිව රටේ සම්පත් විදේශයන්ට විකුණන අවස්ථාවක පළාත් පාලන මැතිවරණය හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  ලැබූ ජයග්‍රහණය මේ වනවිට ලෝකයේම අවධානය දිනාගත් මාතෘකාවක් බවට පත්ව තිබේ.  මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව පක්ෂයකින්, නව ලකුණකින් ජනතාව අතරට පැමිණ ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ බටහිර මාධ්‍ය පවා විශ්මයට පත්ව ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.