• ඝාතන රැල්ල.

    ජනාධිපතිවරයා වත්තල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීත්, ඉන්පසුව අවස්ථා ගණනාවකදීත් සඳහන් කළේ රටේ අපරාධ රැල්ල මැඬපැවැත්විමට නීතිය හා සාමය අමාත්‍යාංශයට නොහැකි වී ඇති බවයි. මේ පිළිබඳ තමන් පොලිස්පතිවරයාට දැඩිව කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

    ජනාධිපතිවරයා එසේ කතා කර තිබියදීත් කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වූ කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමක් සිදුවිය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබුණත් අවස්ථා කිහිපයකදී කතරගම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති විය. ඒ අවස්ථාවේදී කතරගම ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගත්තා නම් කොබවක ධම්මින්ද හිමියන්ට මෙවැනි වෙඩි තැබීමකට මුහුණදීමට සිදු නොවන්නට තිබිණි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි. එසේම කතරගම ආරක්ෂා කිරීමට පොලීසියට නොහැකි වීම පිළිබඳ පොලිස්පතිවරයා වගකීම බාරගත යුතු වෙයි.

    එසේම ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ගෙනගිය මඩ ප්‍රචාරය හෙළාදැකීමටද මෙය අවස්ථාවක් කරගනිමි.

    කතරගම පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම තැනකම දැන් වෙඩි තබා ඝාතන සිදුකිරීම් බහුල තත්ත්වයක් බවට පත්ව තිබේ. යුද්ධය පැවැති දිනවලදී මියගිය පිරිසට සමාන පිරිසක් මේ වනවිට පාතාලය ක්‍රියාත්මක වීම හේතුවෙන් මියයමින් තිබේ.

    වත්මන් ආණ්ඩුවට පැමිණි විට විදේශගතව සිටින පාතාල නායකයන් ලංකාවට පැමිණීමත්, ඇතැම් පාතාල කල්ලි සාමාජිකයන් විදේශයන්හි සිටිමිනුත් ශ්‍රී ලංකාව තුළ පාතාලය ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂ අංශ සාමාජිකයන් ඇතැම්විට පසුබට වීමට හේතු විය හැක්කේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ටද සිරබත් කෑමට සිදුවනු ඇතැයි යන විශ්වාසය මත විය යුතුය.

    මන්දයත් වත්මන් ආණ්ඩුව විසින් රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශ සාමාජිකයන් ඇතුළු බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් අභූත චෝදනා එල්ල කරමින් සිරගත කර ඇති හෙයිනි. මේ අතර අප උතුරේ තත්ත්වයද සැලකිය යුතු වෙයි. දකුණේ මෙන්ම උතුරේත් සැලකිය යුතු පුද්ගල ඝාතන කිහිපයක්ම සිදුව තිබේ. යාපනයේ පමණක් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 07කට ආසන්න අතර ඇතැම් ඝාතන සඳහා පොලීසියද සම්බන්ධ වී තිබේ. මෙයින් පෙනෙන්නේ රට අගාධයකට යන ආකාරයයි.

    ආර්ථිකයේ කඩාවැටීම

    ශ්‍රී ලංකා ආර්ථිකය ඇස් පනාපිටම කඩා වැටෙමින් තිබේ. මෙය පෙන්වන එක් දර්ශකයක් වන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ කඩාවැටීමයි. ඊයේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 161ක් ලෙස වර්තාගත අගයක් සටහන්ව තිබිණි.

    මේ සඳහා හේතුව වන්නේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය නොපැමිණීමය. ඍජු විදේශ ආයෝජන නොලැබීම, රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය, විදෙස් ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම ඒ සඳහා හේතු වෙයි. එසේම සීමාවකින් තොරව භාණ්ඩ හා සේවා ආනයනය වෙනුවෙන්ද රජය විශාල මුදලක් වැය කරමින් සිටියි. එයද රුපියල අවප්‍රමාණයට බලපා ඇති හේතුවකි.

    ආණ්ඩුවේ අක්‍රමිකතාද මෙම තත්ත්වයට  බලපා තිබේ. එවැනි තත්ත්වයකදී විදෙස් ආයෝජන රට තුළට ගලා නොඑයි. ආර්ථිකය හැසිරීමේ නොහැකියාව මෙයින් මනාව පිළිබිඹු වෙයි. ආණ්ඩුව ආරම්භ වී ගත වූ වසර තුනහමාර තුළ විවිධ නමින් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කෙරිණි. නමුත් එම එකඳු ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාත්මක නොවිණි.

    අනෙක් අතින් ආර්ථිකය යහපත් බව පැවසීමට ජනතාවට අසත්‍ය ප්‍රකාශද ආණ්ඩුව ඉදිරිපත් කළේය. ඒ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් කුලියාපිටියේ ඉදි කෙරෙන බව කියූ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවයි.

    සිංහරාජ අලි

    වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට අවශ්‍ය තරම් නිදහස ලබා දී ඇති බවයි. නමුත් අවසානයේදි ඔහුට සිංහරාජයේ සිටින අලි දෙදෙනාවත් අල්ලා ගැනීමට ජනපතිගෙන් නිදහසක් ලැබී නොමැති බව සිංහරාජය තුළ සිදු වූ සිදුවීමෙන් අපට පෙනේ.

    සිංහරාජයේ අලි ඇල්ලීමට ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වීම පසුපස තිබෙන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි. එනම් තීන්දු තීරණ ගැනීමේදී ගම සමග සාකච්ඡා නොකරමින් අත්තනෝමතික ලෙස තීරණ ගැනීමේ ගැටලුවයි. ආණ්ඩුව කළ යුතු දේ නොකර, නොකළ යුතු දේ කිරීමද මේ හරහා පැහැදිලි වූ තවත් ගැටලුවකි. හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල වන අලි ගැටලුව ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව තිබේ. නමුත් ඒ ප්‍රදේශවල ගැටලු විසඳනවා වෙනුවට සිංහරාජයේ සිටින අලි දෙදෙනෙකු ඇල්ලීමට විශාල පරිශ්‍රමයක් දැරුවේය. ඇමතිකම තිබූ පලියට හිතුමනාපෙට වැඩ කිරීම හරහා සිදුවන්නේ විශාල වශයෙන් ගැටලු මතුවීමක් පමණි.

Leave a reply.

You must be logged in to post a comment.