• මෙගා බොරු හා ලිච්ඡවී පාලනය – කුරහන් සුවඳ

    මැතිවරණයෙන් පසු නැවත වරක් ත්‍රිකුණාමලයේ හා කන්තලේ ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ සොයා බැලීමටත් එම ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදුවෙනවාද යන්න සොයා බැලීමටත් පසුගිය සතියේදී එම ප්‍රදේශවල සංචාරයක නිරත වීමට අවස්ථාව ලැබිණි. එහිදී එම ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ලැබුණු අතර, සංවර්ධන කටයුතු සියල්ලම එක තැන ඇනහිට තිබේ.

    අගමැතිවරයා ත්‍රිකුණාමලය නගරය සම්බන්ධ කරමින් “මෙගා සංවර්ධනයක්” කරන බවට නොයෙක් වර ප්‍රකාශ කළද, ත්‍රිකුණාමලය හා ඒ අවට කිසිදු සංවර්ධනයක සලකුණක් හෝ පෙනෙන්නට නොමැත. ඒ අනුව ත්‍රිකුණාමලය සංවර්ධන පිළිබඳ අගමැතිවරයාගේ තවත් “මෙගා බොරුවක්” ගමේ භාෂාවෙන්ම කියනවා නම් %අතේ පත්තු වී^ තිබේ. මෙගා සංවර්ධනයක් පිළිබඳ කයිවාරු ගසන ආණ්ඩුවට අඩුම තරමින් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉදිරියට ගෙන ආ සංවර්ධන ව්‍යාපෘතීන් හෝ ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි වී තිබේ. එයින් අවසානයේදී බැට කමින් සිටින්නේ අසරණ ජනතාවය.

    ත්‍රිකුණාමලය හා කන්තලේ ජනතාව එහි පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් නිතරම ජලය පිළිබඳ ගැටලුවකට මුහුණදෙන අතර, එයට විසඳුම් දීමට ආරම්භ කළ වැව් අමුණු පිළිසකර කිරීමේ ව්‍යාපෘතිද එක තැන පල්වෙමින් තිබේ. මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් ජනතාව මුහුණදෙන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම රජයේ වගකීම වුවද, වත්මන් ජනතාව පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු නොකිරීම හේතුවෙන් මේ ගැටලු විසඳෙන බවක් පෙනෙන්නට නොමැත.

    පසුගිය ජනාධිපතිවරණ කාලයේදී වත්මන් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දු ඉටුකළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බව ජනතාවට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඔවුන් පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහන මිලක් යටතේ රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදියට අය කළ මුදල ආපසු ලබාදෙන බවත්, ක්ෂේත්‍ර නිලධාරීන්ට නොමිලයේ යතුරුපැදි දෙන බවත්ය. නොමිලයේ යතුරුපැදි ලබාදෙනවා වෙනුවට ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදුන් යතුරුපැදියෙන් තවත් මුදලක් අය කිරීමටද මේ වනවිට රජය කටයුතු කරමින් සිටියි.

    පසුගිය කාලසීමාවේදී ගුරු හිඟයට පිළියමක් ලෙස සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කෙරිණි. ඒ අතර දෙදහසකට ආසන්න පිරිසක් සිටි අතර ඔවුන්ට යතුරුපැදියක හිමිකම තිබිණි. කෙසේ වෙතත් ඔවුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම හේතුවෙන් ඔවුන්ගේ යතුරුපැදිවලට ගෙවීමට තිබෙන ඉතිරි මුදල් ගෙවන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් දන්වා තිබේ.

    මෙය ගැටලුවක් වන අතර සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන අවස්ථාවේදී ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් සිදුකර නොතිබිණි. රජය කළ යුතුව තිබුණේ යතුරුපැදිය නැවත බාරදෙන ලෙස පැවසීම හෝ සංවර්ධන නිලධාරීන් ලෙස වැඩ කළ කාලසීමාව වෙනුවෙන් සහනයක් ලබාදීමයි. නමුත් මේ කිසිවක් නොකර රජය එක්වරම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ සංවර්ධන නිලධාරීන්ගෙන් යතුරුපැදි වෙනුවෙන් මුදල් අය කරගැනීමට කටයුතු කිරීම සාධාරණ කරුණක් නොවේ.

    මේ පිළිබඳ විසඳුම් ඉල්ලා ගුරුවරුන් මුදල් අමාත්‍යාංශයේ ඔම්බුඩ්ස්මන්වරයා දැනුවත් කිරීමට කටයුතු කරන අතරතුර, විසඳුමක් ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳ තවමත් කිසිදු පිළිතුරු ලබාදීමක් සිදුකර නොමැත.

    පසුගිය සතියේදී විරෝධතාවක නිරත වූ සරසවි සිසුන්ට පහරදීම පිළිබඳ මෙන්ම වෛද්‍යවරුන් පැවැත්වූ වැඩවර්ජනය පිළිබඳ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු විය. එසේම එය රටේ බොහෝ පිරිසක් කතාබහ කළ මාතෘකාවක් බවටද පත්විය. ඔවුන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වූ අතර, බදාදා දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ තිබුණේ අමාත්‍යවරයා හමුවන අදහසිනි. එය බදාදා දිනයක් වූ හෙයින් එදින මහජන දිනයද විය.

    කෙසේ වෙතත් පසුව එය නොසන්සුන්කාරී තත්ත්වයක් කරා වර්ධනය වූ අතර, එස්.ටී.එෆ්. යොදා සිසුන්ට පහර පිට පහර දීමට ආණ්ඩුව කටයුතු කළේය. ගම්වල සිටින අහිංසක දෙමාපියන් තම දරුවන් විශ්වවිද්‍යාල වෙත යොමු කරන්නේ ආරක්ෂක අංශවලින් ගුටි කෑමට නොවේ. දෙමාපියන් සිය ආහාර වේල පවා කැප කරමින් දරුවන්ට ඉගැන්වීමට කටයුතු කරන්නේ ඔවුන්ට හොඳ අනාගතයක් ලබාදීම වෙනුවෙනි. එසේ සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින මවමින් විශ්විවිද්‍යාල වෙත යොමු කරන සිසුන්ට, උද්ඝෝෂණ සිදු කරමින් මහමග රස්තියාදු වීමට සිදුවන්නේ නම් එය ඛේදවාචකයකි.

    මේ වසරේ ගත වූ මාස කිහිපය පිළිබඳ අවධානය යොමු කළහොත් සයිටම් විරෝධී උද්ඝෝෂණ බොහෝ ප්‍රමාණයක් පැවැත්වුවද ඒ සඳහා සෑම පාර්ශ්වයකටම පිළිගත හැකි විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ.
    දිනෙන් දින පවත්වන වර්ජන හේතුවෙන් අහිමි වන මිනිස් පැය හේතුවෙන් ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් බිලියන ගණනකි. මෙම ගැටලුව තවත් ඔඩු දිවීමට අවස්ථාව නොදෙමින් වගකිවයුතු විසඳුමක් ලබාදිය යුතුය.
    මේ රටේ වෛද්‍යවරයාගේ පටන් තැපැල් සේවකයා, ගිලන් රථ සේවකයා, සරසවි සිසුන් ආදී බොහෝ පිරිසක් ආණ්ඩුවට එරෙහිව පාරට බසින තත්ත්වයට පත්ව තිබේ. ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකට මේ සා ජනතා, රාජ්‍ය සේවක, පෞද්ගලික සේවක විරෝධයක් නොතිබූ තරම්ය. එසේම රටේ ගරුතර මහා සංඝරත්නය පවා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරන තත්ත්වයට පත්ව තිබේ. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ ආණ්ඩුවේ පවතින අකාර්යක්ෂමතාවයි. ආණ්ඩුවකට එරෙහිව විරෝධතා පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් වත්මන් ආණ්ඩුවට එරෙහිව පවතින්නේ අසාමාන්‍ය විරෝධයකි. ආණ්ඩුව සිදුකළ යුතු වන්නේ සාකච්ඡාවෙන් මේ ගැටලු විසඳීමට කටයුතු කිරීමයි.

    ලිච්ඡවී පාලනයක් පිළිබඳ කතා කළද ක්‍රියාවෙන් එය පෙනෙන්නට නොමැත. ඒ නිසා නිසි තැනට නිසි තීන්දු තීරණ ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!
    සුබ අනාගතයක්!

  • රන්න කහමෝදර කනිටු විදුහලේ සිසුනට අවශ්‍ය පාසල් උපකරණ හා පාවහන් පරිත්‍යාග කිරීම.

    රටේ  අනාගතය අපේ ආදරණීය දරු පරපුරයි. ඔවුන් වෙනුවෙන් අප අද කරන සියළු ආයෝජනයන් හි ප්‍රතිඵල නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ අනාගතය තාක්ෂණික මෙන්ම ව්‍යාපාරික අතින් සන්නද්ධ කරනු ඇත. වඩාත් පැහැබර ශ්‍රී ලංකාවක් බිහිකරනු වෙනුවෙන්,    රන්න කහමෝදර කනිටු විදුහලේ අධ්‍යාපනය හදාරන අපේම ආදරණීය නංගිලා මල්ලිලාගේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය පාසල් උපකරණ හා පාවහන් පරිත්‍යාග කිරීමට පසුගිය දා මා හට අවස්ථව ලැබුණි. මේ එම අවස්ථාව වෙනුවෙන් නිර්මාණය වූ පුංචි වීඩියෝ පටයකි. මේ සත් කාර්‍යය වෙනුවෙන් දායක වූ ඔබ සැමට ස්තූතියි.

  • ඩෙංගු වසංගතයක් වීමේ වරද කාගෙද? – කුරහන් සුවඳ

    අප මීට ඉහතදී කුරහන් සුවඳ ලිපි තීරුව හරහා ඔබව දැනුවත් කළ කරුණක් මේ වනවිට යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම හරහා රජයටත්ල ජනතාවටත් අනිසි විපාක සිදුවෙන බවට අප ඔබව දැනුවත් කළ අතර මේ හරහා සමාජ ගැටලු ඇතිවීමට ඉඩ තිබෙන බවත් එහිදී කසළ ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගන්නා බවත් අපි සඳහන් කළෙමු.

    එය යථාර්ථයක් වී ඇත්තේ ඩෙංගු රෝගය මේ වනවිට වසංගතයක් බවට පත්ව ඇති බැවිනි. මේ වනවිට ඩෙංගු රෝගීන් 70000කට ආසන්න වීමට පැමිණ ඇති අතර රෝහල්වල ඇඳන් ඩෙංගු රෝගීන්ගෙන් පිරීගොස් තිබේ. එමෙන්ම ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉක්ම ගොස් තිබේ.
    විශේෂයෙන්ම කොළඹල ගාල්ල හා මහනුවර වැනි ජනාකීර්ණ දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන අතර ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින කසළ එදිනෙදා බැහැර කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇතිව තිබෙන අපිරිසුදු බව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබේ.

    ජනපති මෙත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා රජයේ රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවේ ආණ්ඩුවට ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රශ්න පමණක් බවත්ල එයින් එකක් කසළ ප්‍රශ්නය වෙන බවත්ය.
    ජනාධිපතිවරායට කසළ පිළිබඳව ගැටලුව කුඩා ප්‍රශ්නයක් නම් එය විසඳීමට දැන් ඕනෑ තරම් කල්ගත වී තිබේ. නමුත් ඒ පොඩි ප්‍රශ්නයවත් ආණ්ඩුවට විසඳාගත නොහැකිනම් ඉතිරි ප්‍රශ්න ගැන කතා කිරීමෙන් පලක් නොමැත.
    පළාත් පාලන යාන්ත්‍රණය බිඳවැටීම හේතුවෙන් සිදුවූ අනිසි ප්‍රතිඵල දැන් ජනතාවට දරාගැනීමට සිදුව තිබේ. මේ අතර බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ජනපති මන්දිරයට කැඳවා කොළඹ කසළ ගැටලුව දින තුනක් ඇතුළත විසඳන ලෙස ඔහුට උපදෙස් ලබාදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයතු කළ බව සඳහන් වේ. කොළඹ කසළ පිළිබඳ ගැටලුවට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාට අවවාද කිරීම පලක් නොවන්නේ මේ ගැටලුව ඇතිවීමට මූලික බීජය වන්නේ යහපාලන ආණ්ඩුව වන හෙයිනි.

    පළාත් පාලන මැතිවරණය පවත්වා කොළඹ මහනගර සභාවල දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවල කෝට්ටේ මහනගර සභාව ඡන්දය පැවැත්වූවා නම් කසළ ගැටලුව විසඳෙනු ඇත.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනුයේ චක්‍රලේඛ බිඳ දමමින් හෝ ජනතාවට සේවය සපයන ලෙසය. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයන් හඳුන්වා දෙමින් කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් පවා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    2014 වසරේදී ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදියෙන් විපතට පත්වූවන්ට සහන ලබාදීම සඳහා විශේෂ චක්‍රලේඛයක් හඳුන්වා දෙනු ලැබීය. නීතිය කැඩීමකින් තොරව චක්‍රලේඛයට අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ව බන්ධනාගාරගත කර ඔවුන්ට එරෙහිව කටයුතු කළේය.

    ජනාධිපතිවරයා අලුත් චක්‍රලේඛ හරහා නීතිය හඳුන්වා නොදෙන අතරල කතාවට පමණක් නීතියට පිටින් වැඩ කිරීමට රාජ්‍ය සේවකයන්ට උපදෙස් ලබැදීම පමණක් සිදුකරයි. ඩෙංගු ඇතුළුව විවිධ විපත්වලින් ගැටලුවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුවට අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිදුකළ යුතු වන්නේ නව චක්‍රලේඛයක් හඳුන්වා දෙමින් ජනතාවට වරප්‍රසාද හා සහන ලබාදීමය පසුව රාජ්‍ය සේවකයන්ට එය අනුගමනය කරමින් කටයුතු කිරීමට අවස්ථාව තිබේ.
    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 15 දෙනෙකුට විනය පරීක්ෂණ පවත්වන බවට සඳහන් කර තිබේ. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජීවතුන් අතර සිටියේනම් විනය පරීක්ෂණ පවත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නොව තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති කඩා විනාශ කළ වත්මන් නායකයන්ටය.

    මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනයල ප්‍රතිපත්ති ආරක්ෂා කර ගැනීමට කටයුතු කළේය. අප එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී රට බෙදීමට සහාය නොදැක්වීම මෙම විනය පරීක්ෂණ පැවැත්වීමට හේතුව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිබඳව අපි කනගාටු වන්නෙමු.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගන්නවා වැඩිය, රට අගාධයට යන බව පවසමින් ජනතාව රවටා බලයට පත්වූ වත්මන් ආණ්ඩුව මේ වනවිට විශාල ලෙස ණය ලබාගනිමින් තිබේ. 2017 වසරේ අයවැය අනුව මේ වසරේ ලබාගත හැකි ණය ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වත්මන් ආණ්ඩුව මාස හයක් තුළ ලබාගෙන අවසන්ය. ඒ අනුව ඉතිරි මාස හයක කාලය සඳහා ආණ්ඩුවට ණය ලබාගත හැක්තේ තවත් සියයට 20ක් වැනි ප්‍රමාණයකි.

    කුමන අයුරින් පම්පෝරි ගැසුවද මේ ආණ්ඩුවට කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති බව ජනතාවට දැන් හොඳින්ම තේරී අවසන්ය. මේ අවුරුද්දේ නොවැම්බර් හා දෙසැම්බර් වනවිට රට ආර්ථික වශයෙන් දරුණු අගාධයකට පත්වීමට නියමිතය. ආණ්ඩුව ණය ලබාගත්තද එම ණය භාවිත කරමින් සිදුකළ සංවර්ධනයක් හෝ වෙනත් දෙයක් පෙනෙන්නට නොමැත. ආණ්ඩුව වහාම ණය භාවිත කරමින් කළ දේ පිළිබඳව ජනතාව පැවසීම අත්‍යවශ්‍ය කරුණකි.

    ලොකයේ තෙල් මිල දිගින් දිගටම අඩුවීම හේතුවෙන් ආණ්ඩුවට ලැබුණු වාසිය ඩොලර් බිලියන 4.3ක් පමණ වෙයි තෙල්වලින් රටට ලැබුණු මුදල්වලින් ශ්‍රී ලංකාවේ ණයෙන් ප්‍රමාණවත් මුදලක් ආපසු ගෙවීමටත් අවස්ථාව තිබිණි. ඉන් ඉතිරි වූ මුදලට සිදුවූ දෙයක් පෙනෙන්නට නොමැත.

    තවදුරටත් මහින්ද රාජපක්‍ෂට හෝ පැවැති ආණ්ඩුවට බැණ වැදීමකින් තොරව මේ ආණ්ඩුව කළ යුතු වන්නේ රට ගොඩනැගීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීමය. ජනාධිපතිවරයා පත්වී අවුරුදු දෙකහමාරක පමණ කාලයක් ගතව තිබුණද ජනතාවට රටට දැනෙන වෙනසක් ඇතිකිරීමට ඔවුන් අපොහොසත්ව තිබේ.
    ලබන සතියේදී යළිත් හමුවෙමු!
    ඔබට සුබ අනාගතයක්!