• නැවතත් යුද්ධයකට නොයමු!

    අම්පාර නගරයෙන් ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වය මහනුවරින් අවසන් වීම රටක් ලෙස අපට සතුටු වීමට අවස්ථාව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සුළුසුළු සිදුවීම් වාර්තා වුවද, ඒවා දුරදිග නොයෑම පිළිබඳ එක් ජාතියක් ලෙස අප සතුටු විය යුතුය. මේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් සෑම දෙනෙකුම පාඩමක් ඉගෙන ගත යුතුව තිබේ.

    වසර 30ක කාලයක් පුරා පැවැති කුරිරි යුද්ධයෙන් රට බේරාගෙන මේ වන විට ගෙවී ඇත්තේ වසර අවුරුදු 08ක් වැනි කෙටි කාලයකි. මෙවැනි කාලයක් තුළ තවත් වරක් සිවිල් ගැටුමක් ඇතිවුව හොත් එහි කුරිරි ප්‍රතිඵල නැවතත් විඳීමට සිදු වනුයේ අපගේ අනාගත පරපුරටය.

    කුරිරි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හේතුවෙන් මගේ පරම්පරාවේ බොහෝ පිරිසක් බැට කෑවේය. ඉන් ඉගෙන අපි පඩමක් ඉගෙන ගත්තා නම් නැවත වරක් එවැනි ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීමේ වගකීමද අප සියලු දෙනා සතුය. යුද්ධයක් පවතින රටක කිසිදු දියුණුවක් ඇති නොවේ. රට ආර්ථිකමය, සාමාජීමය, දේශපාලනික වශයෙන් දිනෙන් දින අගාධයකට යයි. ඒ වෙනුවෙන් විශාල ධනස්කන්දක් වැය කිරීමට සිදුවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. අනෙක් අතින් මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා අප සියලු දෙනා පෙරමුණ ගත යුතු වෙයි.

    අම්පාර හා මහනුවර ඇති වූ සිදුවීමේදී පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ බොහෝ දෙනෙක් ගැටලු මතුකරමින් සිටියි.  නීතිය හරියාකාරව ක්‍රියාත්මක වූයේ ජනතාව නීතිය අතට ගැනීමක් සිදු නොවෙයි. ජනතාව නීතිය අතට ගෙන දඬුවම් දීමට කටයුතු කරන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවූ බවට ඔවුන්ට හැඟී යන අවස්ථාවේදීය.

    මහනුවර ගැටුමට මූලික සිදුවීම වී තිබුණේ රියදුරු මහතෙකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් ඔහු ජීවිතක්‍ෂයට පත්වීමය. මෙම පහරදීමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ඉක්මනින්ම ඔවුන් නීති මගින් කටයුතු කළේ නම්, ජනතාව මේ ආකාරය නොසන්සුන් නොවෙනු ඇත.

    මහනුවර ඇතිවූ සිදුවීමේ පාඩුව සමස්තයක් ලෙස රටට දරා ගැනීමට සිදුව ඇත. එයින් හානි වූ දේපොළ වෙනුවෙන් වන්දි ගෙවිය හැකි වුවද, ජීවිතයක වන්දි ගෙවන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ අප සලකා බැලිය යුතුය. අනෙක් අතට මෙම වන්දි ගෙවීම් යෙදවීමට සිදුවන්නේද අනෙක් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් යොදා ගැනීමට හැකිව තිබූ ජනතා මුදල්මය.

    මෙම සිදුවීම් සමථයකට පත්කිරීම සඳහා ජනපති මෙන්ම අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අකාරය පිළිබඳ සිතා බැලිය යුතු වෙයි. අලුත්ගම සිදුවීම සිදු වූ අවස්ථාවේදී විදේශතව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව කෙළින්ම අලුත්ගමට ගොස් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර ගැටලුව සාමකාමීව විසඳිමට කටයුතු කළේය. කෙසේ වුවද ගැටුම පිළිබඳ සාකච්ඡා කිරීමට සියල්ලන්ම එකම මේසයකට ගැනීමටත් වත්මන් ආණ්ඩුවට දින දෙක තුනක කාලයක් ගත විය. එයින් ආණ්ඩුව ගැටලු විසඳීමේ අසමත්මක පිළිබිඹු වෙයි.

    අනෙක් අතින් තත්ත්වය පාලනය කිරීම සඳහා රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එහිදී රටට තවත් කළු පැල්ලමක් එක් විය. මෙය සංචාරක කර්මාන්තයට දැඩිව බලපාන සිදුවීමකි. මාලදිවයිනේ පසුගිය දින කිහිපයේදී ඇති වූ තත්ත්වයත් සමග එරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය දැඩි ලෙස අඩු වූ අතර, ඔවුන්ගේ විකල්ප බවට ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් පත් විය. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට රුකුළක් වුවද, ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එයින් වාසියක් ලබා ගැනීමට අවස්ථාවක් නොවිණි. මන්දයත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුඛ සංචාරක අන්තරයක් ලෙස මහනුවර පවතින හෙයිනි.

    නුවර ඇති වූ සිදුවීමත් සමග රට තුළ තිබූ සත්‍යය ප්‍රශ්න මේ වන විට යටපත් වෙමින් තිබේ. භාණ්ඩ මිල ඉහළ යෑම, වී ගොවියාට නිසි මිලක් නොමැති වීම, පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුවට එරෙහිව පැමිණි විරෝධතා රැල්ල මේ වන විට අමතක වී තිබේ. එක් අතකින් එය ආණ්ඩුවට වාසිදායක කරුණක් බවටද පත්ව තිබේ. නමුත් මේ සිදුවීම හේතුවෙන් සැබෑ ජනතා ප්‍රශ්න යටත් කිරීමට අපි අවස්ථාවක් නොදෙමු.

    මේ අසීරු මොහොතේ බොහෝ මාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කිරීම ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි දැඩි ප්‍රචාරණයක් ගෙන ගියේය. කෙසේ වෙතත් මුස්ලිම් ජනතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සිංහල ජනතාව හා බෞද්ධ භික්ෂූන් වහන්සේලා කටයුතු කළත් ආකාරය මෙන්ම ආණමඩුවේ විනාශ වූ හෝටලය පැය 18ක් තුළ නැවත ප්‍රතිසංස්කරණය කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කළ ආකාරයත් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු නොවීම ගැටලුවකි.

    මහනුවර ඇති වූ සිදුවීමෙන් විපතට පත් වූ සියලුම පිරිස් හමුවීමට ඉදිරි දිනයකදී පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවට පැවසීමට  මෙය අවස්ථාවක් කර ගනිමි.

    සමාජ මාධ්‍ය තහනම

    ආණ්ඩුව මෙම ගැටලුව විසඳීම සඳහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමටත්, වට්ස්ඇප් හා වයිබර් සේවාවන් අවහිර කිරීමටත් කටයුතු කළේය. මේවා යම් තරමකට පාලනය විය යුතුය යන ස්ථාවරයේ මමද සිටිමි. නමුත් ඒවා තහනම් කළ කිරීම විසඳුමක් නොවේ. මෙම තහනමද ඇතැම් ව්‍යාපාර සඳහා ඍජුව බලපෑම් ඇතිකර තිබේ.

    පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය ෆේස්බුක් තහනම් කිරීමට යන බවට ජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ එවකට විපක්‍ෂ නායක මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ෆේස්බුක් තහනම් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ  සමයේදී අපට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට ඔවුන් මූලික වශයෙන්ම යොදාගත් මාධ්‍යයක් වූයේ ෆේස්බුක් සමාජ ජලයයි.  රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, රත්‍රං අශ්වයන්ගේ කතාව, ලැම්බෝගිනි කතාව ඇතුළු බොහෝ දේ ඔවුන් ප්‍රකාශ කළේ ෆේස්බුක් සමාජ ජාලය ඇසුරෙනි. මේ ප්‍රකාශ යොදාගෙන අපව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශ ලබාගනිමින් සිටියි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය මගෙන් ප්‍රශ්න කරන්නේ ෆේස්බුක්හි පළ වූ වාර්තා යොදාගෙනය. මෙවැනි දේ ෆෙස්බුක් හරහා ව්‍යාප්ත වෙන බවට ආණ්ඩුව තේරීම් ගැනීමද හොඳ දෙයකි. පසුගිය ආණඩුව සමාජ මාධ්‍ය ජනතාවගේ අයිතියක් ලෙස දැක්කේය. වත්මන් ආණ්ඩුව එය සම්පූර්ණ ලෙස තහනම් කර තිබේ. නමුත් සිදුවිය යුත්තේ එය පාලනය කිරීමකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

Leave a reply.

You must be logged in to post a comment.