• සිවිල් සංවිධාන මායාව.

    දේශපාලන පක්‍ෂ මෙන්ම මෙරට සිවිල් ජනතාවද ආණ්ඩු පත්කිරීමට හා ජනතාවගේ මතය වෙනස් කිරීමට කටයුතු කරන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ ඒ සිවිල් සංවිධාන වෙත ඔවුන්ගේ අරමුණු අනුව ඔවුන් සහාය දක්වන පක්‍ෂ, කණ්ඩායම්, නායකයෝ, පුද්ගලයෝ සිටිති. නමුත් ඔවුන් එහිදී සහාය දැක්විය යුතු වනුයේ රටේ හා ජාතියේ අනාගතය උදෙසාය.

    මෙම සංවිධාන රටේ මධ්‍යස්ථ මතධාරීන් ඒකරාශී කරගෙන විශාල බලවේග ලෙස කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. 2012, 2013, 2014 හා 2015 වසරවල ඔවුහු කටයුතු කළහ. නමුත් 2015 වසරේදී නව රජය පත්වීමත් සමග සුළු කාලයකට පසුව මෙම සංවිධාන %රාජ්‍ය විරෝධී රටේ වෙනසක් ඇතිවිය යුතුය^ යන මතයේ සිට කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

    නමුත් මේ වන විට ඔවුන් නැවතත් සිය ස්ථාවරය වෙනස් කරමින් රට පිළිබඳ හෝ රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමකින් තොරව දේශපාලන පක්‍ෂවල ආධාරකරුවන් බවට පත්ව ඇති අයුරු පෙනෙන්නට තිබේ. මෙම සිවිල් සංවිධානවල ඇතැම් පුද්ගලයන් දේශපාලන පක්‍ෂවලින් මුදල් ලබාගෙන ඇති බවට මේ වන විට තොරතුරු හෙළි වෙමින් තිබේ, ඒ බව තහවුරු වී තිබේ.

    මෙම සිවිල් සංවිධාන අනුගමනය කළ සමාජයේ උගත්, බුද්ධිමත් මෙන්ම තරුණ ප්‍රජාව පාවාදීමට ඔවුන් කටයුතු කර ඇත්තේ තම හෘදසාක්‍ෂිය මුදල් ඉදිරියේ පාවා දෙමිනි. මේ අනුව සිවිල් සංවිධාන සමාජයේ මතය කිසියම් වූ දේශපලන පක්‍ෂයක මුදල් අනුව හැසිරවීමට උත්සාහ කර ඇති බව පැහැදිලි වෙයි.

    මෙයින් අවසානයේදී ගැටලුවට පත්වනුයේ ජනතාවත්, සමස්තයක් වශයෙන් ගත් විට රටත්ය. නැවත වරක් මෙම සිවිල් සංවිධාන තම %‘සිවිල් සංවිධාන’ යන නම භාවිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය හා සාධාරණත්වය යන නාමයන් ගසාගෙන එළියට පැමිණ තිබේ. ඔවුන් නැවත වරක් එළියට පැමිණ ඇත්තේ දේශපාලන වශයෙන් ලබන වරප්‍රසාද අහිමි වීම හේතුවෙන් බව ජනතාවට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    අනෙක් අතින් ඔවුන් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට උත්සාහ කරන්නේ නම්, අරගල කළ යුතු වන්නේ මහමැතිවරණයක් පැවැත්වීම වෙනුවෙනි. එසේ නොමැතිව මැතිවරණ වාරණය කරන පිරිස් සමග එක්ව නොවේ. සිවිල් සමාජ හුදෙක්ම ක්‍රියාත්ම විය යුත්තේ සිවිල් ජනතාව වෙනුවෙන් විනා කිසියම් වූ දේශපාලන පක්‍ෂයක් ‍වෙනුවෙන් නොවේ.

    මේ හරහා සිදුවන්නේ සිවිල් සංවිධාන වෙනුවෙන් ජනතාව අතර තිබූ විශ්වාසය ක්‍රමයෙන් පහළ යෑමය. ඒ බව මේ වන විට පෙනෙන්නට තිබේ. එම සංවිධානවල නිරුවත මේ වන විට හෙළිවීම හරහා එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පසුපස හති දමාගෙන දුවනවාද යන බව තේරුම් ගත් පිරිසක් එයින් ඉවත් වී තිබේ.

    දේශපාලන පක්‍ෂයක නායකයන් වෙනස් වීම, දේශපාලන පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් වීම හෝ දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් වීම, ඒ ඒ පක්‍ෂ හා නායකයන්ගේ ප්‍රතිපත්ති මත තීරණය වෙයි. නමුත් සිවිල් සංවිධානයකට එක්වෙනවාද, එහි සාමාජිකත්වය ගන්නේද යන්න දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වයක් ලබා ගැනීමට වඩා පුළුල් වෙයි.

    මන්දයත් සිවිල් සමාජ ක්‍රියාකරන්නේ යම් මතවාදී කරුණු වෙනුවෙනි. නමුත් මේ මතවාදය කිසියම් වූ දේශපාලන පක්‍ෂයක අරමුණු වෙනුවෙන් පාවාදෙන්නේ නම්, එය අදාළ සිවිල් සංවිධානවල පසුපස ආ පිරිසට කළ අසාධාරණයක් බව සඳහන් කළ යුතු වෙයි.

    ඇතැම් පුද්ගලයන් අන්ධ භක්තිකයන් ලෙස මෙවැනි සංවිධාන පසුපස ගමන් කරන තත්ත්වයක් දක්නට ලැබේ. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙම අන්ධ භක්තික පිරිසගෙන් සාතිශය බහුතරයක් ශ්‍රී ලංකාවේ උගතුන් හා බුද්ධිමතුන් කාණ්ඩයට ඇතුළත් වීමය.

    ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන අස්ථාවරත්වය හරි මගට ගෙන, නැවතත් රට ස්ථාවර කර ගැනීම මෙන්ම නව ආර්ථික, සාමාජිය වැඩපිළිවෙළක් හරහා රට ඉදිරියට ගමන් කළ යුතුය යන්න මම විශ්වාස කරමි. අනෙක් අතින් රටේ වැඩි බහුතරයක් මේ වන විට රටේ දේශපාලන වශයෙන් වෙනසක් සිදු විය යුතුය යන ස්ථාවරයේ පසුවෙති.

    එය පාර්ලිමේන්තුව තුළ සිදුවීමෙන් පලක් නොවේ. සිදු විය යුතු වන්නේ ජාතික මැතිවරණයක් වෙනුවෙනි. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම මේ බව තේරුම්ගත යුතුය. සෑම දෙනාම ජනතාව ඉදිරියට යායුතුය. ඒ අනුව අලුතෙන්ම පාර්ලිමේන්තුව සඳහා 225ක් පත්කරනවාද, නැතිනම් දැනට සිටින අයද ඇතුළත්ව වෙනස් පිරිසක් පාර්ලිමේන්තුවට යවනවාද යන්න ජනතාව තීරණය කළ යුතු වෙයි.

    මෙරට මැතිවරණ සිතියම හකුළා දැමූ, මැතිවරණ සඳහා භීතියක් ඇති එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මේ වන විට ජනාධිපතිවරණයක් ඉල්ලා ඇත. නමුත් එම තර්කයේ කිසිදු වලංගුභාවයක් නොමැත. ජනතාව ප්‍රතික්‍ෂේප කරනුයේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා නම්, ජනාධිපතිවරයා වෙනස් කළ පමණින් එම 225 වෙනසක් සිදු නොවේ. ගැටලුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 තුළ නම්, මුලින්ම කළ යුත්තේ එයට විසඳුමක් ලබාදීමය. පාර්ලිමේන්තුව ස්ථාවර කිරීමෙන් පසුව ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබේ.

    අපි කිසි විටක මැතිවරණ සඳහා භීතියක් නොදක්වමු. අනෙක් අතින් මහින්ද රාජපක්‍ෂ මහතා සෑම අවස්ථාවකම නිසි කාලයටත් පෙර මැතිවරණ පැවැත්වීමට කටයුතු කරමින් ජනතාව ඉදිරියට ගොස් සිය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය අනුව කටයුතු කළේය. මේ වන විටද අප කටයුතු කරනුයේ එම මතයේ සිටිමිනි. එහි වෙනසක් නොවේ. ප්‍රථමයෙන්ම මහමැතිවරණයක් පවත්වා ඊළඟ ක්‍රියාමාර්ග ගැනීම රටේ අනාගත වෙනුවෙන් මේ අවස්ථාවේදී ගත හැකි හොඳම තීරණයයි. ඒ සඳහා සෑම දේශපාලන පක්‍ෂයකම සහාය අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

     

Leave a reply.

You must be logged in to post a comment.