• නොහැකියාව වසා ගැනීමට දත්ත සැඟවීම.

    රුසියානු ජනාධිපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස එක්විමට අවස්ථාව ලැබීම දේශපාලන දිවියේ තවත් එක් අත්දැකීමක් විය. ඉරිදා පැවැති ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැති අතර, බටහිර මාධ්‍ය වාර්තා කළ අන්දමේ ගැටලුවක් එහිදී ඇති නොවුණි.

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය සම්පාදනය කරන්නේ රුසියාවේ සිටය. ලිපිය ලියන විටත් වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතාට මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලැබෙන තත්ත්වයක් පෙන්වීය.

    වර්තමානයේදී රුසියාව ලෝකයේ කැපී පෙනෙන රටක් බවට පත්කිරීමට පුටින් ජනපතිවරයා සුවිශේෂී මෙහෙයක් ඉටුකළ අතරම ඔහු එය තවදුරටත් ඉටුකරමින් සිටී. මෙවර ලැබූ ජනවරමින් පැහැදිලිවන්නේ රුසියානු ජනාධිපතිවරයාට බටහිරින් කුමන චෝදනා එල්ලවුවත් රැසියානු වැසියන් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇති  බවයි.

    රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නීරීක්ෂකයෙකු වීම හරහා බොහෝ දෑ ඉගෙනගැනීමටත්, අත්දැකීම් ලබාගැනීමටත් හැකි වූ අතර, ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තවදුරටත් ස්වාධීන හා අපක්ෂපාතී කිරීම වෙනුවෙන් එයින් ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමි.

    දත්ත සැඟවීම

    යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අදක්ෂම මෙන්ම රටේ සංවර්ධනය ආපස්සට රැගෙන ගිය ආණ්ඩුවක් බව අපි දිගින් දිගටම ඔබට සඳහන් කළෙමු. 2017 වසර සඳහා සමස්ත දළ ජාතික නිෂ්පාදිතය හා 2017 වසරේ අවසන් කාර්තුව සඳහා වන දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත ඉදිරිපත් නොකිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් තිබුණි.

    ආණ්ඩුවේ අසාර්ථක ගමන ජනතාවගෙන් වසන් කිරීම වෙනවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත්තද 2017 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථක සංවර්ධන වේගය 3.1ක් තරම් වූ පහළ අගයක පවතින බවට හෙළිව තිබේ. එය වසර 16ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම අගයයි.  2016 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.4ක අගයක පැවැතිණි.

    ආණ්ඩුවට මේ සඳහා විවිධ හේතු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේ. නියඟය හා ගංවතුර වැනි ස්වාභාවික විපත් මේ සඳහා හේතුවක් බවට ආණ්ඩුව සඳහන් කරනු ඇත. නමුත් යුද්ධයක් පවතිද්දී පවා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත්ව තිබිණි.

    මේ වසරේ 4.4ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ලබාගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසකළද, එවැනි තත්ත්වයකට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බව මාගේ හැඟීමයි. ප්‍රධාන වශයෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය ඒ සඳහා හේතු වනු ඇත.

    විශ්වාසභංගය

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට අදාළව අතසන් ලබාගැනීම  සටහන ලියන විටත් ලබාගනිමින් තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ එම විශ්වාසභංගයට සහාය දැක්වීමට ඉදිරිපත් වන බවට දැනගැනීමට ලැබිණි. විපක්ෂය නියෝජනය පක්ෂ අතරින් විශ්වාසභංගයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම තරමක ගැටලුවක් බවට පත්ව තිබේ.

    මේ අතර ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාද විශ්වාසභංගයට අත්සන් කළ අතර, තවත් පිරිසක් ඉදිරියේදී ඒ සඳහා අත්සන් කරනු ඇත. මම රුසියාවට පැමිණියේද එම විශ්වාසභංගය සඳහා අත්සන් තැබීමෙන් අනතුරුවය.

    විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් පිරිසක් එයට අත්සන් තබනු ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පිරිසක්ද විශ්වාසභංගයට සහාය දැක්වීමට වැඩි අවස්ථාවක් තිබේ.

    පළාත් පාලන ආයතන සංස්ථාපනය

    අනෙක් අතින් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නිසා ඇතිව තිබෙන්නාවූ ගැටලුව තවමත් අවසන්ව නොමැත. මේ අතර අම්පාර හා මහනුවර ඇතිවූ ගැටුම්ද යම්තාක් දුරකට ආර්ථිකය වෙනුවෙන් බලපෑමක් ඇතිකරනු ඇත. මූලිකවම සංචාරක කර්මාන්තයට මේ හරහා ගැටලුවක් ඇතිවිය.

    පළාත් පාලන මැතිවරණය පවත්වා මාසයකට අධික කාලයක් ඉක්මවා ගොස් ඇතත්, තවමත් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. පළාත් පාලන ආයතන වසර දෙකකටත් අධික කාලයක සිට මේ වනවිට අකර්මණ්‍යව පවතී. ඡන්දය පවත්වා අවසන් හෙයින් වහාම මෙම ආයතන පිහිටුවීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

    පළාත් සභා මැතිවරණයද කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඒ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියට දමාගනිමිනි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැති නව මැතිවරණ ක්‍රමය හරහා ගැටලු රාශියක් මතුවිය. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල්ගත වීමටද මෙය හේතුවක් විය.

Leave a reply.

You must be logged in to post a comment.