• දෙවැනි පෙළ දමිළ දේශපාලන නායකත්වයක අවශ්‍යතාව.

    රුසියානු ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 76කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගනිමිනි. ඒ අනුව බටහිර මාධ්‍යය කුමක් කීවද, රුසියානු ජනතාව තවමත් වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත සිය අනාගතය බාර දී ඇත්තේ ඔහුගේ පාලන කාලය තුළදී රුසියාව සමෘද්ධිමත් ගමනක ගමන් කළ නිසාත්, ගමන් කරමින් සිටින නිසාත්ය.

    මෙම මැතිවරණයේ ස්වාධීන නිරීක්‍ෂකයෙකු ලෙස එක්වීමට ලැබීම වැදගත් අවස්ථාවකි. රුසියාවේ ඡන්ද ක්‍රමය බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමයට සමානය. නමුත් ශ්‍රී ලංකාවේ මෙන් ඡන්ද මධ්‍යස්ථාන තුළ පෝලිම් නොතිබිණි. ඉතාමත් කාර්යක්‍ෂම ලෙස ජනතාව ඡන්දය භාවිත කළ අතර, ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටි සේවකයන්ද කාර්යක්‍ෂමව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

    රුසියානු ජනාධිපතිවරණයේ කටයුතු නිමාවීමත් සමග රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මා සූදානම්ව සිටියද, ඇමෙරිකාවේ උපදෙස් පරිදි මා ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන්යානයට ඩුබායිවලදී ගොඩවීමට අවස්ථාව නොලැබිණි. මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වන අතර, මේ අවස්ථාවේදී එය දරාගත හැකි තත්ත්වයට පත් කිරීමට ගුවන්යානයේ කාර්යමණ්ඩලය කටයුතු කළ අකාරය ප්‍රශංසනීයය.

    රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මාගේ ප්‍රධානම අරමුණ වූයේ පවුලේ ඥාතියෙකුගේ අවමංග්‍ය උත්සවයක් සඳහා එක්වීමය. නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම කනගාටුදායකය. මේ සඳහා විවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයේ අදහස් පළකරමින් සිටියි.

    අමෙරිකාවට සම්බන්ධ එහෙත් රුසියානු විරෝධී ‍වෙබ් අඩවි සඳහන් කරන්නේ මා හට ඇමෙරිකාව වෙත ගමන් කිරීම සඳහා වීසා නොමැති වීමෙන් මා හට මෙම අවස්ථාව අහිමි වූ බවයි. නමුත් මා දන්නා තරමින් මාගේ ගුවන් බලපත්‍රයේ ඒ සඳහා වීසා තිබිණි. කෙසේ වෙතත් මේ වනතෙක් ඇමෙරිකාව විසින් මාගේ ගමන වැළැක්වීමට අදාළව කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මා වෙත ඉදිරිපත් කර නොමැත. මේ අනුව මාගේ ඇමෙරිකානු ගමන වැළැක්වීම පසුපස ශ්‍රී ලංකා ආණ්ඩුව සිටිනවා දැයි දැන් සාධාරණ සැකයක් ඇතිව තිබේ. මන්දයත් ඇමෙරිකානු ඇතැම් වෙබ් අඩවි හා ලංකාවේ ආණ්ඩුව හැසිරෙන ආකාරයේ වෙනසක් නොමැති හෙයිනි.

    නව ක්‍රමය යටතේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන සංස්ථාපනය මේ වන විට සිදුවෙමින් පවතින නමුත් එම මැතිවරණ ක්‍රමයේ තිබෙන ගැටලුකාරී තත්ත්වය නැවත වතාවක් ජනතාව වෙත ඉස්මතු වී පෙනිණි. අනෙක් අතින් මේ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන අතළොස්සක් අතරින් කිහිපයක් බලයද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට අවස්ථාව ලැබිණි. ගාල්ල මහ නගර සභාව, දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව, මීගමුව නගර සභාව ඒ අතරින් කිහිපයකි.

    පළාත් සභා වෙනුවෙන්ද ආණ්ඩුව නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ අවධානය යෙමුකර ඇති හෙයින් මේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යම කරුණකි.

    පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව පෙරළීමේ පළමු අවස්ථාව වන අතර, එහි අවසාන බලාපොරොත්තුව ආණ්ඩුව ලබා ගැනීමය. එම ක්‍රියාවලිය වෙනුවෙන් හානියක් නොවන පරිදි අපි පළාත් පාලන ආයතනය සංස්ථාපනය කිරීමට කටයුතු සකස් කරමින් සිටින්නෙමු. පොදු ජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කර පළාත් පාලන සභිකයන් ලෙස පත්වන මන්ත්‍රීවරුන්ට සභා හරහා මුදල් ඉපැයීමට අවස්ථාව නොදීමට තීරණය කර තිබේ. දූෂණයෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතන දූෂිත බවෙන් තොර කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ආදර්ශයෙන්ම කටයුතු කිරීම සභිකයන්ගේ මූලික අරමුණක් විය යුතු අතර, ඒ හැසිරීම මත එළැඹෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය, මහමැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු වනු ඇත.

    ජිනීවා මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසියාවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවන තත්ත්වයක් තිබේ. මෙය සමගි සන්ධාන වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන කාලසීමාවකි. මෙහිදී බොහෝ විට චෝදනා එල්ල වෙන්නේ ශ්‍රී ලංකා රජයටය. යුද්ධයෙන් පසුව සමගි සන්ධාන වීමේ කාර්යය ක්‍රමයෙන් සිදු කරමින් පවතී.

    දමිළ දේශපාලකයන් පවා මෙය හුදෙක්ම ආණ්ඩුව පැත්තෙන් සිදුවිය යුතු බවට වන මතයක සිටින බව ඔවුහු කරන ප්‍රකාශවලින් පෙන්නුම් කර කරමින් සිටිති. මෙහිදී මූලිකවම පැවසිය යුතු කරුණක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුද්ධයකි. එය කිසිසේතම දමිළ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාවේ හමුදාව කළ යුද්ධයක් නොවේ. යුද්ධයක් ඇතිවූ රටක් නගාසිටුවීම එක් රාත්‍රියකින් සිදු නොවේ. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවේ.

    මෙහිදී මාගේ අවධානය යොමු වූ කරුණවක් වූයේ සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියේදී දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තරුණ දේශපාලඥයන්ගේ අඩුවක් පැවතීමය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ඉදිරියේදී දමිළ තරුණ තරුණයන් වෙනුවෙන් දේශපාලනයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, එය මෙම ක්‍රියාවලිය වේගවත් කරන කරුණක් බවට පත්වනු ඇත. දමිළ ජනතාව අතර සිටි දක්‍ෂ මෙන්ම උගත් දමිළ තරුණයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කිරීම වක්‍රාකාරයෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමටද හේතුවක් වී තිබේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.