• ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මේ හොඳම කාලයයි

    පසුගිය සතියේදී කුරහන් සුවඳ තීරු ලිපිය බලාපොරොත්තුවෙන් සිටි ඔබට එය ලබාදීමට නොහැකි වීම පිළිබඳ මුලින්ම මා සමාව අයැද සිටීමට මෙම සතියේදී ලිපිය ලිවීමට ආරම්භ වන අවස්ථාව, අවස්ථාවක් ලෙස යොදාගනිමි. කෙසේ වෙතත් එය මාගේ පෞද්ගලික කරුණක් නිසා සිදු නොවීය. රට නියෝජනය කිරීම සඳහා රුසියාවේ පැවැති ලෝක තරුණ සමුළුවට එක්ව සිටි හෙයින් තීරු ලිපිය ලිවීමට අවස්ථාක් නොලැබිණි.

    ලෝක තරුණ සමුළුවේදී අප ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ජත්‍යන්තරයට පැවසීමට අවස්ථාවක් කරගත්තේ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් අවශ්‍ය පෙනී සිටීම සිදු කරමිනි. මෙහිදී ජාතික සම්පත් විකිණීම, ආණ්ඩුව විසින් පොලීසිය යොදවා විරෝධතාකරුවන්ට කරන මර්දනය, ආණ්ඩුවේ ඇතැම් අදූරදර්ශී පිළිවෙත් හේතුවෙන් ජීවන වියදමේ සිදුවන වර්ධනයත්, එය පාලනය කිරීමට කටයුතු නොකිරීමත් පිළිබඳ ලෝකයා දැනුවත් කිරීමට කටයුතු කළෙමි.

    මේ අතර ශ්‍රී ලංකාවේ සයිටම් විරෝධය රුසියාවේදීත් ඉස්මතු විය. ඒ එහිදී සයිටම් ආයතනයට, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයටත් විරෝධය දක්වමින් දැවැන්ත පෙත්සමකට අත්සන් ගැනීම හේතුවෙනි.

    රුසියාවෙන් පැමිණ ගත වූ කාලසීමාව අතිශය කාර්යබහුල කාලසීමාවක් බවට පත්විණි. එසේම ඊයේ දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමටද සිදුවිය. ඒ රාජ්‍ය සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප කළ විරෝධතාව රාජ්‍ය සම්පත් විනාශ කිරීමක් බවට බොරු චෝදනා ගොනු කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවට පෙනී සිටීම වෙනුවෙනි.

    මෙහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් 31 ක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, එක් අයෙකුට සුවිශේෂී හේතු මත ඇප ලැබිණි. පසුගිය නඩු විභාගයේදී අට දෙනෙකුට ඇප ලැබිණි. මේ සම්බන්ධයෙන් චෝදනා ගොනුකර ඇත්තේ මා ඇතුළු පස් දෙනෙකුට පමණි. ආණ්ඩුව රටේ නීති පද්ධතිය කොතරම් දුරකට පාලනය කරනවාද යන වග එයින්ම පෙනෙයි. අනෙක් අතින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පිරිස්වල පවුල් බොහෝමයකට විවිධ ගැටලු පැමිණ තිබේ.

    මේ සියල්ලන්ගේම ප්‍රශ්න සඳහා මැදිහත්ව කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටියි. ලබන නඩු වාරයේදී හෝ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පිරිස වෙනුවෙන් ඇප ලබාගැනීමට අප හැකි තරම් උත්සාහ ගන්නා බව ජනතාවට ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    අප රගර් ක්‍රීඩාව තුළ නිරතව සිටියද තරුණයෙකු ලෙස සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳවම කැක්කුමක් තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩාව බවට පත්ව ඇති ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ ඇති වී තිබෙන ඛේදනීය තත්ත්වය පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝනය කළ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් විශ්‍රම ගැනීමෙන් පසු මෑත වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවට තරග ජයග්‍රහණ කිරීමට නොහැකි වී තිබේ.

    යම් රටක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් විශ්‍රාම ගියවිට ඔවුන් නිසා නිර්මාණය වූ හිඩැස පිරවීමට කාලයක් ගතවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ශ්‍රී ලංකාවේ තත්ත්වයම ඉන්දියාවට බලපා තිබිණි. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය එය නිවැරදිව කළමනාකරණය කරමින් ගැටලුව අවසන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදු නොවූයේ මෙයයි.

    මේ සඳහා ක්‍රිකට් පරිපාලනය වෙත සෘජුව ඇඟිල්ල දිගු කිරීම කිසිවෙකුට වැළැක්විය නොහැකි තත්ත්වයකි. ක්‍රීඩා පරිපාලනය මෙන්ම ක්‍රීඩකයන්ද එයට වගකිව යුතු වෙයි. එකම ආකාරයක වරදක් එකම ලෙසකින් දිගටම සිදු වේ නම්, ක්‍රීඩකයන් අතින්ද යම් වරදක් සිදුව ඇති බව පෙනී යයි. අනෙක් අතින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඇතැම් පාර්ශ්වයන් කරන විවිධ චෝදනා පිළබඳවද පරීක්ෂණයක් කළ යුතු වෙයි.

    මෙහිදී අවධානය යොමුකළ යුතු ප්‍රධාන කරුණක් වන්නේ ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ  ප්‍රකාශයන්ය. ඔහු පවසන්නේ යහපාලනය තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ගිය බවයි. මේ අතර ත්‍රස්තවාදයෙන් බැටකමින් සිටින පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කළ කැපවීම අගය කළ යුතුය. 2009 වසරේදී පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලංකාව නැවතත් පාකිස්තානයට යන්නේ නම් එය ජාත්‍යන්තරයට දෙන හොඳ ආදර්ශයකි.

    කුරහන් සුවඳ තීරු ලිපිය හරහා ඔබ දිගින් දිගටම සම්බන්ධ වී සිටියා නම් එක් අවස්ථාවක මා සඳහන් කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වරින් වර ඒකාබද්ධ විපක්ෂයට එක්වෙනු ඇති බවයි. එය දැන් යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. අරුන්දික ප්‍රනාන්දු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් පසුව දැන් ඩුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තිබේ.

    තවදුරටත් මෙම පැමිණීම ඉදිරියේදී සිදුවනු ඇත. එක්වරම සියල්ලන්ම පැමිණෙනවාට වඩා ජනතාවට දැනෙන්නේ වරින් වර ආණ්ඩුවෙන් පුද්ගලයන් ඉවත්වීමය. අනෙක් අතින් රට බෙදීම සඳහා ව්‍යවස්ථාවක් සකස් කරන අවස්ථාවේදී ආණඩුවෙන් ඉවත් වී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මෙය හොඳම අවස්ථාවක් වෙයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • ‘2901’ රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහි වූවාට ලැබුණු අංකය

    ඇප ලබා ගැනීමෙන් පසුව මුලින්ම කළේ “කුරහන් සුවඳ” තීරු ලිපියේ මේ සතියට අදාළ ලිපිය ලිවීම ආරම්භ කිරීමය. මන්දයත් පුවත්පත මුද්‍රණයට යොමු කිරීම සඳහා කාලසීමා පවතින හෙයින් එය නියමිත වේලාවට ලබාදීම අත්‍යවශ්‍ය බැවිනි.

    රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව ජනතාව සමග විරෝධතා දැක්වූ අප හට අවසානයේදී සිරබත් කෑමට සිදුවූයේ රාජ්‍ය දේපොළ සඳහා හානිකිරීමේ චෝදනා යටතේය. එයින් පෙනී යනුයේ ශ්‍රී ලංකාවේ නීතිය කෙතරම් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේද යන්නය. නමුත් සත්‍ය වශයෙන්ම පොලීසිය කළ යුතු වන්නේ ජාතික සම්පත් විකිණීමට කටයුතු කරමින් සිටින වත්මන් රජයේ නායකයන් ප්‍රමුඛ අමාත්‍යවරුන් අත්අඩංගුවට ගැනීමය. අපි සිරගෙවල් සියයක දැමුවද, රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව කටයුතු කරන අතර, තවදුරටත් ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බව නැවත වරක් පසක් කරන්නෙමි.

    කෙසේ වෙතත් ඊයේ දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අපව ඉදිරිපත් කළ අවස්ථාවේදී සුවිශේෂී කාරණා හේතුවෙන් ඇප ලබාගැනීමට හැකිවිය. මා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දකුණු පළාත් මන්ත්‍රී සම්පත් අතුකෝරාළ ඇතුළු අට දෙනෙකුට ඇප ලබාගැනීමට හැකිවිය.

    ඒ විශේෂිත කරුණු මත පදනම්වය. රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ සම්මේලනයට අපගේ මතය නියෝජනය කිරීම සඳහා යෑමට තිබෙන බැවින් අපට ඇප ලැබිණි. නමුත් අප පැවැත්වූ විරෝධතාවට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර සහෝදරයා ඇතුළු තවත් 32 දෙනෙකු එළැඹෙන 30 වැනිදා දක්වා තවදුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

    අප හට ඇප ලැබීමෙන් පමණක් මෙම සටන අවසන් නොවේ. නැවත බන්ධනාගාරගත කළ පිරිස ඇප මත නිදහස් කර ගැනීමට කටයුතු කළ යුතුව තිබේ. ඔවුන්ට ඇප ලබාගැනීම සඳහා අපි උපරිම වශයෙන් ශක්තිය යොදවන්නෙමු. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම නීතිඥවරුන්ගේ උපකාර ලබා ගැනීමට අපි කටයුතු කරන්නෙමු.

    මෙහිදී දක්නට ලැබුණු කනගාටුවට කරුණ නම්, සිරගත කර සිටින පුද්ගලයන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් හම්බන්තොට ප්‍රදේශයේ  ඇතැම් පිරිස් විරෝධය දැක්වීමය. අප පැවැත්වූ විරෝධතාවට පක්ෂ, පාට ආගම්, ජාති භේදයක් නොතිබිණි. එසේම බෙදීමකින් තොරව ජනතාව අප වටා එක්වූයේ රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙකු මෙන්ම මුස්ලිම් ජාතිකයන් අට දෙනෙකු විරෝධතාවට එක්ව අත්අඩංගුවට පත්ව තිබීමෙන් මෙය වඩාත් පැහැදිලි වේ. රටේ සම්පත් විකිණීමට විරෝධය දක්වමින් බන්ධනාගාරගත කරන ලද එම පිරිස වරදකරුවන් ‍නොවන බව නුදුරේම ජනතාවට පැහැදිලි වනු ඇත.

    මේ අතර ආණ්ඩුව උතුරේ හා දකුණේ විරෝධතාකරුවන් වෙත දෙයාකාරයකින් සලකන බවට ඇප ලබාගැනීමෙන් පසුව ජාතික පුවත්පත් පිළිබඳ අවධානය යොමුකළ සුළු මොහොතේදී මට හැඟීගිය කරුණකි. ජනපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ යාපනය සංචාරය අතර තුළදී විරෝධතා දැක්වූ කොටි හිතවදී සිවාජිලිංගම් ඇතුළු පිරිස හමුවීමට ඔහු කටයුතු කර තිබූ අතර, ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බවටද පවසා තිබිණි. එම විරෝධතාව සම්බන්ධයෙන්ද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.

    කෙසේ වෙතත් දකුණේ විරෝධතා පවත්වන පිරිසගේ ගැටලු විසඳනවා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරනුයේ ඔවුන්ට කඳුළු ගෑස්, බැටන් පොලු, යකඩ පොලු හා රසායනික ද්‍රව්‍ය ඇතුළත් ජල ප්‍රහාර එල්ල කිරීමය. එසේම ඔවුන්ගේ අතපය කැඩෙන තෙක් පහරදීමය. රණවිරුවන්ගේ ඇස් අන්ධ කිරීමය. තවත් පිරිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමය.

    මා හට බන්ධනාගාරයගත වීමට සිදුවූයේ “2901” අංකය යටතේය. අධිකරණය මගින් මා ඇතුළු පිරිස බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව බන්ධනාගාරයට රැගෙන ආවේ රාත්‍රී 12.00ට පමණය. රාත්‍රී 12.00ට බන්ධනාගාරගත කළ අපට ඇඳීමට ඇඳුමක් නොතිබිණි. පසුව “ජුලම්පිටියේ අමරේ” නමින් හැඳින්වෙන සිරකරුවෙකුගෙන් අපට ඇඳගෙන සිටීමට සරම් ලැබිණි.

    %නන්දවත්තේ බාලයා^ නමින් හැඳින්වෙන සිරකරුවෙකු රඳවා සිටි සිරමැදිරියකට අප යොමුකෙරිණි. සිරගෙදර තෙමෙන්නේ වර්ෂාව ඇතිව තිබෙන අවස්ථාවේදී පමණය. දිගින් දිගටම වර්ෂාව තිබීම හේතුවෙන් බන්ධනාගාරගත කර සිටි පිරිසට දින තුන හතරක් රාත්‍රියේ නිදාගැනිමට නොහැකි වූහ.

    වැස්ස නොමැති අවස්ථාවලදී මදුරුවන්ගෙන් පීඩා විඳීමට සිදුවිය. අවම වශයෙන් දිනකට මැක්කන් 500-1000ක් සිරමැදිරියෙන් ඉවත් කරනු ලැබීය. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න කියමනක් පැවැතියද තංගල්ල බන්ධනගාරයේ නම් එවැනි තත්ත්වයක් නොමැත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • හම්බන්තොට විරෝධතාව

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබෙන්නේ හම්බන්තොට පැවැති විරෝධතාවට පොලීසිය එල්ල කළ මැර ප්‍රහාරයෙන් පසුවය. රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව පැවැති සාමකාමී විරෝධයට පොලීසිය මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේය. කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් පොලුවලින් පමණක් නොව අතින් පයින් පවා ජනතාවට පහරදීමට පොලීසිය කටයුතු කළේ යහපාලනයේ නිරුවත ජනතාවට හොඳින් පෙන්වමිනි.

    පොලීසිය මෙහිදී විරෝධතාවට එක්ව සිටි ජනතාව අතරින් 28 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. ඒ අතර කාන්තාවෝද වූහ. ඒ අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට එළඹෙන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එසේම තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වෙයි. මෙ අතර විරෝධතාවට එක්ව සිටි මටත්, ඩී.වී. චානක ඇතුළු තවත් කිහිප දෙනෙකුටත් හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය. මට කැඳවීම ලැබුණේ අද (10දා) එන ලෙස වුවත්, මම ඊයේ (09දා) පොලීසියට ඉදිරිපත් වීමට තීරණය කළෙමි.

    කුරහන් සුවඳ තීරු ලිපිය ලියන්නේ සඳුදා දිනයේදී වුවත්, එය %අද^ පුවත්පත හරහා පළ වෙන්නේ අඟහරුවාදා දිනයේදීය. ඒ අනුව මම කුරහන් සුවඳ ලිපිය ලියමින් සිටින විට පොලීසියට ප්‍රකාශයක් ලබාදීම සඳහා පිටත් වීමි.

    ඒ එය අවසන් කිරීම ප්‍රකාශය ලබාදීමෙන් පසු සිදුකිරීමේ අරමුණිනි. මා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවටද වාර්තා පළ වූ අතර, කුමන දෙයකට හෝ සූදානමින් මම හම්බන්තොට පොලීසියට ගියෙමි. නමුත් මා පොලීසියට පැමිණීමෙන් පසු පොලීසිය පැවසුවේ සඳුදා පාර්ලිමේන්තු දිනයක් නිසාත්, වෙනත් වැඩ තිබෙන නිසාත් කට උත්තරයක් ගන්නට නොහැකි බවයි. නමුත් මා ඒ අවස්ථාවේ සඳහන් කළේ කට උත්තරය ලබාගන්නා ලෙසත්, මගේ විරෝධතාවක් නොමැති බවත්ය. එසේම මම ඒ සඳහා විරෝධයක් නොමැති බවට ප්‍රකාශයක් ලබාදෙන බවත්, කටඋත්තරය ලබාගෙන අවසන් කරන ලෙසත් ඉල්ලා සිටියෙමි. නමුත් පොලීසිය විනාඩි කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසු මට කීවේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි 25 වැනිදායින් පසු ප්‍රකාශය ලබාදෙන ලෙසයි. එදාට නොහැකි නම් ඊට පසු දිනයක එය ලබාදෙන ලෙසද ඔවුහු ප්‍රකාශ කළහ.

    අපි සඳුදා දිනයේදීම පොලීසියට ගිහින් ප්‍රකාශය ලබාදීමට කටයුතු කළේ වරදක් කර නොමැති නිසාත්, අප නීතියට අනුව කටයුතු කර ඇති නිසාත්ය. එහෙත් එසේ ඉදිරිපත් වූවාට පසුද අපට ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දවසක් ලබාදීමට කටයුතු කළේද පොලීසියමය.

    විරෝධතාව පිළිබඳ හම්බන්තොට පොලීසිය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු තහනම් නියෝගයක් ලබාගත් බවට තොරතුරු වාර්තා වුවද, එම නියෝගයේ සඳහන් කරුණු ගැන අපි දැනුවත්ව නොසිටියෙමු. එමෙන්ම විරෝධතාව පැවැති අවස්ථාවේදී විරෝධතාවට එක්වූ පිරිස කිසිදු අවස්ථාවක උසාවි නියෝගය කඩනොකළ බවට පොලීසියද අධිකරණයට කරුණු දැක්වීය. පොලීසිය පැවැසූ කරුණ වූයේ නීතිය හා සාමය කඩවූයේ අවසාන මොහොතේදී විරෝධතාකරුවන් විසිර ගියාට පසු බවයි. පොලීසිය මේ ක්‍රියාවට යොමුකළේ විරෝධතාව කඩා කප්පල් කිරීමට බව එයින්ම පැහැදිලිය. එය කඩාකප්පල් කිරීමට පොලීසිය කටයුතු කළේ අප විරෝධතාව සාමකාමීව පවත්වාගෙන යන අතරතුරය.  කඳුළු ගෑස්, ජල ප්‍රහාර පමණක් නොව පොලීසිය අතින් පයින් පවා විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කළේය. සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ පහරකෑමට ලක්වූ තරුණයෙක් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙහිදී එම පොලිස් නිලධාරියාට එරෙහිව කිසිදු ආකාරයකින් තවමත් නීතිය ක්‍රියාත්මක වුවී නැත. නමුත් යම් හෙයිකින් මෙම ප්‍රහාරයට පොලිස් කොස්තාපල්වරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධ වූයේ නම් ඔහුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබීමටද බැරි නැත.

    හම්බන්තොටදී පොලීසිය එල්ල කළ ප්‍රහාරය මගින් තවත් දෙයක් පැහැදිලි විය. අප දිගින් දිගටම සඳහන් කළේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පොලිස් රාජ්‍යයක් කරා ගමන් කරමින් තිබෙන බවයි. එම පොලිස් රාජ්‍යයේ ලක්ෂණ හම්බන්තොටදී  මනාව දැකීමට හැකි විය. විරෝධතාවට සම්බන්ධයක් නොමැති, ඖෂධ ලබාගැනීමට ආයුර්වේද රෝහලට පැමිණි මවුවරුන් පවා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස් රාජ්‍යයේ ලක්ෂණ පෙන්වීය.

    අප මේ විරෝධතාව වෙනුවෙන් හම්බෙන්තොට යොදාගත්තේ රාජ්‍ය සම්පත් විකිණීමේදී වැඩිම හානිය හම්බන්තොටට සිදුවන හෙයිනි. ආණ්ඩුව මේ වනවිට හම්බන්තොට වරාය චීනයට පවරා අවසන්ය. දැන් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට පැවරීමට කටයුතු කරමින් තිබේ. ඊට අමතරව හම්බන්තොට අක්කර 15000 ක් චීනයට ලබාදෙන බවටද තොරතුරු වාර්තා වෙමින් පවතී.

    හම්බන්තොට වරායත්, මත්තල ගුවන්තොටුපොළත් අනාගතයේදී ශ්‍රී ලංකාවට ආදායම් උත්පාදනය සඳහා පවතින හොඳම ආර්ථික මර්මස්ථාන දෙකකි. චීනය විසින්  %එක් තීරයක් එක් මාවතක්^ සංකල්පය ක්‍රියාවට නැංවීමත් සමග හම්බන්තොට වරායෙනුත්, මත්තල ගුවන්තොටුපොළෙනුත් විශාල ආදායමක් උපයාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබේ. ඒ සඳහා සැලසුම් සකස් කරනවා වෙනුවට යහපාලන ආණ්ඩුව කළේ එම සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීමය.

    සුබ අනාගතයක් !

    ලබන සතියේදී නැවත හමුවෙමු

  • ජාතික සම්පත් විකිණීම

    වරාය නගර ව්‍යාපෘතියෙන් මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භ කරමි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එවකට විපක්ෂනායක වූයේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. එක් අවස්ථාවක කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.

    කෙසේ වෙතත් යහපාලන රජය නැවතත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කළේ, එය මහින්ද රාජපක්ෂ රජය සමයේ ආරම්භ කළ වැදගත්ම ව්‍යාපෘතියක් බවට පසක් කරගැනීමෙන් පසුවය. ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන ආවා නම් එහි බිම් සකස් කිරීම වැනි බොහෝ වැඩ කටයුතු මේ වනවිට අවසන් අදියරයට පැමිණීමට නියමිතව තිබිණි.

    කෙසේ වෙතත් වරාය නගර ව්‍යාපෘතිය නවතා දැමීම හේතුවෙන් එවකට ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ ප්‍රධානම නියමුවා බවට පත්ව තිබූ මෙන්ම සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මිතුරෙක් බවට පත්ව සිටි චීනය අප රටටත් සමග අමනාප වීම ආරම්භ කළේය.

    මෙම අමනාපය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා ආණ්ඩුවට වන්දි වශයෙන් කොළඹ වරාය නගරයේ වැඩිපුර ඉඩම් කොටස්, හම්බන්තොට වරාය හා අක්කර 15,000 ක් චීනයට ලබාදීමට සිදු විය. චීනයට මෙසේ සන්තෝසම් ලබාදීම ගැන ඉන්දියාව ඉන්පසුව අමනාප විය. ඒ සඳහා ඔවුන්ගේ ඉල්ලීම වූයේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළයි. ඒ අනුව දැන් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබාදීමට අදාළ ක්‍රියාමාර්ග කැබිනට් මණ්ඩාලය තුළ කඩිනමින් සිදුවෙමින් පවතී.

    මත්තල පමණක් ඉන්දියාවට දීමෙන් නවතින්නේ නැත. ඉදිරියේදී ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයද ඉන්දියාවට පැවරීමට කටයුතු කරනු ඇත. මේ අතර ඉන්දියානු තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මේ සඳහාද අවසරය දීමට රජයට සිදුවනු ඇත.

    අනෙක් අතින් ඉදිරියේදී කොළඹ වරාය හෝ තවත් වැදගත් ආර්ථික මර්මස්ථානයක් ඇමෙරිකාව හෝ ජපානය ඉල්ලා සිටියහොත් එය ඔවුන්ට ලබාදීමටද ආණ්ඩුව කටයුතු කරනු ඇත. ආණ්ඩුව ජාත්‍යන්තරය ජය ගත්තේ මෙසේය. ඇත්ත වශයෙන් ආණ්ඩුව ජයගත්තාද, එසේත් නොමැති නම් පරාජය වූවාද යන්න ජනතාව දන්නා කරුණකි.

    පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිතුරන් බවට පත්ව සිටි කලාපීය, ආසියාතික, යුරෝපීය රටවල් සියල්ලම මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ඈත් වෙමින් තිබේ. අනෙක් අතින් ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ රටකි. නමුත් වත්මන් ආණ්ඩුවට තිබෙන්නේ චීනයට, ඉන්දියාවට හා ඇමෙරිකාවට බැඳි  විදේශ ප්‍රතිපත්තියකි.

    අප විදේශයන් සමග ගනුදෙනු කරන විට ඔවුහු මහින්ද රාජපක්ෂ රජයට උපකාර කළහ. නමුත් කිසිම රටක් අපගෙන් ඒ සඳහා හිලව් ලෙස ජාතික සම්පත් නොඉල්ලුවේය. එමෙන්ම ගෝලීය වශයෙන් වැදගත් සම්පත් ආක්‍රමණය කිරීමට කටයුතු නොකළද, ඔවුහු ඒවා දියුණු කිරීම සඳහා අපට උදව් කළහ.

    රෝහින්ග්‍යා සරණාගත ගැටලුව

    මේ වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ රටේ දැඩි  මතයක් නිර්මාණය වී තිබේ. රෝහින්ග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණියා හෝ නැතා හෝ මෙතන ඇති ගැටලුව නම් ආණ්ඩුව රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. ඒ සම්බන්ධයෙන් විෂය භාර වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වරින් වර පැමිණි සියලු රෝහින්ග්‍යා සරණාගතයන් දිවයිනෙන් පිටත් කර හැරීමට කටයුතු කළ බවයි.

    ඉන්පසුව බස්නාහිර සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවසුවේ කිසිදු රෝහින්ග්‍යා සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ නොමැති බවයි. නමුත් ඒ ප්‍රකාශවල උණුසුම පහව යන්නටත් මත්තෙන් ගල්කිස්සේ රඳවා සිටි රෝහින්ග්‍යා සරණාගතයන් 31 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය විය. යම් හෙයකින් රජය මෙම සරණාගතයන් 31 දෙනා පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට පවසා තිබුණා නම් එදා ගල්කිස්සේ සිදු වූ සිදුවීම නොවන්නට ඉඩ තිබිණි. රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමත්, ඔස්ට්‍රේලියාවට යන නැවකින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙනඒමත් ආණ්ඩුව සිදුකළ දැවැන්ත කුමන්ත්‍රණයක කොටසක් ලෙස හැඳින්විය හැක.

    නාවික හමුදාපතිගේ මාසයක සේවා දිගුව

    නව නාවික හමුදාපත ට්‍රැවිස් සින්නයියා මහතාට මසක පමණ සේවා දිගුවක් ලබාදීම ගැටලුවක් බවට පත්ව තිබේ. දිගින් දිගටම නැවක් පිළිබඳ ගනුදෙනුවකට විරෝධය දැක්වීම නිසා නව නාවික හමුදාපතිට මසක පමණ සේවා දිගුවක් ලැබී තිබේ. ඒ අනුව ඔහු නාවික හමුදාවේ කෙටිම කලක් සේවය කළ නාවික හමුදාපති වශයෙන් විශ්‍රාම යනු ඇත.

    බොහෝ පිරිසක් විරෝධය දක්වන විට මේ මතභේදයට තුඩු දී ඇති නෞකාව සම්බන්ධයෙන් වන ගනුදෙනුව සිදු කිරීමට ආණ්ඩුවට ඇති අවශ්‍යතාව කුමක්දැයි යන්න පිළිබඳ ජනතාවට හෙළි කළ යුතු වෙයි. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් විරෝධය දැක්වූ දැක්වූ ජනාධිපති ලේකම් හා ආරක්ෂක ලේකම් එම තනතුරුවලින් ඉවත් කෙරිණි. එම ගනුදෙනුවට මුලින් විරෝධය දක්වා පසුව එකඟ වීම හේතුවෙන් හිටපු නාවික හමුදාපතිගේ කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ආණ්ඩුවේ ඉහළම නායකයෝ කටයුතු කළහ.

    වර්තමාන නාවික හමුදාපතිට මාසයකින් ගෙදර යෑමට සිදුවූයේ මේ ගනුදෙනුවට බෑ කී නිසාදැයි යන්න පිළිබඳ දැන් ජනතාවට සැකයක් මතුව තිබේ. මෙහි පසුපස සිටින්නේ කවුදැයි යන්න රජය රටට හෙළි කළ යුතුව තිබේ.

    අයවැයෙන් සහන ලැබීම

    පළාත් පාලන මැතිවරණය ඉදිරියට පවත්වන හෙයින් ආණ්ඩුව මෙවර අයවැයේදී ජනතාව රැවටීම සඳහා සහන ලබාදීමට කටයුතු කරනු ඇත. කෙසේ වෙතත් මේ වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල අහස උසට වැඩි වී තිබේ. මේ මිල ගණන් රුපියලකින් හෝ දෙකකින් අඩු කරමින් ජනතාවට සහන දෙන බව පැවසීමට මංගල සමරවීර මහතාගේ මංගල අයවැය ඉදිරිපත් වනු ඇත. නමුත් එම මංගල අයවැයෙන් නම් ජනතාව නොරැවටෙනු ඇත.

  • රාජ්‍ය දේපල විකිණිමට එරෙහිව දේශප්‍රෙමී ජනතාව එක්ව පෙළගැසෙන්නට කාළයයි

    යහපාලන රාජ්‍යත්‍රන්තයක් බිහිකරන බව පවසමින් ජනතාව මුලා කරමින් බලයට පැමිණි වත්මන් රජය යහපාලන ප්‍රතිපත්ති කෙසේ වුවත් දිගින් දිගටම අතිශය තීරණාත්මක මෙන්ම දේශීයව ආදායම් උත්පාදනට අතිවිශාල දායකත්වයක් මනා කළමණාකරනයක් යටතේ ලබා ගත හැකි ආයතන විදේශීය සමාගම් වලට ඉතා රහසිගත කොන්දේසි මත විකුණමින් සිටී.

    එහි තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ දෙවන අන්තර්ජාතික ගුවන්තොටුපල ඉන්දියානු සමාගමකට වසර 40 කට බදු දීමට වත්මන් රජය සියළු පියවර රහසේ ගනිමින් සිටින බව ඔබ මා හොදින් දන්නා කාරණයකි.

    හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරූ සේම ගිවිසුමට අදාල කොන්දේසි හෝ ගිවිසුමේ අන්තර්ගතය ජනතාවගෙන් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද වසන් කොට පවත්වා ගැනීමෙන් මේවා කුමන ආකාරයෙන් සිදුවන්නේ දැයි ජනතාව තුළ ඇත්තේ සැකයකි. එහෙයින් මෙවැනි රාජ්‍ය දේපල විකිණීම් වලට එරෙහිව අද වන විට ජනතාව හඩ අවදිකරමින් සිටී.

    අනෙක් අතට මත්තල ඇතුළු අනෙකුත් රාජ්‍ය සම්පත් පෞද්ගලික කරණය එරෙහිව නැගී සිටීම දේශමාමක ජනතවගේ වගකීමක් බවද අප සිහි තබා ගත යුතුය. ඔවුන් මේ විකුණමින් සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් පසුගිය රජයන් විසින් ඉදිකරන ලද හෝ අරඹන ලද අනගි දේශීය ව්‍යාපෘතීන්ය. මේවායේ වටිනාකම අපට දැනෙනුයේ තවත් වසර ගණනාවක් ගතවූ පසුවය. සියල්ල මේ අකාරයෙන් සිදුවොහොත් වත්මන් රජයේ පාලන කාළය අවසන් වන විට රටට හෝ අප අනාගත පරපුරට දේශීය ආදායම් උත්පාදනට කිසිදු ආයතනයක් ඉතිරි නොවනු ඇත.

    එබැවින් රටේත් එහි ජනතාවගේත් උරුමයන් ආරක්ෂාකර ගැනීම සදහා පොදු ජනතාව පෙරටු කොට ගත් අති දැවන්ත බලවේගයක් ගොඩනැගීමට අප සූදානම් අතර එහි ගෞරවාන්විත කොටස්කරුවකු වීමට ඔබද අදිටන් කරගනු ඇතැයි මා අපේක්ෂා කරමි.