• දකුණේ උණ රෝගයෙන් පෙනෙන ආණ්ඩුවේ අසමත්කම.

    දකුණේ පවතින උණ රෝගයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සොයාගත්තේය. මේ සටහන ලියන විට ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබිණි. රෝගයෙන් දරුවන් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වූ විට හෝ අවසානයේදී රජය රෝගයට හේතුව සොයාගැනීමට සමත් විය.  ඒ සඳහා ගත වූ කාලය විශාල වන අතර, යම් හෙයිකින් මීට දින කිහිපයකට හෝ පෙර රෝගයට හේතුව සොයාගත්තා නම් අහිංසක ළමයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට අවස්ථාව තිබිණි.

    මේ පිළිබඳ සොයා බැලීමට රටේ නායකයන් දෙපළවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාවත් දකුණට නොපැමිණීම ගැන දකුණේ ජනතාව කනගාටුවට පත්ව තිබේ. ඔවුහු කොළඹ සිට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පමණක් සිදු කළහ. ආණ්ඩුව අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේද මේ ආකාරයෙනි. උණ රෝගය විසඳීමට ආණ්ඩුවට මෙවැනි කාලයක් ගතවෙමින් තිබෙන්නේ නම්, රටේ ආර්ථිකය නැංවීම සඳහා ආණ්ඩුවට කොපමණ කාලයක් ගතවෙනු ඇතිදැයි මෙයින්ම දැන් ජනතාවට තේරුම් ගැනීමට හැකියාව තිබේ.

    මේ රෝගී තත්ත්වය හේතුවෙන් දෛනිකව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 100ක් විය. ප්‍රතිකාර සඳහා දිනකට හම්බන්තොට රෝහලට පැමිණෙන දරුවන් සංඛ්‍යාව 50-60 අතර තත්ත්වයකට පත් විය. හම්බන්තොට තත්ත්වය මෙසේ නම් ගාල්ල හා මාතර තත්ත්ව කෙසේ වේ දැයි ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මෙම රෝගී තත්ත්වය මාධ්‍ය විසින් හෙළි කරන විට ආණ්ඩුව මුලින්ම සිදුකළ යුතුව තිබුණේ එය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් ඔවුහු එය සිදුනොකළ අතර, ජනතාවට බිය නොවැන්නයි දැනුම් දුන්හ. එසේම හිඟයකින් තොරව ඒ සඳහා අවශ්‍ය ඖෂධ දකුණේ රෝහල්වලට නිකුත් කළ යුතුව තිබුණද, එය සිදු නොවීය. වෛද්‍යවරුන්ම සඳහන් කළේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණයේ හිඟයක් ඇතිව තිබෙන බවයි.

    මේ වනවිට එන්නත නිර්දේශ කොට එය පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා ලෙස රෝහල්වලින් පවසන බව දෙමාපියෝ මා සමග පැවසූහ. රාජපක්ෂ ආණ්ඩුව නිදහස් සෞඛ්‍යය විනාශ කරන බව කියමින් පැමිණි ආණ්ඩුව රෝගයකට අවශ්‍ය එන්නත ලබාගැනීමට දුප්පත් ජනතාව ෆාමසි සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුව ඉතාමත් ඉක්මනින්ම මේ ගැටලුව විසඳීම සඳහා තවදුරටත් කටයුතු නොකරන්නේ නම් එය රට පුරා පැතිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

    118 ලැයිස්තුව

    අර්ජුන් ඇලෝසියස් මහතාට සම්බන්ධ සමාගමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවට හෙළිවීමත් සමග බැඳුම්කර වංචාවෙන් මුදල් ලබාගත් 118 දෙනෙකු පිළිබඳ මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ලක්ව තිබේ.  මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව වපර ඇසකින් බලන තත්ත්වයට පත්ව ඇති අතර,  වහාම මෙම 118 දෙනාගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    එසේ නොවුවහොත් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනතාව තබා ඇති අවසන් විශ්වාසය හෝ නැති වී යනු ඇත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව කියමින් පැමිණි යපහාලන ආණ්ඩුව දැන් මන්ත්‍රීවරයෙකුට මාර්ගයේ පවා ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාකර තිබේ.

    මැතිවරණයකදී ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් වෙත මුදල් ලබාදීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. නමුත් ගැටලුව වන්නේ පර්පෙචුවල් සමාගම මහ බැංකුවෙන් විශාල මුදලක් කොල්ලකා ඇති අවස්ථාවක එම සමාගම දේශපලඥයන්ට හා අනෙකුත් පුද්ගලයන්ට මුදල් ලබාදීමයි. සොරාගත් බව දැන දැනම එම මුදල් ලබාගැනීමද ගැටලුකාරී තත්ත්වයකි.

    මෙසේ මුදල් ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට චෝදනා එල්ල වීමත් සමගිනි. නමුත් දයාසිරි ජයසේකර මහතාට එම චෝදනාව එල්ල වූයේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය විටය. මේ වනවිට රුපියල් බිලියන 12ක බැඳුම්කර සොරකම  දැන් රුපියල් මිලියනයකට ලඝු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.

    මේ වනවිටත් දැන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ පර්පෙචුවල් සමාගමෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳවය. නමුත් අපගේ අවධානය යොමුවිය යුත්තේ බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දීම කෙරෙහිය. අනෙක් අතින් අලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් 118 දෙනා හෙළි කිරීමද අත්‍යවශ්‍ය කරුණකි.

    ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන් භීතියට පත්කිරීම සඳහා ආණ්ඩුව මොන ක්‍රියාමාර්ග ගත්තද ඉදිරියේදීත් තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇත. එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූයේද මෙහි එක් පියවරක් ලෙසිනි.

    යම් හෙයකින් අර්ජුන් ඇලෝසියස් මෙම ලියුම්කරු වන නාමල් රාජපක්ෂට මුදල් දී ඇති බවට බැඳුම්කර වාර්තාවේ සඳහන් වී තිබුණා නම් හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුටත් මුදල් ලබා දී තිබූ බවට සඳහනක් තිබුණා නම් ඇතිවන තත්ත්වය පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මගේ නම තිබුණා නම් නාමල් රාජපක්ෂ විත්තිකාරයා වී අර්ජුන් ඇලෝසියස් සාක්ෂිකාරයා බවට පත්වීමටද ඉඩක් තිබිණි. ඇලෝසියස් සහ මා අතර මිත්‍රකමක් තිබුණ නමුත්, ඔහු සහ මා ව්‍යාපාර කටයුතු සිදුකර නොතිබුණු අතරම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු සිරගත කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ මුලින්ම හඬ නැගුවේද මමය.

    ජනපතිගේ කතා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට මලකඩ බැඳී තිබූ කඩුව ඔහේ වනමින් තිබේ.  ඔහු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ටද විවිධ චෝදනා එල්ල කරමින් මේ වනවිට කතා පවත්වමින් තිබේ. මේ සියල්ලකින්ම හොඳින් පෙනෙන්නේ විධායක ජනපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වූ අසාර්ථකත්වයයි. ජනාධිපතිවරයාගේ කතාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාත් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ හෙයින් ඒ පිළිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කිරීම අනවශ්‍ය දෙයකි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ලබන සතියේදී මෙම තීරු ලිපියෙන් සාකච්ඡා කිරිමට අදහස් කරමි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

Leave a reply.

You must be logged in to post a comment.