• පාතාලයද? එල්.ටී.ටී.ඊ. යද?

    වර්තමානයේදී පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික වශයෙන් කඩේ යන තත්ත්වයකට පත්ව තිබේ. ඒ හේතුවෙන්ම පොලීසියට යොමුවන ප්‍රශ්නවලදී පොලීසියට දේශපාලන වශයෙන් පිළිතුරු ලබාදීමට සිදුව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. මේ හේතුව නිසා පාතාලය සම්බන්ධයෙන් මාධ්‍ය නගන ප්‍රශ්නවලදී ඔහු අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

    මෙය ආරම්භ වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීතිය නවන බවට කළ ප්‍රකාශයෙනි. පොලීසිය දේශපාලනීකරණය කිරීම හරහා සිදුවන්නේ අනාගතයේදී මෙරට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලුවලට මැදිහත් වීමට සිදුවීමයි.

    වර්තමානය වන විට නීතිය හා සාමය ඇමතිකම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අමාත්‍යාංශයක් බවට පත්ව තිබේ. මේ හරහා සිදුවන්නේ පොලිස් නිල ඇඳුම සම්බන්ධයෙන් ජනතාව අතර පවතින ගෞරවය කෙළෙසීමට පත් කිරීමකි. වත්මන් රජය බලයට පැමිණීමේදී ජනතාවට විවිධ පොරොන්දු දුන් අතර, ඔවුන් නොමඟ යැවීම සඳහාද විවිධ අසත්‍ය ප්‍රකාශ කළේය.

    නීතිය හා අධිකරණ ක්‍රියාත්මක වෙන්නේ අරලියගහ මන්දිරයෙන් බවත්, සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳවත් පවසමින් ඔවුහු ජනතාව නොමඟ යැවීමට කටයුතු කළහ. ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් ඔවුහු කතා කළහ. වැලිකඩ සිදුවීම සම්බන්ධයෙන් ඔවුහු කතා කළහ.

    නමුත් යහපාලනය ගෙනෙන බවට පැවැසූ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට වත්මන් පාලනය යම පාලනයක් බවට හඳුන්වාගැනීමට සිදුවීම දෛවයේ සරදමක් බඳුය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාම එය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කළේ මාතර සිදු වූ අපරාධය හේතුවෙනි. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණ නම් මෙය පොලීසිය සිදු කළ ඝාතනයක් බවයි.

    මාතරදී පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එහි ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී මිය ගියේය. මේ සිදුවීමේ සත්‍ය තොරතුරු තවමත් හෙළි වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණකි.

    නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුය. නමුත් නීතිය අතට ගෙන අපරාධකරුවෙකු ඝාතනය කිරීම තුළින් යුක්තිය ඉටු නොවේ.

    ආණ්ඩුවට අප දිගින් දිගටම සඳහන් කළේ රට තුළ පාතාලය කිසිදාක නොවූ පරිදි හිස ඔසවමින් තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක අද රටේ ජනතාවට විඳීමට සිදුව තිබේ. පාතාලය හිස ඔසවන බවට ආණ්ඩුව දැනගත් මුල් අවස්ථාවේදීම නිවැරදිව නීතිය ක්‍රියාත්මක කළේ නම් වර්තමානයේදී රට මෙවන් තත්ත්වයකට පත් නොවනු ඇත. අනෙක් අතින් අපරාධකරුවන් වෙත ආරක්ෂාව ලබාදීමටද ආණ්ඩුව කටයුතු කළේය. එක් අවස්ථාවක පාතාල කල්ලි නායකයෙකුට සම්බන්ධ විවාහ උත්සවයකට පොලීසිය ආරක්ෂාව ලබා දී තිබූ අතර, එවැන් දේ සිදුවන්නේ නම් පාතාලය පාලනය වන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ගැටලුවක් ඇති වේ.

    අනෙක් අතින් අප දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තවමත් මතවාදීව පරාජය වී නොමැති බවයි. මෙතෙක් කලක් ත්‍රස්තවාදීන් සඟවා තිබූ ආයුධ සොයාගත් පොලීසියට මැතකදී ත්‍රස්තවාදී ඇඳුම් හා ආයුධ සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට සිදුවිය. මෙවැනි දේ සිදුවන්නේ ආණ්ඩුවේ අසමත්කම නිසාවෙනි. ආණ්ඩුවේම ඇතැම් අමාත්‍යවරුන් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නම් රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

    මෙසේ ත්‍රස්තවාදීන්වට වන්දි ගෙවීමට ඉදිරිපත් වීම හරහා සිදුවන්නේ ඔවුන් කළ සියලු සංහාරයන් සාධාරණීකරණය කිරීමකි. එල්.ටී.ටී.ඊ. සමාජිකයන් එසේ වන්දි ගෙවීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන ආණ්ඩුව අනෙක් පසින් යුද්ධය ජයග්‍රහණය කිරීමට දායක වූ රණවිරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිටියි.

    ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට බුද්ධි අංශ  අඩපණ වී තිබේ. වර්තමානයේ රට පුරාම සිදුවන වෙඩි තැබීම්වලට සම්බන්ධ පාතාලයද, එසේත් නොමැති නම් ත්‍රස්තවාදීන්ද යන්න වෙන්කර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මන්දයත් පාතාල සාමාජිකයන් යම් අපරාධයක් කර එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කිරීමට හැකි අතරම, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපරාධයක් කර එය පාතාලයට බැර කිරීමට හැකි හෙයිනි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ රටේ නීතියේ පටන් සෑම අංශයකම තිබෙන කඩාවැටීමයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු යළිත් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමට කටයුතු කළේය. එමෙන්ම රට වෙනුවෙන් සිය ජීවිතයට පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් හා පොලිස් නිලධාරීන් අභූත චෝදනා එල්ල කර සිරගත කරන විට වර්තමානයේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට මැළිකමක් දක්වනු ඇත. මන්ද යත් ඔවුන්ටද එසේ බන්ධනාගාරගත වීමට සිදුවනු ඇතැයි සිතන හෙයිනි.

    මේ අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා ලෙස හිටපු පුද්ගලයාම යළි සේවයට පත්කර තිබේ. ඔහුට එරෙහිව රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට පරීක්ෂණයක් පවත්වන අතරතුර නැවත එම ඒකකයේ ප්‍රධානී ලෙස නැවත පත්කිරීම ගැටලුවකි.

Leave a reply.

You must be logged in to post a comment.