• පක්ෂ හතරේම අර්බුද

    ආණ්ඩුව නිල වශයෙන් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමත්ය. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන නොනිල පක්ෂ දෙක වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මේ පාර්ශ්ව හතරේම මේ වනවිට විවිධ ගැටලු පැන නැගී ඇත.  ඒ අනුව එම ගැටලු විසඳාගන්නා තෙක්  ඔවුහු එකමුතුව නීති විරෝධී අයුරින් මැතිවරණ කළ දමමින් සිටිති.

    මහින්ද රාජපක්ෂ රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීම සඳහා සිය ඡන්ද භාවිත කරමින් සිටියි. පැවැති මහින්ද රජජපක්ෂ ආණ්ඩුව නම් නිසි කලට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ අතර, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නමට පමණක් යහපාලන ආණ්ඩුව කුමක් කීවද, මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී මැතිවරණයකට ගියේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන් පිළිබඳ ජනතාවට ඇති විශ්වාසය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීම වෙනුවෙනි.

    ගත වූ වසර දෙකක කාලය පිළිබඳ ඔබ අවධානය යොමු කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකදීම ආණ්ඩුවට අණපනත් සම්මත කරගැනීමට සිය දායක්තවය ලබාදීමට කටයුතු කළේය. සිදු වූවා යැයි චෝදනා නගන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවැත්වීමට අවසරය දීම, පළාත් පාලන හා පළාත් සභා ඡන්ද කල් දැමීමට අවසරය දීම ඇතුළු නොයෙකුත් අහිතකර පනත්වලට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහාය දුන්නේය.

    මෙවැනිම තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන්ද ඉදිරියේදී පැන නැගී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී රටට අහිතකර කරුණු තිබුණද, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දය ලබාගනිමින් එය සම්මත කරගැනීමට කටයුතු කරනු ඇත. අනෙක් අතින් එම පක්ෂ දෙකේ සහාය ලබාගැනීමට නම් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙත යොමුවීමට සිදු වනු ඇත.

    යම් පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නම් ඒ සඳහා ආණ්ඩුවට සහාය දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයයි. පළාත් සභා ඡන්ද විමසීමට අදාළ පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යව තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය පනතට පක්ෂව ඡන්ද භාවිත කළේය. යම් හෙයකින් ඔවුන් මෙම පනතට විරෝධය දැක්වූවා නම් පළාත් පාලන ඡන්ද විමසීමේ පනත  තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට අවස්ථාවක් රජයට නොලැබේ.  අනෙක් අතින් මෙහිදී පාර්ලිමේන්තුව පැය දෙක හමාරක පමණ කාලයක් දිගු කළ අතර, එය යහපාලනයදැයි ප්‍රශ්න කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

    එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කොටසත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් මේ වනවිට පක්ෂ වශයෙන් ගත් කල අභ්‍යන්තරික ලෙස ගැටලු රාශියකට මුහුණදී තිබේ.  ජනතා විමුක්ති  පෙරමුණේ බිම් මට්ටම අනුර කුමාර සහෝදරයාට විරෝධය දක්වන්නේ ඔහු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන හෙයිනි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විරුද්ධ පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහු අපොහොසත් වී ඇති හෙයිනි.

    මහින්ද රාජපක්ෂ සමයේදී මෙන්ම මේ වනවිටත්  උතුරේ සංවර්ධනයක් සිදු නොවීම දමිළ ජනතාව ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත්වීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස බලය තහවුරු කරගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට සටනක නිරත වෙමින් සිටියි. ඒ හේතුවෙන් පක්ෂය අර්බුද රැසකට මුහුණදී ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පක්ෂයෙන් ඉවත් වෙමින් සිටිති. එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පාක්ෂිකයන් නොමැත.

    මේ වනවිට මේ පක්ෂ හතරම බෝඩ් ලෑලි සඳහා පමණක් සීමා වූ, නමට පමණක් නායකයන් සිටින පක්ෂ බවට පත්ව ඇත. අප නිකමට මේ දිනවල දේශපාලන වේදිකාව පිළිබඳ අවධානය යොමු කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාට බනියි. එක්සත් ජාතික පක්ෂයේ ඇමති එම පක්ෂයේ මන්ත්‍රීට බනියි. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ටත් බනිති.

    මේ සියල්ලන්ගේම පොදු කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බනිමින් තම නොහැකියාව වසාගැනීමට කටයුතු කිරීමයි. විවිධ පාර්ශ්වයන්ට චෝදනා කරමින් සිටින ආණ්ඩුවට කොහොමත් ජනතාව වෙනුවෙන් හෝ ආර්ථිකය වෙනුවෙන් කටයුතු කිරීමට වේලාවක් නැත.

    ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය මිලදී ගැනීම

    පසුගිය දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියෙමි. සුපුරුදු පරිදි මම සෑම වර්ෂයකදීම මෙන් එම ප්‍රදර්ශනය නැරඹීමටත්, අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමටත් කටයුතු කරමි. කෙසේ වෙතත් මම පොත් ප්‍රදර්ශනයට ගොස් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු විවේචන ඉදිරිපත් කර තිබිණි.

    මම එය මිලදී ගත්තේ පොත්වලට ඇති ආසාව නිසාත් තවත් පොතක් ලෙස කියවා යම්කිසි දැනුමක් ලබාගැනීමේත් අපේක්ෂාවෙනි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මම නීති විභාගයට මුහුණදුන්නේ වායු සමනය කළ කාමරයක සිට බවයි. මට ඇත්තේ ව්‍යාජ උපාධියක් බව පැවසූ ඔහු මගේ සහෝදරයන්ගේ අධ්‍යාපනය පිළිබඳ පවා මඩ ගැසීය.

    ජනාධිපති තාත්තා ග්‍රන්ථය රචනා කළේ වෙනත් අයෙකු බවත්, ඔහුට මුදල් නොගෙවූ බවටත් මේ වනවිට කතාවක් පැවතියද, එම ග්‍රන්ථය කියවීම සඳහා එය බාධාවක් නොවන අතරම, එය මට කිසිසේත් අදාළද නොවේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • බැඳුම්කර කොමිසමත් යහපාලන නාටකයක් වෙන හැඩ

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පුද්ගලයන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමේදී සිදුවන ක්‍රියාවලියත්, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන්  ක්‍රියාමාර්ග ගැනීමත් අතර වෙනසක් තිබෙන බව දැන් රටටම හෙළි වී අවසන්ය. ඒ බැඳුම්කර වංචාව සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමෙහි සාක්ෂි ලබාදීම සඳහා අර්ජුන් ඇලෝසියස්ට අවශ්‍යතාවක් නොමැති බව කොමිසම පැවසීමත් සමගිනි.

    බැදුම්කර වංචාව සිදු වූ විට රටේ පවතින සාමාන්‍ය නීතිය අනුව උසාවියේ නඩුවක් ගොනු කර, නීතිපති උපදෙස් අනුව පරීක්ෂණ කරගෙන ගියේ නම් මෙවැනි ගැටලුවක් වන්නේ නැත.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ නීතිමය පසුබිම නොදැන ජනපති කොමිසම පත්කළා විය නොහැකිය. ජනාධිපති කොමිසමකට සාක්ෂි දීම සඳහා බලකළ නොහැකි බව ඔවුහු හොඳින්ම දනිති.

    නමුත් මේ බව දැන දැනත් අප කැඳවූ සෑම කොමිසමකටම සාක්ෂි ලබාදීමට අපි කටයුතු කළෙමු. අප කොමිසම් හමුවට ගොස් සාක්ෂි ලබාදෙන විට පවා අප විවේචනය කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණද අපට එරෙහිව කතා කළේය. මේ වනවිට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසමෙන් වාර්තා වන තොරතුරු පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණද නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි.

    හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවා කොමිසම් හමුවට ගොස් සාක්ෂි ලබාදීමට කටයුතු කළේ ඒ සඳහා උපරිම සහාය දක්වමින් අපගේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහාය. අර්ජුන් ඇලෝසියස් කොමිසම තුළ සාක්ෂි ලබාදීම ප්‍රතික්ෂේප කිරීම තුළම යම්කිසි ආකාරයක ගැටලුවක් ඇති බව මැනවින් පැහැදිලි වෙයි.  ඔවුන් බැඳුම්කර තුළින් වංචාවක් නොකළා නම් විනිවිදව කොමිසමට ගොස් සාක්ෂි ලබාදිය යුතුව තිබිණි. මේ සිල්ලම දැන් ජනතාවට හොඳින් වැටහී ඇත.

    මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගෙබණ්ඩාර මහතා පසුගිය දිනෙක පුත්තලමේදී කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කිරීම වටී. ඔහු සඳහන් කළේ බැඳුම්කර පිළිබඳ කරන විමර්ශනද අවසානයේදී මිලේනියම් සිටි විමර්ශන මෙන් කිසිදු අධිකරණ ක්‍රියාවලියකින් හෝ නඩු විභාගයකින් තොරව අවසන් වනු ඇති බවයි.

    ඒ අනුව බළලා මල්ලෙන් එළියට පැමිණ තිබේ. බැඳුම්කර නාටකයද තවත් නොබෝ දිනකින්ම අවසන් වනු ඇත. අනෙක් අතින් ආණ්ඩුවේ බලවත්ම පිරිස් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වීම සඳහා අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත්තාදැයි සාධාරණ සැකයක් බුද්ධිමත් ජනතාව හමුවේ දැන් පවතී.

    ස්වාධීනව කටයුතු කළ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා එම තනතුරින් ඉවත් කළේ නීතිපතිට හා  නඩුකාරවරුන්ට සිය රාජකාරි සඳහා බාධා නොකිරීම නිසාය. එමෙන්ම හම්බන්තොට වරාය ගිවිසුමට එකඟ නොවීම හේතුවෙන් හිටපු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම ධුරයෙන් ඉවත් කොට ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස පත් කිරීමට රජය කටයුතු කළේය.

    නමුත් ආගමික නායකයන්, විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා විවේචනය කරන මෙන්ම අධිකරණ ක්ෂේත්‍රය විවේචනය කරන රන්ජන් රාමනායක මහතා පිළිබඳ ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් නිහඬව සිටීම විමතියට කරුණකි. ඒ අනුව රන්ජන් රාමනායක මහතා මේ කරන්නේ ඉහළින් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීමක්දැයි අපට ගැටලුවක් තිබේ. අනෙක් අතින් අනුන් විවේචනය කිරීමට මත්තෙන් රන්ජන් රාමනායක මහතා කළ යුතුව ඇත්තේ සිය පක්ෂය තුළ පවතින දූෂණ අක්‍රමිකතා පිළිබඳ සොය බැලීමය.

    විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (19දා) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ලිපිය ලියන අවස්ථාවේදී ආණ්ඩුව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හැරීමට තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. ඒ සඳහා හේතු වී ඇත්තේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර, නැවත ජනමත විචාරණයකට යා යුතු වීමය.

    ආණ්ඩුව පනත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට කටයුතු කළද, ජනමත විචාරණයකට ඔවුන් යොමු වනවා නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුවට පරාජයට පත්වීමට සිදුවන බව ඔවුන් දන්නා නිසා දැන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හැරීමට තීරණය කර ඇති බව පැහැදිලිය.

    මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් නැවත වරක් සංශෝධන එකතු කිරීමට රජය කටයුතු කරමින් තිබේ. ඒ අනුව තවදුරටත් මැතිවරණවලට බියෙන් මැතිවරණය නොපවත්වන ආණ්ඩුව එය කල්දැමීමට කටයුතු කරමින් සිටින බව නම් පැහැදිලිය. එමෙන්ම මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකාවට පිටත්වීමට මත්තෙන් ප්‍රකාශ කිරීමත් සමග පැහැදිලි වන්නේ මැතිවරණය තවදුටරත් කල් දමනු ඇති බවයි.

    ආණ්ඩුව බලයට පැමිණියේ මහින්ද රාජපක්ෂ රජය සමයේ ප්‍රජාත්න්ත්‍රවාදය නොමැති බව කියමිනි. නමුත් මහින්ද රජපක්ෂ ආණ්ඩුව කිසිම කලක මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේය. උතුරේ පවා මැතිවරණ පැවැත්වීමට එවකට පැවැති රජය කටයුතු කළේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදව ලබාදීම වෙනුවෙනි. අනෙක් අතින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට පවා ගියේ තවත් වසර දෙකක් ඉතිරිව තිබියදීය. ඒ සඳහා බොරු චෝදනා නගන ආණ්ඩුවට වසර දෙකක් ගත වී හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබීම ගැටලුවට කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • රාජ්‍ය සේවකයනි ප්‍රවේශමෙන්!

    “ඇල්ලේ ගුණවංශ හිමිට ෆොන්සේකා කළ ප්‍රකාශය හෙළා දකිමි”

    පසුගිය සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූ කරුණක් බවට පත්වූයේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාටත්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාටත් ලබාදුන් නඩු තීන්දුවයි.

    කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව කිසිසේත්ම විවේචනය නොකරමි. මෙම නඩුවේදී බොහෝ අවස්ථාවලදී මට නීතිඥයෙකු ලෙස් එක්වීමට අවස්ථාව ලැබුණ අතරම, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විටත් මම අධිකරණයේ සිටියෙමි.

    එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානු ලැබුවේ පොලීසිය හා රජය විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුය.

    එම කරුණු අනුවත්, ලබාදුන් නඩු තීන්දුව අනුවත් මේ වන විට රාජ්‍ය සේවකයන් යම්කිසි තැතිගැනීමකින් සිටින බව නම් පැහැදිලිය. අනෙක් අතින් වර්තමානයේදී නීතිරීති නොසලකා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට අනාගතයේදී අත්වන්නේද මෙම ඉරණමම බව මතකයේ තබාගත යුතු වෙයි.

    වර්තමානයේදී රජය යටතේ එසේ කටයුතු කරන අවස්ථා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු කරන්නෙමු. ප්‍රධානම කරුණ වන්නේ හම්බන්තොට කර්මාන්ත කලාපය වෙනුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමයි. මෙහිදී සම්පූර්ණයෙන්ම රටේ නීතියට පටහැනිව රාජ්‍ය නිලධාරීන් මෙන්ම දේශපාලකයන් කටයුතු කරමින් සිටින අතර, මේවා අනාගතයේදී අධිකරණයට යනු ඇත.

    හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලැබුණ මුදලින් කොටසක් අග්‍රාමාත්‍යවරයා විසින්  කපිලවස්තුපුරය සංවර්ධනය කිරීමට වැය කළේය. (බෞද්ධයෙකු ලෙස එසේ මුදල් වෙන්කිරීම ගැන ගැටලුවක් නොමැත. නමුත් ගැටලුව වන්නේ නියමිත ක්‍රමවේදයට පටහැනිව එය සිදුකිරීමයි) ඒ සඳහා අත්සන් කළ රාජ්‍ය නිලධාරියාට මෙන්ම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන පරිදි හම්බන්තොට වරාය බදු දීමෙන් ලැබෙන මුදල් වරාය සේවකයන්ට බෝනස් ලබාදීම වෙනුවෙන් අත්සන් කිරීමට නියමිත රාජ්‍ය නිලධාරියාටද අනාගතයේදී සිදුවන්නේ මේ දේමය.

    මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගත් මුදල් යොදාගෙන රජයේ ඉහළම සේවකයෙකු පොතක් එළිදක්වා තිබුණි. මෙයත් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමකි. එයද ඉදිරියේදී අධිකරණයක් හමුවේ විසඳෙනු ඇත.

    මධ්‍යම අධිවේගය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් ලබාදීමේදී රජයේ ටෙන්ඩර් ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට ඉදිරියේදී සිදුවන්නේ එම ඉරණමමය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා විරෝධය දක්වා ඒ සඳහා සිය නිරීක්ෂණ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබියදී ඔහුගේ නිරීක්ෂණ පවා නොතකමින් මෙසේ මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ලබාදී තිබුණි.

    අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව ඉදිරියට දමා ගනිමින් ආණ්ඩුවෙන්  විපක්ෂයට යෑමට නියමිත ඇතැම් පුද්ගලයන්  බියවැද්දවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. කෙසේවෙතත් ජනතාව බලාපොරොත්තු වන පෙරළිය මේ කිසිවකින් නැවැත්විය නොහැක. මෙම පිරිස නුදුරේදීම විපක්ෂයට එක්වනු ඇත.

    ශ්‍රී ලංකාව බැට කෑ තිස් අවුරුදු යුද්ධයෙන් රට බේරාගැනීම වෙනුවෙන් රණවිරුවන් සුවිශේෂී මෙහෙයක් කළේය. ඒ සඳහා එවකට ජනපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා සේනාධිනායකයා වශයෙන් නායකත්වය ලබාදුන් අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සියලු කටයුතු සම්බන්ධීකරණය කළේය. එවකට සිටි හමුදාපතිවරුන් සිය රණවිරුවන් නිසියාකාරව මෙහෙයවමින් අවසානයේ යුද්ධය ජය ගත්තේය.

    යුද්ධය ජය ගැනීමත් සමග කොටි ඩයස්පෝරාවේ මගපෙන්වීම අනුව නොයෙක් රටවල් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්නට විය. මෙයින් රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට රජය කටයුතු කළ යුතුය. ඒ රණවිරුවන් සිය ජීවිතය පවා කැප කරමින් උතුරත් දකුණත් යා කරමින් 30 වසරක සාපය අවසන් කළ හෙයිනි.

    මේ සා කැපවීමක් කළ රණවිරුවන්ට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යුද අපරාධ චෝදනා එල්ල කරන විට රජය පාර්ශ්වයෙන් ඒවා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට සිදුකළේ එවකට සිටි යුද හමුදාපතිවරයා රණවිරුවන් පාවාදීමය.

    හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල වන විට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළේ ඔහු ආරක්ෂා කරනවා වෙනුවට ඔහු  අපරාධ කළ බවට ප්‍රකාශ කිරීමය.  මෙය කුමන ප්‍රතිලාභ අපේක්ෂාවන් කළ ප්‍රකාශයක්ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

    මේ ප්‍රකාශයත් සමගින් දෙමළ ඩයස්පෝරාව නැවතත් ක්‍රියාත්මක වී තිබේ. යුද්ධය කාල සීමාවේදී යුද හමුදාපති වශයෙන් ඔහු කළ මෙම අසත්‍ය ප්‍රකාශය බොහෝදෙනෙකු විශ්වාස කරනු ඇත. එය රටට ඉතාමත් අහිතකරය.

    සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය රජයේ ස්ථාවරය නොවන බවට ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම ගැටලුව අවසන් නොවනු ඇත. කළයුතු වන්නේ ඔහු කළ මෙම ප්‍රකාශය ඔහු ලවාම නිවැරදි කිරීමය.

    මේ අතර ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූ රට වෙනුවෙන් සිය සේවය නොපිරිහෙළා ඉටුකරන ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේට පවා අපහාස කිරීමට ඔහු කටයුතු කළේය. බෞද්ධයෙකු වශයෙන් ස්වාමීන් වහන්සේනමකට ඔහු කතා කරන ආකාරයක බලා සිටීමට පවා නොහැකිය. ආණ්ඩුව අද බුදුදහමටත්, බුද්ධ චීවරයටත් ලබාදී  ඇති තැන මෙයයි.

    සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයකින් වරදකරු වීමෙන් අනතුරුව ඔහුට බන්ධනාගාරගත වීමට සිදුවිය. මෙහිදී ඒ සඳහා විරෝධය පළ කළ ස්වාමීන් වහන්සේලා අතර ඉදිරියෙන්ම ඇල්ලේ ගුණවංශ හිමි සිටියහ. උන්වහන්සේ එවකට සිටි ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවා මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කිරීමට කටයුතු කළහ. එසේම මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අසාධ්‍යව සිටි ෆොන්සේකා මහතා වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහුට සෙත්පැතූ හිමිවරුන් අතර ඉදිරියෙන්ම ඇල්ලේ ගුණවංශ හිමි සිටියහ. මෙවැනි ස්වාමීන් වහන්සේ නමකට ෆොන්සේකා මහතා ද්වේශ සහගතව කළ ප්‍රකාශය තරයේ හෙළා දැකීමටත් මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • ශ්‍රීලනිප 66 වැනි සංවත්සරය හා උතුරෙන් ආණ්ඩුවට ලැබුණු රතු එළිය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්රය ඉකුත් ඉරිදා දිනයේදී කැම්බල් පිටියේදී පැවැත්විණි. මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක් නොවීමට සාමූහික තීරණයක් ගනු ලැබිණි.

    ඒ සඳහා කුමන හේතු බලපා ඇතිදැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම රටේ ජනතාවට දැනගැනීමට සැලැස්වීම මාගේ යුතුකමක් ලෙස දකිමි. මූලිකම කරුණ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති පාවාදෙමින්  පක්ෂ ප්‍රතිපත්ති කඩාදමමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය එක්සත් ජාතික පක්ෂයට පාවාදීමෙන් පැවැත්වෙන සම්මේලනයකට එක්වීමට අපට හැකියාවක් නොමැත.

    මේ වනවිට පක්ෂය ආරම්භ කළ බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසිනි.

    සම්මුතිවාදී ආණ්ඩුවට තමන් එක්වූයේ පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කරන කරුණකි. එසේ නම් බිහිකළ සම්මුතිවාදී ආණ්ඩුවේ සහජීවනයක් නොමැත. යම් හෙයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් නොවූවා නම් එක්සත් ජාතික පාක්ෂිකයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට තලා පෙළා දැමීමට කටයුතු කරයිද යන්න මේ ප්‍රකාශ තුළින් මතුවන ගැටලුවකි.

    එසේ පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීමට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති කණ්ඩායම මේ වනවිට පක්ෂයේ කොඳු නාරටිය බවට පත්ව ඇති සමෘද්ධි නිලධාරීන්ට හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි කර තිබේ.

    මේ  පිළිබඳ ජනතාවට යම් පහැදිලි අවබෝධයක් ලබාදිය යුතුය. පසුගියදා සම්ම්ත කළ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතට අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙකදී අදාළ කොට්ඨාසයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අයට එම කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොවේ.

    මේ වනවිට එසේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 420 ක් පමණ සිටින බවට මාධ්‍ය මගින් අනාවරණය වී ඇත. මේ මන්ත්‍රීවරුන් සියල්ලන්ටම ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට අවසථාව අහිමි වනු ඇත.

    මේ මන්ත්‍රීවරුන් 420 අතරින් බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමෘද්ධි නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ට මැතිවරණවලට ඉදිරිපත් වීමට අවස්ථාව අහිමි කිරීම නිසා වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පාක්ෂිකයන්ටය.

    ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට එක්වූ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පාක්ෂිකයන් ආරක්ෂා කළේ මේ අයුරිනි.

    නිදහස් පක්ෂය කැම්බල් පිටියේදී 66 වැනි සංවත්සරය සමරන විට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සාර්ථකව දකුණු පළාතේ ජනහමු පවත්වමින් සිටියේය. මේ සඳහා ජනතාවගේ ඇති දැඩි උනන්දුව එම ජනහමුවලට එක්වූ මට පෞද්ගලිකව දැකගැනීමට ලැබිණි.

    කෙසේ වෙතත් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට තවමත් තීරණයක් ගෙන නොමැත. නමුත් මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂය පුළුල් සන්ධානයක් නිර්මාණය කරන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහාය  ලැබෙනු ඇත. මේ ලිපිය ලියන විටත් අප හා සම්බන්ධ වීමට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරු සාකච්ඡා පවත්විමින් සිටිති. ලබන සතියේදී අපි දේශපාලන පෙරළියක් බලාපොරොත්තුවෙන් සිටිමු.

    ආණ්ඩුව පනත් ඉදිරිපත් කිරීම හා ඒවාට සංශෝධන එකතු කරන ආකාරය කොතරම් දුරට පාර්ලිමේන්තු සම්ප්‍රදායට, ව්‍යවස්ථාවට පටහැනිදැයි ඔබට මීට ඉහතදී අපි දැනුවත් කළෙමු.

    මෙවැනි ආකාරයට, ව්‍යවස්ථාවට අනුකූල නොවන ලෙස කටයුතු කරන ආණ්ඩුවට උතුරත්, දකුණත් එකට එක්ව දැන් පිළිතුරු ලබාදීම ආරම්භ කර තිබේ. ඒ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළාත් සභා තුළ පරාජයට පත් වීම හේතුවෙනි.

    මෙහිදී උතුරේදී එම පනත් කෙටුම්පත පරාජයට පත්වීමෙන් ආණ්ඩුවට දුන් රතු එළිය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය. වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා උතුරේ ජනතාව දැඩි කැපවීමක් කළ බව පැහැදිලි කරුණකි. අද වනවිට උතුරේ ජනතාව නියෝජනය කරන පළාත් සභාවේ ඒ ජනමතය වෙනස් වෙමින් යන බව පෙනෙන්නට ඇති බවට මෙය හොඳම උදාහරණයයි. දකුණේ තත්ත්වය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මේ අතර නේපාලයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 77 ක ආධාරයක් ලබාදුන් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දුන්නේය.

    බෞද්ධයන් ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් සහාය දැක්වීම ගැන අපට ගැටලුවක් නොමැත. නමුත් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ ගංවතුර තත්ත්වයෙන් මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම, නියං තත්ත්වයන් යටතේ ගැටලුවට පත්ව ඇති ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලබා නොදීමට රජය අපොහොසත් වී ඇති අවස්ථාවක නේපාල ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට පැමිණීමයි.

    ආණ්ඩුව ප්‍රදර්ශනය සඳහා වැඩ කරද්දීත්, නිවාස අමාත්‍යවරයා හම්බන්තොට සිටියදීත් ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් අපි තවදුරටත් නිහඬව සේවය කරමින් සිටිමු. එහි  තවත් එක් පියවරක් ලෙස කිරම ප්‍රදේශයේදී ගංවතුර හේතුවෙන් විපතට පත් පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර එය බාරදීමට අපට හැකියාව ලැබිණි. ගමේ ජනතාවගේ මෙන්ම රටේ ජනතාවගේ එකතු වීමෙන් මේ දේ කිරීමට හැකියාව ලැබිණි.

    ලබන සතියේදී හමුවෙමු…

    සුබ අනාගතයක්…