• හම්බන්තොට වරාය ජාතියට අහිමිවීම

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයේ සුවිශේෂී කඩඉමක්, එසේත් නොමැතිනම් කාලසීමාවක් ගතවන අවස්ථාවකදීය. ඒ අනාගතයේදී ශ්‍රී ලංකා ආර්ථිකයට වඩාත් වැදගත්ම ආර්ථික මර්මස්ථානයක් බවට පත්වන හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 80ක කාලයක පැවරීමට අදාළ ගිවිසුමේ අවසන් කටයුතු සිදුවන හෙයිනි. වරායේ අවසන් ගිවිසුම අද (25දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා විය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවේදී වත්මන් පාලනයේ සිටින පිරිස් මතුකළ මත අතර ප්‍රධාන තැනක් හම්බන්තොට වරයාට හිමිව තිබූ අතර, ඔවුන් සඳහන් කළේ එම ව්‍යාපෘතිය සුදු අලියෙකු බව මෙන්ම එය ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය බවයි. එසේ වහසි බස් දෙඩූවන්ට මේ වනවිට හම්බන්තොට වරාය විදේශයන්ට අලෙවිකළ හැකි සම්පතක් බවට පත්ව තිබේ.

    කවුරුත් දන්නා පරිදි අනාගතයේදී ලෝකයේ ප්‍රධාන ආර්ථිකයක් බවට චීනය පත්වනු ඇත. එහිදී ඔවුන් ඉන්දියන් සාගරය හරහා නාවික සේද මාවත පිහිටුවීමට බලාපොරොත්තුවන අතර  ඇමෙරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට ඉන්දීය සාගරය හරහා සිය නිමැවුම් යොමුකරනු අත. මෙහිදී ශ්‍රී ලංකාව එම මාර්ගයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති අතර, සේද මාවතේ සෘජු ප්‍රතිඵල ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාව පවතියි.

    අප අද සඳහන් කරන මෙම කරුණු අනාගතයේදී යථාර්ථයක් බවට පත්වනු ඇති බවට ඔබට පැහැදිලි වනු ඇත. චීනය විසින් පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල වරාය සංවර්ධනය කිරීමට පෙළඹී ඇත්තේ මේ නිසාවෙනි.

    හිටපු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වරාය ගිවිසුමෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාගැනීමට උත්සාහ ගන්නා අයුරු දැකගත හැකිවිය. ඔහු පිළිබඳ විවේචන පැවැතියද අමාත්‍යවරයා එසේ සටන් කළේ දේශපාලන වාසියකින් තොරව නම් අපි එය අගය කරමු. එසේම මෙම සටන නිසා අවසානයේදී ඔහුට වරාය හා නාවික අමාත්‍යාංශයද අහිමි වූ අතර, ඔහු පසුගිය කැබිනට් සංශෝධනයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කෙරිණි.

    හම්බන්තොට වරාය ගිවිසුම ගැන රජයෙන් ඇසීමට මට ප්‍රශ්න කිහිපයක් තිබේ.

    • හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා සමාගම් දෙකකින් යෝජනා ලබා දී තිබුණේද?
    • එම සමාගම් දෙකෙන් එක සමාගමක් තෝරාගන්නා ලද්දේ කුමන පදනමක් යටතේද?
    • එසේ තෝරාගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවක් මගින් ලබාදුන් නිර්දේශ මොනවාද? තෝරාගත් සමාගම සමග අත්සන් කරන ගිවිසුම් දෙක මොනවාද?
    • එලෙස අත්සන් කරන ගිවිසුම් දෙක මගින් ස්ථාපනය කරන සමාගම් දෙකෙහි කොටස් බෙදී යන්නේ කවර ආකාරයටද?
    • එම සමාගම් දෙකට පැවරෙන කාර්යයන් මොනවාද?
    • එම සමාගම්වලට ලැබෙන ආදායම් මාර්ග මොනවාද?
    • වරායේ නඩත්තු කටයුතු පැවරෙන්නේ කුමන සමාගමකටද?
    • මෙම පෞද්ගලීකරණය හරහා රජයට හා වරාය අධිකාරියට ලැබෙන ආදායම් ප්‍රභවයන් මොනවාද?
    • මෙම ගිවිසුම මගින් ලබාදෙන ඉඩම් ප්‍රමාණය කොපමණද? ඒවා ලබාදෙන්නේ කුමන පදනමක් මතද? මෙම ගිවිසුම මගින් මෙහෙයුම් පර්යන්ත සඳහා ලබාදෙන ඉඩම් සඳහා බදු කුලියක් අය කරන්නේද?
    • මෙම වරායේ තෙවැනි සහ සිවුවැනි අදියරයන් ඉදිකිරීමේ අයිතිය මෙම සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද? එසේ ලබාදෙන්නේ නම්, ඒ කුමන පදනමක් මතද?
    • හම්බන්තොට වරායේ දෙවැනි අදියර ඉදිකිරීමේදී, ඉදිකරන ලද අක්කර 110 ක් විශාල දූපත මෙම සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද? එසේ ලබා දෙන්නේ නම්, ලබාදෙනු ලබන්නේ කුමන පදනමක් මතද?
    • මෙම පොද්ගලීකරණය හරහා රජය ආරම්භයේ ලබාගන්නා මුදල කොපමණද?
    • මේ සඳහා දේශීය හෝ ජාත්‍යන්තර සමාගමක් මගින් තක්සේරුවක් ලබාගෙන තිබේද? එසේ නොමැති නම් එම වටිනාකම නිර්ණය කරන ලද්දේ කුමන පදනමක් මතද?
    • එම මුදලින් හම්බන්තොට වරාය ඉදිකිරිම සඳහා ලබාගත් ණය මුදල ගෙවන්නේද? එසේ නොමැති නම් එම ණය මුදල් ගෙවන ආකාරය සහ ආයතනය කුමක්ද?
    • හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා වන ගිවිසුම අත්සන් කරන්නේ කවදාද?
    • මෙම අත්සන් තබන ගිවිසුම අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි අත්සන් කිරීමට ප්‍රථම, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවාද?

    මේ අතර සරසවි සිසු මර්දනය අඛණ්ඩවම රජය විසින් සිදුකරමින් සිටින අතර, ඒ සඳහා සුදු වෑන් යොදාගන්නා අයුරුද දැකිය හැකිය. මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට විෂය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පවරා තිබිණි. කලක් කළු පැහැති ඩිෆෙන්ඩර් රථවලින් පුද්ගලයන් පැහැරගැනීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කටයුතු කළ අතර, මේ වනවිට සුදු පැහැති වෑන් රථ යොදා ගනිමින් සිසුන් පැහැරගැනීමට උත්සාහ කරයි.වූයේ සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගන්නා බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අභූත චෝදනා එල්ල කළ වත්මන් ආණ්ඩුව සුදුවෑන් යොදාගනිමින් සිසු නායකයන් පැහැරගැනීමට කටයුතු කිරීම අභාග්‍යසම්පන්න කරුණකි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා 2017 අංක 09 දරණ අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනතට අත්සන් කිරීමට කටයුතු කළේය. ජාත්‍යන්තරයේ බලපෑම මත මෙම පනත ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ආ අතර මෙහි රටට අහිතකර කරුණු රාශියක් දක්නට ලැබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මේ පිළිබඳ ඊයේ (24දා)  මහනායක හිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයවෙත විවෘත ලිපියක් යොමුකරමින් උන්වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළේය. මෙම කාර්යාලයක් ලෙස හැඳින්වුවද ඇත්ත වශයෙන්ම එය උසාවියක් ලෙස ක්‍රියාත්මක වෙයි. පනතේ 12 වැනිවගන්තිය අනුව මෙය මනාව පැහැදිලි වෙයි.

    සති අන්තයේදී යාපනයේ නල්ලූර් කෝවිල අසලදී යාපනය මහාධිකරණ විනිසුරුවරයා ගමන්ගත් වාහනය සමීපයේ සිදු වූ වෙඩි තැබීම අභාග්‍යසම්පන්න කරුණකි. අප පුන පුනා සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයත් සමග පැවැති සටන හුදෙක්ම ත්‍රස්තවාදයට එරෙහි සටනක් බවත්, එය දෙමළ ජනතාවට එරෙහි සටනක් නොවන බවත්ය. යාපනයේ සිදුවීම මෙය හොඳින්ම පැහැදිලිවූ සිදුවීමක් විය.

    බුද්ධිමත් දෙමළ ජනතාව අතරද එය එසේම බවට පැහැදිලිවූයේ තමන් වෙනුවෙන් දිවිපිදූ පොලිස් නිලධාරියා හා තුවාල ලැබූ පොලිස් නිලධාරියා වෙනුවෙන් මහාධිකරණ විනිසුරු මානික්කවාසාගර් ඉලන්චේලියන් මහතා කනගාටු වන අයුරු දැකීමට ලැබීමෙනි.  කෙසේ වෙතත් ඇතැම් දමිළ දේශපාලනඥයන් පවසන්නේ විනිසුරුවරයා ද්‍රවිඩ ජාතික සන්ධානය හරහා ඡන්දයට පැමිණීමට සූදානමක් ඇති බවයි. නමුත් මා විශ්වාස කරන්නේ විනිසුරුවරයාගේ හැසිරීම හුදෙක්ම ස්වාභාවික හැසිරීමක් බවයි.

    අනෙක් අතින් යාපනයේ සිදුවීම ජාතික ආරක්ෂාවටද ගැටලුවක් ඇති බවට පැහැදිලි සාක්ෂියකි. මීට ඉහතදීත් යානයේ මෙවැනි වෙඩි තැබීම් වාර්තා වුවද, ඒ සඳහා නිසි පිළියම් යෙදීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රශ්නය තවත් ඔඩුදුවා ඇති බවට පැහැදිලි කරුණක් ලෙස යාපනයේ සිදුවීම හඳුන්වාදිය හැකිය. එසේම මේ වනවිට පාතාලයේද යම් නැගිටීමක් දක්නට ලැබෙන අතර, මේ සියල්ලටම පැහැදිලි විසඳුමක් ලබාදීමට අපොහොසත් වන්නේ නම් මුළු රට තුළම පාතාල ත්‍රස්තවාදයක් ඇති වනු ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • බොරුවක් වූ යහපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය

    මුලින්ම මම මෙවර කුරහන් සුවඳ ලිපිය හරහා මගේ රෝහිත මල්ලිට සුබ පැතුම් එක් කිරීමට අවස්ථාවක් කර ගනිමි. රෝහිත ඔහුගේ නවතම සංගීත වීඩියෝව සිහිනෙක නමින් මීට දින තුනකට පෙරාතුව නිකුත් කළ අතර, එය යූටියුබ් සමාජ ජාල වෙබ් අඩවිය හරහා විකාශය කෙරිණි. ඊයේ වනවිට එම සංගීත වීඩියෝව යූටියුබ් සමාජ ජාලය තුළ ශ්‍රී ලංකාවේ අංක එක බවට පත්ව තිබිණි. එය ඔහුගේ නිර්මාණයේ සාර්ථකත්වය කියාපෑමක් විය.

    ඔහුගේ සාර්ථක නිර්මාණයට මටද දායක වීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් කොට සලකමි. අපගේ තාත්තා ලංකාවේ නොසිටීමත්, අම්මා කොළඹ නොසිටීමත් නිසා නුවරඑළියේ පැවැති රූගත කිරීමේ කටයුතු සඳහා ඔහුගේ සහායට මම එක්වීමි. මෙහිදී මා ඔහුගේ සහායට ගියද, ඔහුගේ ඉල්ලීම පරිදි එහි වීඩියෝ රූපරාමු කිහිපයකට එක්වීමට මට අවස්ථාව ලැබිණි. ඒ සඳහා මම ඇඳුම් පැලඳුම් පවා සූදානම් කරගෙන නොතිබුණු අතර, පසුව ඔහුගේ ඇඳුම් ඇඳගෙනම එම වීඩියෝවේ රඟපෑමේ කටයුතු සඳහා එක්වීමි.  

    නැවතත් සුපුරුදු පරිදි දේශපාලන කතිකාවට එක්වුවෙහාත් මුලින්ම කතා කිරීමට සිදුවන්නේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අවස්ථාවේදී කොමදෝරුවරයා අත්අඩංගුවට පත්වෙයි. ඒ පිළිබඳ සිංහල මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය තුළද කතාබහක් ඇති වූ අතර, විශේෂ නියෝජිතවරයාද එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ දැනුවත් වෙන්නට අවස්ථාවක් පවතියි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දසනායක මහතා අත්අඩංගුවට ගන්නේ දෙමළ තරුණයන් අතුරුදන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. ඒ පිළිබඳ ගැඹුරින් විමසා බලන විට මෙම අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරයා සතුටු කිරීමට ගත් තීරණයක්දැයි සැකසහිතය. අනෙක් අතින් ඔහු අත්අඩංගුවට ගැනීම හරහා රජය ඊළඟට  හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය.

    එසේම දිසානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරිපත් වූ බී වාර්තාවේ සඳහන් කරුණු සලකා බැලූ විට ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් දෑ තිබුණාද යන්න පිළිබඳ මට ගැටලුවක් තිබේ.

    වසර දෙකක පමණ කාලයක් තිස්සේ ආණ්ඩුව දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් දමමින් සිටියි. මේ හරහා නොයෙක් ගැටලු මතුව ඇති අතර එය ලිපියේ අවසානයට සඳහන් කරමි. නමුත් පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද කල් දැමීමට ආණ්ඩුව දැන් දැන් සූදානම් වෙමින් තිබේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව දැන් මැතිවරණ සිතියම හකුළා දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උඳුරාගෙන අවසන්ය.

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය නියමිත දිනයට මැතිවරණ පැවැත්වූ අතර කිසිඳු අවස්ථාවක මැතිවරණයක් සඳහා බිය නොවුණි. නමුත් වත්මන් යහපාලන ආණ්ඩුවට දිගින් දිගටම එල්ල වන ජනතා විරෝධය නිසාත් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී පරාජය සිදුවන බව දන්නා නිසාත් ආණ්ඩුව මැතිවරණයට බිය වී තිබේ.

    පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනයකින් සඳහන් වූයේ පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී එහි ඇති අපේක්ෂක ලැයිස්තුවෙන් 30% ක් කාන්තාවන් විය යුතු බවයි. දේශපාලනයට කාන්තාවන් පැමිණීම හොඳ දෙයකි. කිසිවිටෙකත් අපි අයට විරුද්ධ නොවෙමු. නමුත් කාන්තා නියෝජනය ඉදිරියට දමා මැතිවරණය කල් දැමීමට මේ හරහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට මතයක් පැතිර යයි. ඒ ගැසට් නිවේදනයේ සඳහන් කරුණු පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විරෝධතා ගොනු කිරීමට අවස්ථාවක් ඇති හෙයිනි. යම් හෙයකින් මෙම ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළහොත් ඒ හරහා පළාත් සභා ඡන්දය පැවැත්වීම කල් දැමීමට අවස්ථාවක් පවතියි.

    මේ අතරම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට පවසා තිබුණේ දෙසැම්බර් දක්වා ඉවසන ලෙසයි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ යහපාලන ආණ්ඩුව ජනතා විරෝධී ලෙස මැතිවරණ පැවැත්වීම කල් දමමින් සිටින ආකාරයයි.

    කුරහන් සුවඳ තීරු ලිපි මාලාව පුරාම අප කතා කළ කරුණක් වූයේ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව දිගින් දිගටම කල් දැමීම සමාජ, දේශපාලන 

    වශයෙන් ගැටලු රාශියක් මතු කරන්නක් බවයි. දැන් එය යථාර්ථයක් බවට පත්ව තිබේ. නියමිත කාලයට කසළ ඉවත් කිරීමක් සිදු නොවේ. මේ හරහා බොහෝ නගර අපිරිසුදු වන තත්ත්වයක් දැකිය හැකිය. එසේම කාණු පද්ධති නිසි ආකාරයෙන් නඩත්තු නොවේ. මේ හේතුවෙන් ඩෙංගු රෝගය පැතිර යෑමක්ද සිදු විය.

    ඩෙංගු රෝගීන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති  අතර, මියගිය සංඛ්‍යාව 200 ඉක්මවා තිබේ. ආණ්ඩුව මැතිවරණ සඳහා බියෙන් මැතිවරණ කල් දැමීම හරහා අවසානයේදී වන්ද ගෙවීමට සිදුව ඇත්තේ අසරණ මහජනතාවටය. අප කියූ කරුණු දැන් ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන්ටද දැනීමට පටන්ගෙන තිබේ. මේ අනුව බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද පවසා තිබුණේ කසළ ගැටලුවට හා ඩෙංගු ගැටලුවට ප්‍රධාන හේතුව නිසි පළාත් පාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම බවයි. අමාත්‍යවරයාට මේ බව තේරුම්ගැනීමට වසර දෙක හමාරක කාලයක් ගත වූ අතර, එසේ කාලය ගතකිරීමෙන් පසුව හෝ එය තේරුම්ගැනීම සුබදායකය. මට තිබෙන ගැටලුව නම් අමාත්‍යවරයා මේ බව ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරනවාද, එසේත් නොමැති නම් මැතිවරණය නොපැවැත්වීම නියා ඇති ජනතා විරෝධයෙන් ප්‍රයෝජන ලබාගැනීමට මෙම ප්‍රකාශය සිදුකළාද යන්නයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු.

    ඔබට සුබ අනාගතයක්!

  • මාධ්‍ය නිදහස හා දේශපාලන පළිගැනීම්

    මෙම සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කරන විට 1988 ජූලි 10 වැනිදා සිදුවූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් පිළිබඳව මාහට මතක් කර දීමට එකල මගේ පියාගේ ආරක්ෂාව සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කළ මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්තව සේවය කරන ගාමිණී හා ප්‍රියන්ත යන මහත්වරු කටයුතු කළහ. 1988 වසරේ අතුරු මැතිවරණය වෙනුවෙන් මගේ පියා රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුකරමින් සිටින ජූලි 10 අපගේ තංගල්ල කාල්ටන් නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම ඒ අභාග්‍යසම්පන්න සිදුවීමය. මෙම ප්‍රහාරය එල්ල වනවිට මමත්, මගේ මව හා සහෝදරයා වන යෝෂිතද නිවසේ සිටියහ. ඒ වනවිට මගේ වයස අවුරුදු 02කි. යෝෂිත ඉපිදී මාසයක් ගත්ව තිබිණි. එම කාලසීමාවේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා රට පාලනය කරමින් සිටි අතර, එවකට තංගල්ල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කරවිටගේ ධම්මදාස මහතා කටයුතු කරමින් සිටියේය. පසුව ඔහු සියදිවි හානිකර ගත් බවට තොරතුරු වාර්තා විය. අතුරු මැතිවරණය ජූලි 14 වැනිදා පැවැත්විණි.

    ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී ජනමතය වෙනස් කිරීම සඳහා ප්‍රබල සාධකයක් බවට ෆේස්බුක් සමාජ ජාලය පත්විය. මෙහිදී බොහෝ තීරණාත්මක තීන්දු ගැනීමට ෆේස්බුක් සමාජ ජාලය භාවිත කිරීමට තරුණ තරුණියෝ පෙළඹුණහ. එමෙන්ම අසත්‍ය හෝ වේවා මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් සහාය දක්වමින් එහිදී විවිධ අදහස් සමාජ මාධ්‍ය අතරින් ප්‍රචාරය විය. යහපාලන ආණ්ඩුව එදා සමාජ මාධ්‍යවලින් වාසි ලබාගත්තේ ඒ අයුරිනි. නමුත් ආණ්ඩුව බලයට පත් වී වසර දෙකක් ගතවන විට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මේ වනවිට ඔවුන්ට වහකදුරු වී තිබේ. ඔවුන් පවසන්නේ සමාජ ජාල හැසිරවීම හරහා පෞද්ගලික ජීවිත පවා අවදානමකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් එයට යටින් තිබෙන්නා වූ කාරණය වන්නේ සමාජමාධ්‍ය හරහා ආණ්ඩුව නිර්දය වශයෙන් විවේචනය කරමින් තිබීම හා එම විරෝධය මැඬපැවැත්වීමට ආණ්ඩුවට නොහැකි වීමයි.

    ඒ අනුව ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීමටනම් සිදුකළ යුත්තේ සමාජ මාධ්‍ය නිහඩ කරවීමත්, විවිධ පනත් ඉදිරිපත් කරමින් සමස්ත මාධ්‍ය නිහඬ කරවීමත්ය. ඒ අනුව මාධ්‍ය නිදහස ගැන කතා කළ ආණ්ඩුව, මාධ්‍ය නිදහස ඇති කිරීම සඳහා බලයට පැමිණි ආණ්ඩුව විවිධ පනත් ගෙනැවිත් මේ වනවිට මාධ්‍ය නිදහස ඇහිරීම සඳහා විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටියි. එසේම මහජන රැස්වීම්වලදී පවා මාධ්‍ය විවේචනය කිරීමට ආණ්ඩුව කටයුතු කරයි.

    මාධ්‍ය පිළිබඳ හෝ වෙනත් කරුණක් පිළිබඳ විවේචන ඉදිරිපත් කිරීමට ජනපතිට හෝ වෙනත් අයෙකුට ඇති අයිතිය පිළිබඳ අපට ගැටලුවක් නැත. මාධ්‍ය විසින් යමෙකු විවේචනය කරයි නම් මාධ්‍ය විවේචනය කිරීමටද අවස්ථාවක් තිබිය යුතුය.

    නමුත් මාධ්‍ය නිදහස ගැන කතා කළ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ වචනයෙන්ම කියනවානම්, රැහේ එවුන් විවේචනය කරයි නම් එය ගැටලුවකි.  ආණ්ඩුවට මාධ්‍ය මේ තරම් එපා වීමට ප්‍රධාන කරුණ වන්නේ රට මුහුණපා ඇති සත්‍ය තත්ත්වය පිළිබඳ ජනතාවට නිරන්තරයෙන්ම කරුණු අනාවරණය කිරීමයි. මේ සඳහා හොඳම උදාහරණය නම් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහනායක හිමිවරුන් ඇතුළු රටේ බොහෝ පිරිසක් අවදිවීමයි. විශේෂයෙන්ම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වූ යෝජනා පිළිබඳ මාධ්‍ය මගින් මෙන්ම සමාජ මාධ්‍ය මගින් විවිධ අවස්ථාවලදී හෙළිදරව් වූ අතර, එය ආණ්ඩුව පිළිබඳ ප්‍රබල විරෝධයක් ඇතිවීමට බලපෑ හේතුවක් විය.

    ඉදිරියටත් රට මුහුණදෙන භායානක තත්ත්වයන් පිළිබඳ රටට හෙළිදරව් වීම වැළැක්වීම සඳහා එහි පළමු පියවර ලෙස මාධ්‍ය මර්දනයට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී රටට ගැටලු ඇතිකරන, රටේ ස්වාධීනත්වයට ගැටලු ඇති කරන පනත් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ පනත්වල පවතින භයංකර තත්ත්වය ජනතාව අතරට නොයෑම වැළැක්වීමට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වන්නේ මාධ්‍ය නිහඬ කරවීමයි.බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රඥප්ති පනත් කෙටුම්පත රජය තාවකාලිකව හෝ හකුළාගත්තේ ඒ සඳහා සමාජ මාධ්‍ය මෙන්ම රටේ ප්‍රධාන මාධ්‍ය හරහා පනත් කෙටුම්පතේ ඇති භයංකර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමයි.

    ජනාධිපතිවරයා වංචා හා දූෂණ පිළිබඳ කතා කිරිමට නැවත වරක් පටන්ගෙන තිබේ. ආණ්ඩුවට එල්ල වන විවේචන ජනතාවට අමතක කරවීම සඳහා ආණ්ඩුවට ඇති එකම විකල්පය වන්නේ රාජපක්ෂවරුන්ට දූෂණ චෝදනා එල්ල කිරීමයි.  ඒ අනුව නැවත වරක් ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම ආරම්භ කර තිබේ. එහි එක් පියවරක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාත් නැවත වරක් බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිසම හමුවට කැඳවීය.

    නමුත් බැඳුම්කර වංචාව පිළිබඳ ආණ්ඩුව අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. මෑත කාලයේදී සිදුවූ මහා පරිමාණ හොරකම වන බැඳුම්කර වංචාවට සෘජුව වගකිවයුතු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය මාස 06කට හෝ අත්හිටුවීමට කටයුතු කරන්නේ හොරකම සිදුවී බොහෝ කාලයක් ගතවීමෙන් පසුවය. අවසානයේ හෝ පර්පචුවල් සමාගමේ බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමට මහ බැංකුව කටයුතු කිරිම පිළිබඳ ප්‍රශංසාවපළ කරමු.

    මේ සියල්ලෙන්ම පෙනෙන්නේ ළඟ එන පළාත් පාලන මැතිවරණය හරහා වාසියක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කරන ආකාරයයි. ඉදිරියේදී රාජපක්ෂවරුන්ට හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවදුරටත් පළිගැනීම්වලට මුහුණදීමට සිදුවනු ඇත. කෙසේ නමුත් මේ සියල්ලකටම මුහුණදීමට අපට දැන් ශක්තිය තිබේ. ඒ ශක්තිය ලබාදී ඇත්තේ අප වටා සිටින ජනතාවයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදි කර තිබූ ප්‍රකාශයක් ජනතාව අතර තරමක් ප්‍රචලිත විය. ඒ හොරු ඇල්ලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් මාස තුනකට තමන් යටතට දෙන ලෙසයි. මෙහිදී කරුණු දෙකක් පිළිබඳ ඔබට අදහසක්  ලබාදීමට අදහස් කරමි. ඉන් පළමු කරුණ නම් විධායක ජනපති ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීමට සිය බලතල භාවිත කළ ජනාධිපතිවරයා පොලීසිය හා නීතිපති දෙපාර්තමේන්තුව තමන් යටතට පවරාගැනිමට කටයුතු නොකරන්නේ මන්ද යන්නයි. එය හුදෙක්ම කතාවට කළ ප්‍රකාශයක් පමණක් බව මෙයින් පැහැදිලි වෙයි.

    අනෙක් අතින් ජනාධිපතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ඔවුන් චෝදනා කළේ නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය ඔහුට අවශ්‍ය පරිදි යොදවාගනිමින් පාලනය කරන බවයි. එසේ විවේචන එල්ල කළ මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති දෙපාර්තමේන්තුව හා පොලීසිය තමන් යටතට පවරාගැනීමට ඉල්ලීම් කිරීම තමාගේම ප්‍රතිපත්තිවලට එරෙහිවීමකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • ආණ්ඩු විරෝධී සටන ‘විරෝධ ගී’ තුළින්

    පවත්නා ආණ්ඩුවට විකල්පයක් ලෙස තවත් ආණ්ඩුවක් ජනතාව සිය පරමාධිපත්‍ය, එසේත් නැත්නම් ඡන්දය භාවිත කර පත්කර ගන්නේ හෙට දවස වෙනුවෙන් සුබදායක හීන රාශියක් ඇතිවය. එසේ පත්කර ගන්නා ආණ්ඩුව ජනතා අභිලාෂයට පිටින් කටයුතු කරන්නේ නම් එය ජනතා හීන සුණුවිසුණු කර දැමීමකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විකල්පයක් ලෙස වත්මන් යහපාලන ආණ්ඩුව මෙරට ජනතාව බලයට පත්කර ගන්නේ සංවර්ධනය වේගවත් කිරීමට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට හා සිය දරුවන් වෙනුවෙන් යහපත් අනාගතයක් පිළිබඳව සුන්දර සිහින ගොන්නයක් ඇතිවය.

    නමුත්……..

    ඒ සිහින සියල්ලක්ම දැන් බිඳවැටී අවසන්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යෑමට නොහැකි තත්ත්වයකට ආණ්ඩුව පත්ව තිබේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතාකළ ආණ්ඩුව පුංචි ඡන්දය වසර ගණනකින් කල්දමා තිබේ. අධ්‍යාපනයට සියයට 06ක් වෙන්කරන බව පැවසූ ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සකසන්නා සේම නිදහස් සෞඛ්‍යයද කප්පාදු කර තිබේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬනගන සරසවි සිසුන්ට බැටන් පොලු, කඳුළු ගෑස්වලින් දිගින් දිගටම පහර දෙමින් ඔවුන්ව මර්දනය කිරීමට කටයුතු කරයි.

    තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා දසලක්ෂයක් බිහිකිරීමට පැමිණි ආණ්ඩුව, රජයේ සේවකයාගේ රැකියාව පවා අහිමි කළ අවසන්ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පැවැති ආයෝජන කිසිවක් රටට දැන් නැත. ආයෝජකයා එන පයින්ම ආපසු යයි. රාජ්‍ය සම්පත් විදේශයන්ට විකිණීමට කටයුතු කරමින් සිටියි.

    සමාජ සංස්කෘතිය ගැටලුවකට පත්ව අවසන්ය. ආණ්ඩුව පන්සලේ පිංකැටයට අත තබා තිබේ. අනාගතයේදී කොවිලටත්, පල්ලියටත් හැරෙනු ඇත. රටේ ආරක්ෂාව පිළිබඳ ජනතාවට දන් ඇත්තේ චකිතයකි. තිස් වසරක කුරිරි ත්‍රස්තවාදී පිළිලය රටින් අතුගා දැමූ රණවිරුවා දංගෙඩියට රැගෙන යෑමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටියි.

    එහෙත්….

    මේ පිළිබඳව දැන් දැන් ජනතාව ඇස්කන් පියාගෙන බලා සිටින්නේ නැත. ජාතියේ අනාගතය වෙනුවෙන් කෙදිනත් හඬ නැගූ මහා යතිවරයාණන් වහන්සේලා දැන් අවදි වී තිබේ. දිනපතා කොළඹ රත්වන තරමට විරෝධතා පැවැත්වේ. උද්ඝෝෂණ, සත්‍යග්‍රහ, විරෝධතා පෙළපාළි, වැඩවර්ජනය ආණ්ඩුවට මුහුණ පෑමට තිබෙන බලවත් අභියෝගයක් බවට පත්ව තිබේ. මේ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළ කලාව හරහා නව මානයනයකට යොමුකිරීමට අප අදහස් කර තිබේ.

    විරෝධ ගී…..

    බාල, තරුණ, වැඩිහිටි, මහලු සියල්ලන්ම දේශපාලන පක්ෂ, ආගමික, වයස්, ස්ත්‍රීපුරුෂ භේදයකින් තොරව සංගීතයට ආදරය කරති. වත්මන් යහපාලන ආණ්ඩුව ගෙනයනු ලබන ජනතා විරෝධී, දේශපාලනික, ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපන ඇතුළු වෙනත් ඕනෑම කාලීන ගැටලුවක් පිළිබඳව ඔබට නැගෙන සිතුවිලි පුංචි කවියකින් හෝ ගී සංකල්පනාවක් වශයෙන් අප වෙත යොමුකරන්න.

    ඒ අපූරු සංගීතමය නිර්මාණය හරහා ආණ්ඩු විරෝධී සටන අප නව මානයකට යොමුකිරීමට අදහස් කරන අතරම ඔබගේ හැකියාව රටට පෙන්වීමටත් කටයුතු කරන්නෙමු.

    ඔබගේ නිර්මාණය werodagee@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයට හා විරෝධ ගී, අංක 1316, නෙළුම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කරන්න.

  • සංවේදීව උමා ඔය දෙස බලමු

    උමා ඔය සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතිකාවතක් නිර්මාණය වී තිබේ. ඒ උමා ඔය උමගෙහි ඇතිව තිබෙන්නා වූ ජල කාන්දුව හේතුවෙනි. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය. ආරම්භ කිරීම මත මෙහි සියලු දෝෂයන් වත්මන් ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පැවරීමට කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබේ.

    ඒ අනුව උමා ඔයේ සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. උමා ඔය ව්‍යාපෘතිය මුලින්ම 2005 වසරේදී මහින්ද චින්තනයට ඇතුළත් කෙරිණි. ඒ වාරිමාර්ග හා කෘෂි කර්මාන්ත අංශය යටතේය. මහින්ද චින්තයට වාරිමාර්ග හා කෘෂි කර්මාන්ත අංශය පිළිබඳ යොජනා ඉදිරිපත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමයද ප්‍රධාන වශයෙන්ම මැදිහත් විය. මන්දයත් එම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග ප්‍රධාන වශයෙන්ම පාර්ශ්වකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙළ උරුමයත් කටයුතු කළ හෙයිනි.

    අද උමා ඔයට එරෙහිව දැවැන්ත හඬක් නඟන ජනතා විමුක්ති පෙරමුණ මෙම ව්‍යාපෘතියේ ධනාත්මක පැතිකඩ පිළිබඳ හොඳින් දැන සිටියා මෙන්ම, 2005 මහින්ද චින්තනයට එය ඇතුළත් බවද දැනගෙන සිටියේය.

    උමා ඔය ව්‍යාපෘතිය සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ ඉරාන රජය මගිනි. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කළේ පාරිසරික වාර්තා ඇතුළු අනෙකුත් ඇගයීම් වාර්තා  ලබාගනිමින් පසුවය. ව්‍යාපෘතිය ආරම්භ කළද යහපාලන ආණ්ඩුව පත්වීමට මත්තෙන් එහි ඇති වූ ගැටලුවක් මත ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේය.  ඉන්පසුව නැවත වරක් පරිසර වාර්තාවක් ලබාගැනිණි.

    පතලක දෝනාව කපන විට මීටර් ගණනක් දෝනාව කපා එය මුද්‍රා තැබිය යුතුය. ඊළඟ කොටස ආරම්භ කරන්නේ එලෙස මුද්‍රා තැබීමෙන් පසුය. මෙවැනි ආකාරයට ඊළඟ අදිරයට මාරු වීමේදි කැපූ දෝනාව මුද්‍රා නොතැබුවහොත් එය ගිලා බැසීම සාමාන්‍ය තත්ත්වයකි. ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන ගියේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ප්‍රමිතියකට අනුවය. යම් හෙයකින් ගැටලුවක් ඇති වුවහොත් එය සොයා එයට පිළියම් යෙදීමටද අපි කටයුතු කළෙමු. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව උමා ඔය පිළිබඳ කමිටුවක් පත් කෙරිණි. පාඨලී චම්පික, විජිත් විජයමුණි සොයිසා මහතා මෙන්ම එවකට ඌව මහ ඇමතිවරයා වූ හරින් ප්‍රනාන්දු මහතා මෙම කමිටුව නියෝජනය කළහ.

    නැවත වරක් උමා ඔය ආරම්භ කිරීමට අනුමැතිය ලබාදුන්නේ එම කමිටුවය. ඒ අනුව මේ වනවිට උමා ඔය ව්‍යාපෘතියේ 80% ක පමණ වැඩ අවසන් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා පටන් ගත් සියලුම ව්‍යාපෘති මේ ආණ්ඩුවෙන් නැවැත්විණි. එවැනි ඇතැම් ව්‍යාපෘති අද දක්වාම නැවත ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. කොළඹ වරාය නගරය පමණක් අවුරුදු දෙකක් ප්‍රමාද විය.

    එහෙත් පරිසර ප්‍රශ්නයක් තිබෙනවා යැයි සංවේදී ලෙස කතා කරන ආණ්ඩුව උමා ඔය නැවතත් සති දෙක තුනකින් පටන් ගත්තේය. මෙම ව්‍යාපෘතියෙන් ජනතාවට සෙත සැලසෙන බව ආණ්ඩුව දනියි. යම් හෙයකින් මෙම ව්‍යාපෘතියේ ගැටලුවක් ඇති නොවුණේ නම් ඒ සියලු ධනාත්මක තත්ත්වයන් තම ගිණුමට බැර කරගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. නමුත් ගැටලුවක් ඇති වූ විට එය රාජපක්ෂ ගිණුමට බැර කර අත පිසදාගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

    උමා ඔය ව්‍යාපෘතිය වෙල්ලස්සේ ජනතාවට වැදගත් මෙන්ම අවශ්‍යම ව්‍යාපෘතියකි. එමෙන්ම එයින් හම්බන්තොට ජනතාවටද සෙත සැලසෙයි. උමා ඔය මූලික පරීක්ෂණ සිදුකරන කාලසීමාවේදී මහවැලි අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. උමා ඔය ආරම්භ කරන සමයේ වාරිමාර්ග ඇමතිවරයා වූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. පරිසර ඇමති ලෙස කටයුතු කළේ පාඨලී චම්පික රණවක මහතාය.

    උමා ඔය දෙවැනි වතාවට යළි ආරම්භ කිරිමේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, පාඨලි චම්පික රණවක මහතාත් වත්මන් ආණ්ඩුවේය. එමෙන්ම එදා ඇමතිවරයා ලෙස හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජනපතිවරයාය. එවැනි තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ ව්‍යාපෘතිය නවත්වා ඇවුරුදු දෙකක  පමණ කාලයක් කල්මරමින් තිබියදී උමා ඔය කඩිනමින් පටන්ගෙන මහින්ද රාජපක්ෂ මහතාට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේද? උමාඔයෙන් වැරැද්දක් වී තිබේ නම් ඒ සඳහා 80% ක් වගකිවයුතු වන්නේ වත්මන් ආණ්ඩුවයි. මන්ද යත් අප දෙවැනි වතාවට පරිසර වාර්තාවක් ලබාගැනීම සඳහා තාවකාලිකව නවතා තිබූ ව්‍යාපෘතිය පරිසර වාර්තාවක් ලබාගෙන නැවත ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව නිසාවෙනි.

    අප අදත් සඳහන් කරන්නේ උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට යා යුතු බවයි. නමුත් පරිසරයට සිදුවන හානිය අවම විය යුතුවා මෙන්ම ජනතාවට ප්‍රමාණවත් වන්දියක්ද ලබාදිය යුතු බවයි.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කිරීමේදීද මෙවැනි විශාල ජනතා විරෝධයක් පැමිණියේය. නමුත් අප එය කිසිම ආකාරයකින් දේශපාලන ගැටලුවක් කරගත්තේ නැත. එය කුමන හෝ පාර්ශ්වයකට පටවා ඇඟ බේරාගැනීමට අපටද අවස්ථාව තිබිණි. නමුත් අපි ජනතාව සමග සාකච්ඡා කර ඒ ගැටලු විසඳා ව්‍යපෘතිය ඉරියට ගෙනගියෙමු. නොරොච්චෝලේ නිසා අද සමස්ත රටම ප්‍රතිලාභ ලබයි. අද නොරොච්චෝලේ නැතිනම් මේ රටේ දැවැන්ත විදුලි හා බලශක්ති අර්බුදයක් ආරම්භ වී අවසන්ය.

    වර්තමානයේදී ආණ්ඩුව ශ්‍රී ලංකාවේ සිටින උගතුන් සහ බුද්ධිමතුන් පිළිබඳ තැකීමක් නොකර කටයුතු කරයි. යම් ගැටලුවක් ඇති වූ විට කරන්නේ එය විසඳාගැනීම සඳහා විදෙස් රටවලින් විශේෂඥයන් ගෙන ඒමයි. නමුත් මේ ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය තරම් විශේඥයන් සිටින අතර, ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් පිළිබඳ විශ්වාසය තැබීමයි. දේශීය විශ්වවිද්‍යාලවල ඒ ඒ අංශ සඳහා විශේෂීකරණය වූ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් මේ ගැටලුව අවම කරගත හැකි බව පවසා තිබේ.  ආණ්ඩුව උමා ඔය ගැටලුව තවත් දේශපාලනික කාරණයක් කර නොගෙන, එහි ඇති ආර්ථික වටිනාකම පිළිබඳ අවධානය යොමුකර පාරිසරික සංවේදීතාවන් හඳුනාගෙන කටයුතු කිරීම වැදගත්ය.

    ලබන සතියේ යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!