• ජනතාව බිය කළ උත්සව සමය.

    මේ ගෙවී යන්නේ උත්සව සමයකි. මුලින්ම උදා වූ නත්තල සෑම අයෙකුටම යහපත් වේවා යැයි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. නත්තලේ අංක එක සාමයයි. මේ වනවිට ශ්‍රී ලංකාවාසීන්ට සාමයෙන් යුතුව නත්තල සැමරීමට අවස්ථාව හිමිව ඇත්තේ 2009 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පිළිළයක් බවට පත්ව තිබූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම හේතුවෙනි.

    ඒ සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය මෙන්ම තම ජීවිත, ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් ලංකා මාතාව වෙනුවෙන් දිවි හිමියෙන් යුද කළ සියලු රණවිරුවන් අප අමතක නොකළ යුතුව ඇත.

    මැතිවරණයක් ආසන්න හෙයින් නත්තල යැයි කියා නිවාඩුවක් නොමැත. කෙසේ වෙතත් දින කිහිපයක් තිස්සේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලකට නේවාසිකව ප්‍රතිකාර ලබන විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ සුවදුක් විමසා බැලීමට වේලාවක් වෙන් කරගත්තෙමි. මා සමග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ අවස්ථාවට එක්විය.

    දේශපාලනික වශයෙන් අප අතර මතවාදී වෙනස්කම් තිබුණද, ඔහු හමුවේ වචන කිහිපයක් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබීම හොඳ දෙයකි.

    වෙනත් වසරවලදී උත්සව සමයකදී ජනතාව කටයුතු කරන්නේ උද්යෝගයකින් වුවද, මෙවර උත්සව සමයේදී එවැනි තත්ත්වයක් දැකිය නොහැකිය. ජනතාව කඩපිළට පිවිසියේ අල්ප වශයෙනි. ඒ සඳහා ප්‍රධාන හේතුව වී ඇත්තේ අහස උසට වැඩි වී ඇති බඩු මිලයි.

    අපි කුරහන් සුවඳ තීරු ලිපි පෙළ හරහා බඩු මිල පාලනය කිරීමේදී රජය දක්වන අසමත්කම දිනෙන් දිනම පැහැදිලි කළෙමු. මේ වනවිට පොල් ගෙඩිය රුපියල් 100, හාල් කිලෝව රුපියල් 100, මිරිස් කිලෝව රුපියල් 800, රතුලූනු කිලෝව රුපියල් 520 ට අලෙවි වන තත්ත්වයට පැමිණ ඇත.

    මේ බඩුමිල ඉහළ ගොස් ඇති ආකාරය ජනතාවට පෙන්වීම සඳහා යොදාගත් උදාහරණ කිහිපයක් පමණි. හාල් සඳහා පාලන මිලක් පැනවූ බව සඳහන් කළද ඒවා සතොසින් සහ සුපිරි වෙළෙඳ සැල් කිහිපයකින් පමණක් ලබාගැනීමට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිතව මෙම අලෙවි සැල් තිබුණද, ගම්බදව එවැනි වෙළෙඳ සැල් නොමැත. ඒ අනුව ජනතාවට පාලන මිල ගණන් යටතේ භාණ්ඩ මිලට ගැනීමට අවස්ථාවක් ලැබී නොමැත.

    නව වසර තවත් දින කිහිපයක් උදාවෙයි. අලුත් ඇඳුමක්, නැවුම් කිරිබතක් පිසීම දැන් ජනතාවට සිහිනයක් බවට පත්ව ඇත. ජනතාව දැන් එදිනෙදා වේල බඩකට පුරවාගන්නේද ඉතාමත් අසීරුවෙනි. කීයෙන් කී දෙනෙකු කුසගින්නේ සිටින්නේදැයි ආණ්ඩුවට වගේ වගක් නොමැත. ඒ අනුව ලබන වසර නම් ජනතාවට තවත් සුබ වසරක් නොවනු ඇත.

    මේ අතර නව පාසල් වාරයද ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා තම දරුවන් වෙනුවෙන් පාසල් පොත්පත් ඇතුළු පාසල් උපකරණ මිලදී ගැනීම වෙනුවෙන්ද ජනතාව දැඩි අරගලයක නිරත වෙමින් තිබේ.

    මේ අතර ව්‍යාපාරිකයන් පවා පවසන්නේ වෙනත් උත්සව කාලවලදී මෙන් මෙම උත්සව සමයේදී ජනතාවද භාණ්ඩ මිලදීගැනීම වෙනුවෙන් වැඩි වැඩියෙන් වෙළෙඳ සැල් තුළට නොපැමිණි බවයි. සාපේක්ෂව මේ හරහා තම ආදායමද අඩු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

    සමස්තයක් වශයෙන් මෙයින් පෙනෙන්නේ වෙනදා උත්සව සමයේදී සතුටින් සිටින ජනතාව මෙවර උත්සව සමයේදී බිය වී සිටින්නේ ඉහළ ගිය බඩු මිල නිසා බවයි.

    මැතිවරණය

    ක්‍රමයෙන් මැතිවරණ උණුසුමද වර්ධනය වෙමින් තිබේ. මේ මැතිවරණය රටේ ආණ්ඩුව, නායකත්වය වෙනස් නොවන මැතිවරණයක් වුවද, ජනතා මතය තිබෙන්නේ කාටදැයි යන්න උරගා බැලෙන මැතිවරණයක් හෙයින් සෑම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ ආණ්ඩුව ගෙන යන මෙම විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව සිය ඡන්දය භාවිත කරන ලෙසයි.

    පවතින ආණ්ඩුව පිළිබඳ කලකිරී සිටින බොහෝ ජනතාව මේ වනවිට ඡන්ද පොළට නොයෑමට පවා තීරණය කර තිබේ. ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩුව ‘%මට්ටු’ කිරීමට සිය ඡන්දය භාවිත කිරීමට ඡන්ද පොළට යන ලෙසය.

    ලබන සතියේදී යළිත් හමුවෙමු

    ඔබට සුබ අනාගතයක්!

  • රුසියානු තේ තහනම හා ජාත්‍යන්තර සබඳතා.

    ශ්‍රී ලංකාවෙන් රුසියාව වෙත අපනයනය කළ තේ තොගයකින් කුරුමිණි විශේෂයක් හමුවීමත් සමග රුසියාව විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් තේ ඇතුළු කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය කිරීම නවත්වා ඇත. මෙය ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන කරුණකි. ඒ බව සඳහන් කිරීමට දත්ත කිහිපයක්ද ඉදිරිපත් කරමින් ලිපිය අරම්භ කරමි.

    රුසියාවට තේ අපනයනය කරන ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එරට වෙළෙඳ පොළේ හිමිව ඇති කොටස 23% කි.  මේ වසරේ මාස 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කර ඇති තේ තොගය ටොන් 141,300 ක් වන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 436 කි. මෙවැනි දත්ත හරහා පෙන්නුම් කරන්නේ රුසියාවේ තේ වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාවට හිමි බලයයි.

    කෙසේ වෙතත් රුසියාවේ ශ්‍රී ලංකාවේ තේ සඳහා වන තහනම ඊයේ (18දා) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබිණි. ඔවුන් මෙම තහනම පනවන්නේ තාවකාලිකව බවට ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම වැදගත් වෙයි.

    මේ හරහා ශ්‍රී ලංක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වීමට අවස්ථාව තිබේ. මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජන රැලියකදී ප්‍රකාශ කර තිබුණේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමා රුසියානු ජනපතිට ලිපියක් යොමු කිරීමට බලපාපොරොත්තු වන බවයි.

    කෙසේ වෙතත් ලිපිය ලියන අවස්ථාව වනවිටත් එවැනි ආකාරයක ලිපියක් ජනාධිපති විසින් යොමුකර ඇති බවට තොරතුරු වාර්තා නොවීය. වත්මන් ආණ්ඩුව අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ දැන් බටහිර ශ්‍රී ලංකාව දෙස වෙනස් වූ ආකාරයෙන් බලන බවයි. ඒ අනුව ආණ්ඩුව ඉතාමත් ඉක්මනින් කටයුතු කළ යුතු වෙයි.

    අනෙක් අතින් මෙම තහනම පැනවීමත් සමග ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අසාර්ථක බව හොඳින්ම පැහැදිලි වෙයි. ආණ්ඩුවට කිසිම සැලසුමක් හෝ පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොමත. මේ වනවිට ආණ්ඩුව පොදු විදේශ ප්‍රතිපත්තියකින් බැහැරව එක් එක් රටවලට වෙන් වෙන් වූ ප්‍රතිපත්ති භාවිත කිරීම හේතුවෙන් මෙම ගැටලුව ඇතිව තිබේ.

    මගේ දේශපාලනය දෛවය තීරණය කරාවි

    මේ අතර අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ නාමල් රාජපක්ෂ 2025 දී බලයට ගෙන ඒම සඳහා මහින්ද රාජාපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බවයි. මුලින්ම සඳහන් කළ යුතු වන්නේ මාව බලයට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතාට උවමනාවක් නැති බවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදී වෙන්ව නොයා යුතුය යන මතයේ තවමත් අපි සිටිමු. කෙසේ වෙතත් දැන් එය සිදුවෙමින් පවතින බව පැහැදිලි වෙයි. පක්ෂය එකතු කිරීමට නම් සිදුකළ යුතුව තිබූ එකම දෙය වූයේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එයින් ඉවත්වීමය.

    නමුත් තනතුරු, වරදාන, වරප්‍රසාද හමුවේ ඔවුන් එය සිදු කිරීමට අකමැති බව පෙනුණි. අපටත් එසේ තනතුරු වරදාන හමුවේ ආණ්ඩුවට එක්වීමට තිබිණි. නමුත් ජනතාව වෙනුවෙන්, රටේ සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අපි තවමත් විපක්ෂයේ සිට සටන් කරන්නෙමු. අපි ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියේ මේ සටනට සහාය දැක්වීමට අපත් සමග එක් වන ලෙසය.

    නමුත්  ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. තම ගැටලුව වසාගැනීම සඳහා සුපුරුදු පරිදි රාජපක්ෂවරුන්ට චෝදනා එල්ල කරමින් සිටියි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මට කීමට ඇත්තේ මා යන තැන මගේ දෛවය තීරණය කරනු ඇත. මම තවදුරටත් දේශපාලනයේ නිරත වෙමි යන්නයි. එස්.බී. දිසානායක යනු දේශපාලනය  වසර කිහිපයක් කළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි. කෙසේ වෙතත් ඔහුගේ දේශපාලනය ගැන ජනතාව හොඳාකාරවම දනී. ඉතින් එවැනි අයෙක් කරන මෙම ප්‍රකාශ වැදගත් නොවේ.

    මේ වනවිට මැතිවරණය ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතරට යමින් තිබේ. ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට මැතිවරණයට හොඳ සූදානමකින් තරග කරමින් සිටියි. අප ඉදිරිපත් කළ නාමයෝජනා හයක් සුළු දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබිණි. කෙසේ වෙතත් ඒ සඳහා නීතිමය වශයෙන් ගත යුතු පියවර පිළිබඳ මේ වනවිට සාකච්ඡා පවත්වමින් පවතී.

    කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට තවමත් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට වැ‍ඩපිළිවෙළක් ඇති බවට නොපෙනේ. මේ වනවිට අපට ඇති ගැටලුව වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එසේත් නොමැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටනට නායකත්වය සපයන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය මෙම මැතිවරණයෙන් පරාජයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරන්නේදැයි යන්නයි.

    පක්ෂ මාරුවීම් සිදුවන බවට තවදුරටත් මතයක් පවතී. මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ පිරිස ගැන යමක් කිවයුතුව තිබේ. ඔවුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරමින් පසුදින ආණ්ඩුවට එක්වූ පිරිසය. ඒ අනුව එය සිදුවූයේ හුදෙක්ම වාසි වෙනුවෙනි.

    ඔවුන් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පතුරමක් හෝ ලබාගැනීමට සූදානම් බවයි. නමුත් නාමයෝජනා නොලැබූ පමණින් ඔවුහු ආණ්ඩුවට එකතු වීමට කටයුතු කරති. නාමයෝජනා නොලැබූ පමණින් රට විකුණන පාර්ශ්ව සමග එකට එකතු වී ඉඳගැනීමට කටයුතු කරති.  ඔවුන් රටට හෝ මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කරන්නේද, එසේත් නැත්නම් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන්නේදැයි යන්න මෙහිදී හොඳින්ම පැහැදිලි වෙයි.

    ලබන සතියේදී හමුවෙමු!

    ඔබට සුබ අනාගයත්!

  • පෞද්ගිලික වරදාන ගැන නොව රට ගැන සිතමු.

    මැතිවරණයක් ප්‍රකාශයට පත්වූ විට බහුලවම පක්ෂ මාරු කිරීම් සිදුවෙයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති හෙයින් පක්ෂ මාරු වීම් සිදුවෙයි. ලිපිය ලියන විට ආසන්නතම සිදුවීම් වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියාණි විජේවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජනිපේ ජාතික සංවිධායක පියසිරි විජේනායක, ජනිපෙ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්ම මහත්මීන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමයි.ඇය දිනේෂ් ගුණවර්ධන මහතා නායකත්වය දරණ මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරියකි.

    කළකිරීම් වැනි කරුණු හේතු කරගෙන පක්ෂ මාරු සිදුවුවත් අවධානය කළ යුතු කරුණ වන්නේ පෞද්ගලික වරදාන වරප්‍රසාද ගැන සිතනවාද එසේත් නොමැතිනම් රට ගැන සිතනවාද යන්නයි. දිනෙන් දින රට අගාධයකට යන විට අප සැමගේම වගකීම විය යුත්තේ රට හරි මගට ගැනීම වෙනුවෙන් වූ වැඩපිළිවෙළකට සහාය දැක්වීමය. එහිදී පක්ෂයක පාට හෝ ලකුණ වැදගත් නොවෙනු ඇත. වැදගත් වන්නේ ප්‍රතිපත්තිය.  ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ පිරිස ඊයේ රාත්‍රිය දක්වාම ආණ්ඩුව විවේචනය කළ පිරිසය. එසේම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ පිරිසය.

    දේශපාඥයෙක් පක්ෂයක් මාරු කරයි නම් එය ප්‍රතිපත්ති මත සිදුවන දෙයකි. වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය, විදේශ ප්‍රතිපත්තිය පෙරේදා රාත්‍රිය දක්වා විවේචනය කළ පිරිස පසුවදා ආණ්ඩුවට එක්වෙන්නේ කුමක් නිසාදැයි යන්න පිළිබඳව අමුතුවෙන් ජනතාවට පැවැසිය යුතු නොවේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය කරන විට එයට සහාය දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ආණ්ඩුවට එක්විය. එය ප්‍රතිපත්ති කරුණකි.

    මේ වන විට පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවිම ආරම්භ කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය නියේජනය කරන පොදුජන පෙරමුණට තිබෙන ගැටලුව වන්නේ නාම යෝජනා බාර දීමය. එනම් පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීමට විශාල අපෙක්ෂාකයන් පිරිසක් අපට නාම යොජනා ඉදිරිපත් කර තිබේ. එයින් සුදුසුකම් ලබන පුද්ගලන් තෝරා ගැනීමේ ගැටලුවකට අප මුහුණ දී ඇත.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට, එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂවලට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ඔවුන්ට නාම යෝජනා ගැනීමය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත. ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද විශාල  කාර්යයක් ඉටු කළේය.

    කෙසේ වෙතත් මේ වන විට ද්‍රවිඩ ජාතික සන්ධානය දෙකඩ වීම හේතුවෙන් උතුරේ ඡන්ද ප්‍රථිඵලය දෙකඩ වෙනු ඇත. නැගෙනහිරද මුස්ලිම් ජනයා නියෝජන කරන පක්ෂ වෙන වෙනම මැතිවරණය ඉදිරිපත් වීම හරහා ඔවුන්ගේ ඡන්දද බෙදී යනු ඇත. මෙය අවසාන වශයෙන් සමස්ත ප්‍රථිපලයට බලපෑමක් ඇති කරන තත්ත්වයකි. එම පළාත් දෙක හැරෙනු ඇති විට ඉතිරි පළාත් හතේම බහුතරයක් වූ ජනතාව දැන් ආණ්ඩු විරෝධී මතයක සිටින හෙයින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් සිය ඡන්ද ආණ්ඩුවට එරෙහිව භාවිත කරනු ඇත.

    පළාත් පාලන මැතිවරණය යනු බිම් මට්ටමේ ජනතාවගේ මතය නියෝජනය වන මැතිවරණයයි. මෙහි ප්‍රථිඵලය ඉදිරි පළාත් සභා මැතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනපතිවරණයට සෘජු  බලපෑමක් ඇති කරනු ඇත.  මෙහි අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ පිරිහීම මේ හරහා එළියට පැමිණෙනු ඇත.

    මේ වන විට දුම්රිය වර්ජනයක් ක්‍රියාවට නැංවෙමින් තිබේ. දුම්රිය වර්ජනයක් මෙවැනි ආකාරයකට දීර්ඝව මෑත ඉතිහාසයේදී ගමන් කරන පළමු අවස්ථාව මෙය වෙයි. දුම්රිය සේවකයන්ට සාධාරණත්වය ඉටු නොකිරීම හරහා අවසන් වශයෙන් පීඩාවට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාවය. ආණ්ඩුව දුම්රිය සේවකයන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කළේ එය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමයි. මේ හරහා ප්‍රශ්නය තවත් ව්‍යාකූල විය. අනෙක් අතින් සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීමටත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ ‘යන්නේ කොහෙද මල්ලෙ පොල්’ වැනි පිළිතුරක් ලබාදෙමිනි.

    දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම හරහා මූල්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීමට හා වෘත්තීය සමිති දැඩිව මර්දනය කිරීමට අවස්ථාව තිබේ. කෙසේ වෙතත් වෘත්තීය සමිත් ඊයේ මෙම සටහන ලියන විටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් නොකිරීමට තීරණය කර තිබුණි.

    ආණ්ඩුව මේ වන විට පරිපූරක ඇස්තමේන්තු විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ සඳහා අනුමැතිය ලබා ගනිමින් සිටියි. පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේදී සඳහන් කළේ ජනපති, අගමැති ඇතුළුව ආණ්ඩුවේ වියදම් සැලකිය යුතු ප්‍රමාණයක් කපා හැරි බවයි. අයවැයෙන් එසේ පෙන්වා එම කපා හැරූ බව පෙන්වන අගයට වඩා වැඩි ප්‍රමාණයක වියදම් පරිපූරක ඇස්තමේන්තු හරහා අනුමත කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි.

    අනෙක් අතින් ආණ්ඩුව පනත් සම්මත කර ගන්නේද බලහත් කාරයෙනි. යහපාලනයක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කර ඇත. පාර්ලිමේන්තුවද මංකොල්ල කමින් සිටියි. පැති දෙකක සිටියත්, මත දෙකක් දරුවත් පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත් විවාදයේදී අමාත්‍ය රවුෆ්  හකීම් මහතා කළ ප්‍රකාශක් මම මෙහිදී අගය කිරීමට අවස්ථාවක්  කර ගන්නෙමි.

    ඔහු පැවැසුවේ පාර්ලිමෙන්තුවේ බලය ආණ්ඩුවට තිබූ පළියට පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා රටේ ජනතාවගේ අයිතීන් කඩා දැමීමට කටයුතු නොකළ යුතු බවයි. ඔහු උගත් දේශපාලකයෙක් ලෙස ඔහුට වත්මන් ක්‍රියාවලිය ගැන විවේචනයක් තිබුණත් යහපාලනය ගැන කතා කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ ගැන වැටහීමක් නොවීම ගැටලුවකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • ආණ්ඩුවේ ශ්‍රීලනිප පාර්ශ්වයට තවත් අවස්ථාවක්!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයට සත්‍ය වශයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍යතාවක් ඇති බව නොපෙනේ. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට දෑත් දික් කළද නායකයන් විසින් එය ප්‍රතික්ෂේප කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සන්ධානයක් ලෙස ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මුහුණදීමට තීරණය කර ඇත.

    නමුත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට සත්‍ය ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නම් තවත් එක් අවස්ථාවක් තිබේ. ඒ ඉදිරියේදී පැමිණෙන අයවැය ඡන්දයේදී එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් අයවැය පරාජය කිරීමට කටයුතු කිරීමයි.  ඒ හරහා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් තිබේ.

    මේ වනවිට හම්බන්තොට වරාය චීනයට පවරා දී අවසන්ය. එහි මෙහෙයුම් කටයුතු ලබන 08 වැනිදා සිට ආරම්භ වීමට නියමිත බවට මාධ්‍ය තොරතුරු වාර්තා කළේය. හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළව ගිවිසුම්වලට අත්සන් කළේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි.

    ඉදිරියේදී මත්තල ගුවන් තොටුපොළද ඉන්දියාවට පවරාදීමට නියමිතය. ඒ සඳහා වන ගිවිසුම්ද අත්සන් කරනු ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරයෙකි. මේ අනුව වතමන් යහපාලන ආණ්ඩුව විසින් සිදුකරන පව්වලින් වැඩි ප්‍රමාණයකට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වගකිවයුතු වෙයි. අනෙක් අතින් ඔවුහු දිගින් දිගටම පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදෙමින් කටයුතු කරති.

    මැතිවරණ කොමසාරිස්වරයා කොන්ද කෙළින් තබා ගත් තීරණයක් හේතුවෙන් ආණ්ඩුව සිරවීමේ ප්‍රතිඵලය වූයේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඒවා ගොනු කළ පාර්ශ්ව විසින්ම ඉල්ලා අස්කර ගැනීමයි. මේ කුමන්ත්‍රණය පසුපස සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වය බවට බොහෝ දෙනෙක් චෝදනා කරන්නට වූහ.

    කෙසේ හෝ වේවා මේ වනවිට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ඇති බාධා ඉවත්ව යමින් තිබේ. ඉදිරියට එන මැතිවරණ අපේක්ෂා කරගෙන ආණ්ඩුව මේ වනවිට කටයුතු ආරම්භ කර ඇත. ඒ අතර මැතිවරණ නීතිරීති උල්ලංඝනය වීම්ද සිදු වෙයි. ඉදිරියේදී වරාය අධිකාරිය වෙනුවෙන් සේවකයන් 3000 ක් බඳවාගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වේ.

    මේ වනවිට හම්බන්තොට වරායේ රැකියා අහිමි වූ 450 ක පමණ පිරිසක් සිටිති. ආණ්ඩුව කළ යුතු වන්නේ මුලින්ම මෙම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමයි. හම්බන්තොට සිටින සේවකයන් ගැන ආණ්ඩුව සත්‍ය වශයෙන්ම වද වෙන්නේ නම් කළ යුතු වන්නේ ඔවුන්ට රැකියා ලබාදීමයි.

    පසුගියදා ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ඇතුළුව සමස්තයක් වශයෙන් ආබාධයට ලක්වූ ජනතාව වෙනුවෙන් කනගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මුලින්ම පැවසිය යුතු වන්නේ ආණ්ඩුව නිසි සූදානමකින් සිටියා නම් සිදු වූ ජීවිත හානි බොහෝමයක් අවම කරගැනීමට අවස්ථාව තිබූ බවයි. ජාත්‍යන්තර මාධ්‍ය ශ්‍රී ලංකාවට හදිසි ආපදාවක් සිදු වන බවට ප්‍රකාශ කරන විට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම වාර්තා ප්‍රතික්ෂේප කළේය.

    මේ අනුව ජනතාව එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් සිටියහ. අපාදාවෙන් වැඩි වශයෙන්ම ජීවිතක්ෂයට පත්වූයේ ධීවරයෝය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරියාකාරව ධීවර ප්‍රජාව දැනුවත් කළේ නම් ඔවුන්ට සිදු වූ හානිය වළක්වාගැනීමට අවස්ථාව තිබුණි. මේ පිළිබඳ අප පාර්ලිමේන්තුවේ පවා ප්‍රශ්න කරන විට ආණ්ඩුව සඳහන් කළේ ශ්‍රී ලංකාවට එවැනි බලපෑමක් නොමැති බවයි.

    නමුත් අපාදාවක් නැතැයි කියා පැය විසිහතරක් ගත වීමට මත්තෙන් ආපදාව පැමිණියේය.  ඒ සඳහා ජනතාව සූදානම් නොවී සිටිමෙන් විශාල හානියක් ඇති විය. මේ අතර ඇතැම් ප්‍රදේශ තුළ තවමත් විදුලිය යථා තත්ත්වයට පත්කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇත.

    කාලගුණය පාලනය කළ නොහැකි සාධකයකි. ඒ හේතුවෙන් 100% ක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකිය. නමුත් ශ්‍රී ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට තවමත් ආසන්න වශයෙන් හෝ අනාවැකියක් පැවැසීමට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි.

    මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දිල්ලියේ පැවැත්වෙන තරගයේදී වායු දූෂණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ගැටලුවකට පත්වීමේ සිදුවීම පිළිබඳ බොහෝ දෙනෙකු අවධානය යොමුකර ඇති තත්ත්වයක් දැකිය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇති වූ අපහසුතාව වළක්වාගැනීම වෙනුවෙන් මුඛවාඩම් දමා ක්‍රීඩා කිරීම පිළිබඳ ඉන්දීය මාධ්‍යත්, ඇතැම් ක්‍රීඩා විචාරකයනුත් උපහාසයෙන් කතා කරන අයුරු දැකගත හැකි විය.

    නමුත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ ලෝකයේ ඉහළම වායු දූෂණයක් පවතින නගර අතර දිල්ලිය ඉදිරියෙන්ම සිටින බවයි. මෙවැනි තත්ත්වයකදී පන්දු යවන්නන්ට පන්දු යැවීම තරමක් අපහසු වෙයි. ශ්‍රී ලංකාවට සිදුවූයේද එයයි. ගුවන් යානා ධාවනය පවා නවත්වා තිබූ බවටද තොරතුරු වාර්තා විය. නවදිල්ලි නුවර තරග පැවැත්වීමේදී ඉදිරියේදී මේ පිළිබඳ හෝ අවධානය යොමුවනු ඇත. ක්‍රීඩාවේදී අංක එකට සලකා බැලිය යුතු වන්නේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවයි.

    ඔබට සුබ අනාගතයක්!

    ලබන සතියේදී යළිත් හමුවෙමු!