• ට්‍රිලියන, බිලියන, කෝටි හා මිලියන.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ රටේ විධායක ජනපතිවරයාය. ඔහු ඇමතිවරයෙකු හෝ මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකු නොවේ. අනෙක් අතින් ඔහු රටේ පළමු පුරවැසියාය. රටේ නායකයාගේ මුවෙන් පිටවන සෑම වචනයකම සත්‍ය තිබිය යුතුය. ඔහුගේ ප්‍රකාශ වෙනස් නොවිය යුතුය. ජනතාවගේ අවධානය යොමු කරගැනීම සඳහා ජනප්‍රිය ප්‍රකාශ කිරීමට උත්සාහ නොකළ යුතුය.

    මන්ද යත් විධායක ජනපතිවරයා කරන ප්‍රකාශයක් ආර්ථික, දේශපාලන, සාමාජීය යන පරිසරයන්ට ප්‍රධාන වශයෙන්ම බලපෑම් එල්ල කරමින් තිබේ. මැතිවරණයක් අත ළඟ තිබියදී ජනාධිපතිවරයා විවිධ ප්‍රකාශ පදනම් විරහිතව සිදුකරමින් සිටියි.

    මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලබාගත් ට්‍රිලියන 10ක් වන විදේශ ණයවලින් වත්කම් ලෙස සටහන්ව ඇත්තේ ට්‍රිලියනයක් බවත්, ඉතිරි මුදලට සිදු වූ දෙයක් නොමැති බවත්ය. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 10ක් වන තත්ත්වයක ජනාධිපතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කළේ ඇයිදැයි යන්න පිළිබඳ සොයා බැලිය යුතුය.

    ඇතැම් විට ජනාධිපතිවරයාට මේ තොරතුරු ලබාදෙන පාර්ශ්ව ඔහු නොමග යවමින් සිටිනවා විය හැකිය. නැතහොත් ඔහුට ට්‍රිලියන, බිලියන, කෝටි හා මිලියන පැටළී විය හැකිය. ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අති බහුතරයක් ඉහළ සාක්ෂරතාවකින් යුක්තය. හරි වැරැද්ද, සත්‍ය – අසත්‍ය ඔවුන්ට වෙන් කරගැනීමට හැකිය. ජනාධිපතිවරයා කළ මෙම පදනම් විරහිත ප්‍රකාශය පිළිබඳ ජනතාව දැන් හිනාවීමට පටන්ගෙන ඇත. ඔහුගේම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ඔහුට සිනහවීමට පටන් ගෙන ඇත.

    පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද පදනමක් නිර්මාණය කරගැනීමට ජනාධිපතිවරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් සිදුවෙන්නේ රටත් ජනතාවත් හෑල්ලුවට ලක්වීමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය කිරීමෙන් පසු මේ පිළිබඳ කරුණු විමසීම සඳහා රටවල් බොහෝමයක් මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගෙන තිබිණි.

    ජනාධිපතිවරයා රත්නපුරයේදී තවත් දේශපාලනික කතාවක් සිදු කළේය. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 96 දෙනා තමන් සමග සිටගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීමට සූදානම් බවයි.

    නමුත් අතිගරු ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබුණේ 2015 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදීය. එම මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවාසි සහගත විශේෂ ප්‍රකාශ දෙකක් ජනාධිපතිවරයා සිදු කළේය. එතැනින් නොනැවතී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරුන් ඉවත් කිරීමට කටයුතු කළේය. එය අපගේ මැතිවරණයට ප්‍රධාන බලපෑමක් එල්ල කළේය. එසේම ඔහු පැවසුවේ තමන් කිසි විටෙකත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය පිරිනොනමන බවයි.

    යම් හෙයකින් මෙවැනි දේ සිදු නොවූවා නම් අද රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාය. පාර්ලිමේන්තුව නැතහොත් අග්‍රාමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේය. මේ අතර සන්ධානයේ 96 දෙනා එක් කරගෙන ආණ්ඩුවක් පිහිටෙව්වද එහි අග්‍රමාත්‍ය ධුරය පිරිනමන්නේ කාටද යන්න පිළිබඳ ජනපතිවරයා සඳහන් නොකළේය. එම ධුරය වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට කටයුතු කළහොත් ඒ ගැනද අප කලබල වියයුතු නැත.

    දූෂිත දේශපාලඥයන්

    මේ අතර ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රට සංවර්ධනය කළ නොහැක්කේ දූෂිත දේශපාලඥයන් නිසා බවයි. ජනපතිවරයාද දේශපාලඥයෙකු බව මෙහිදී ඔහුට අමතක වී ඇත. දේශපාලඥයා යන කාණ්ඩයට ජනාධිපතිවරයාද ඇතුළත් හෙයින් ඔහු තමන්ද ඇතුළු සියලු දෙනාට මෙම චෝදනාව එල්ල කරමින් තිබේ.

    ජනාධිපතිවරයාට මේ වනවිට ඔස්ට්‍රේලියාවෙන් අල්ලස් හා දූෂණ චෝදනාවක් එල්ල වී තිබේ.  ඒ අනුව විදේශ රටකින් අල්ලස් හෝ දූෂණ චෝදනාවක් එල්ල වී ඇති ශ්‍රී ලංකාවේ එකම නායකයා ලෙසද වත්මන් ජනාධිපතිවරයා වාර්තා අතරට එක්ව තිබේ. රටේ නායකයා තමන්ගේ ආණ්ඩුව දූෂිතයි යැයි පිළිගන්නේ නම් පසුගිය අවුරුදු තුනේ රට පාලනය කළ ආකාරය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    බැඳුම්කර විවාදය

    මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා විවාදය සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08 වැනිදා කැඳවන ලෙසට කථානයකවරයාට දැනුම් දුන් බව මොරවක පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. බැඳුම්කර විවාදය පෙබරවාරි 08 වැනිදා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේ මැතිවරණ ප්‍රචාරක කටයුතු 07 වැනිදායින් අවසන් හෙයින් පාර්ලිමේන්තු විවාදයේ කිසිදු දෙයක් ජනතාවට දැනගැනීමට අවස්ථාවක් නොලැබෙන හෙයිනි.

    සත්‍ය වශයෙන්ම බැඳුම්කර හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාද කිරීමට අවශ්‍ය නම් අග්‍රාමාත්‍යවරයා කළ යුතු වන්නේ පෙබරවාරි 07 වැනිදාට පෙර එම විවාදය පැවැත්වීමට කටයුතු කිරීමයි. එවිට හොරු කවුරුන්දැයි යන්න ජනතාවට හෙළිවනු ඇත.

    අනෙක් අතින් පක්ෂ නායක හමු කැඳවමින් බැඳුම්කර වාර්තාව පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම නිශ්ඵල දෙයකි. කළ යුතු වන්නේ කොමිසමේ නිර්දේශ පරිදි බැඳුම්කර ගනුදෙනුවේ අලාභය වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අය කරගැනීමට කටයුතු කිරීමය.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවර මැතිවරණයේදී ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ජනතාව නොමඟ යැවීම වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටින බවයි. මැතිවරණයෙන් පසුව ඔවුන් දෙදෙනා නැවතත් එක්ව රට පාලනය කරනු ඇත. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද පැවැසුවේ මැතිවරණයෙන් පසුව ජනපති – අගමැති දීගය එලෙසින්ම ක්‍රියාත්මක වන බවයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • පොරොන්දු දේශපාලනය හා ආර්ථිකය අතට ගැනීම

    මැතිවරණ කටයුතු සඳහා දිවයින පුරා යෑමට මට සිදුව ඇත. පසුගිය අඟහරුවාදා තීරු ලිපිය ලිවීමෙන් අනතුරුව ගතවූ සතිය තුළදීද මා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා සහාය දැක්වීය. එහිදී මා හට දැකීමට සිදුවූයේ එකම දෙයයි. එනම් පොරොන්දු දේශපාලනය හා කප්පම් දේශපාලනයයි.

    මේ සඳහා උදාහරණ දෙකක් මම ජනතාවගේ දැන ගැනීම වෙනුවෙන් මෙහි සටහන් තබමි. එකක් හම්බන්තොට, සූරියවැව, හත්පෝරුව ගම්මානයේ අම්මා කෙනෙක් මා හට පැවසූ කතාවයි. ඇය සඳහන් කළේ, උදේ එක්සත් ජාතික පක්ෂයෙන් කැන්වසින් ආපු අය පැවසුවේ “එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්නේ නැත්නම් සමෘද්ධිය කැපෙනවා ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී සමෘද්ධිය ආරක්ෂා කරගන්න” යන්නයි.

    එදිනම සවස  පැමිණ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිස් පවසා ඇත්තේ, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය භාවිත කළොත් සමෘද්ධිය ආරක්ෂා වෙනවා” කියලයි. ඉතින් ඇය මට කිව්වේ “පුතේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නත් සමෘද්ධිය කැපෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නත් සමෘද්ධි කැපෙනවා. කොහොමත් සමෘද්ධිය කැපෙන නිසා මම පොහොට්ටුවට ඡන්දය දෙනවා” යනුවෙනි.

    පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල එක පක්ෂයකින් මෝල් ගහක් දීලා අනෙක් පක්ෂයෙන් වංගෙඩියක් දෙනවා. නමුත් පොළොන්නරුවේ බහුතරයක් ගොවීන් කන්න හතරක් වගාකර නෑ. ඒ අය ජීවත් වෙන්නේත් නොයෙකුත් ආර්ථික අපහසුතා මධ්‍යයේයි. ඔවුන්ට මෝල් ගසින් හා වංගෙඩියෙන් කෙටීමට වී වත් සහල්වත් නොමැත. වසර තුනක කාලයක් ජනතාව පිළිබඳව  තඹ සතකයට නොසිතමින් කටයුතු කළ ආණ්ඩුවට මැතිවරණය ළං වූ විට දැන් ජනතාව මතක් වී තිබේ.

    එමෙන්ම වසර තුනක් ගතවූ විට දැන් ආණ්ඩුව තම ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක බව පිළිගෙන ඇත. කුරහන් සුවඳ තීරු ලිපි මාලාව හරහා අප දිගින් දිගටම සඳහන් කළේ ආණ්ඩුවේ ආර්ථික හැසිරවීම අසාර්ථක බවත්, රටේ ආර්ථිකය හසුරවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයන් තිදෙනෙකුගෙන් බවයි. හාල් කිලෝව රුපියල් 100 ඉක්මවන විටත්, පොල් ගෙඩිය රුපියල් 100 ඉක්මවන තෙක්ම වගේ වගක් නොමැතිව ආණ්ඩුව කටයුතු කළේය. දැන් අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ පසුගිය වසර තුනේදී ආර්ථිකය හැසිරවූයේ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස බවත් එහිදී ජනතාවට බරපතළ ආර්ථික ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවෙමින් තිබෙන බවත්ය.

    ඒ අනුව ඉදිරියේදී තමන් ආර්ථිකය හසුරවන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීමටද නැතහොත් ඇත්ත තත්ත්වය අවබෝධ කරගෙනදැයි යන්න දන්නේ ජනපතිවරයාම පමණයි. කෙසේ වෙතත් පැහැදිලිම දේ වන්නේ ආර්ථික ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවයි. නමුත් ආණ්ඩුවේ අසාර්ථක වීම හේතුවෙන් අවසන් වශයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ අහිංසක ජනතාවටම පමණි.

    මේ අතර කතරගම ඇති වූ සිදුවීම සතිය ආරම්භයේදී බොහෝ දෙනෙකුගේ අවධානයට පත් විය. පොලීසිය එල්ල කළ වෙඩි පහරින් අහිංසක පුද්ගලයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව ඇත. මෙම සිදුවීම යම් හෙයකින් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළදී ඇතිවූවා නම් අනිවාර්යෙන්ම එම වගකීම පැවැරෙන්නේ මහින්ද රාජපක්ෂයට. වෙඩි තැබුවේ මහින්ද රාජපක්ෂය.  රතුපස්වල, මීගමුව හා කටුනායක ඇතිවූ සිදුවීම් සඳහා වගකිව යුතු බවට එවකට මැතිවරණ වේදිකාවේදී දැන් බලයේ සිටින පිරිස් කෑ මොර දෙමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ බවයි.

    නමුත් කතරගම සිදුවීමේ වගකීම පොලීසියේය. රතුපස්වලට, මීගමුවට, කටුනායකට මහින්ද රාජපක්ෂ වගකිවයුතු බවට ඔවුන් පවසන්නේ නම් කතරගම සිදුවීමටද වගකිව යුත්තේ අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

    එදා රතුපස්වල සිදුවීම සිදුවන එම ප්‍රදේශය බාරව සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කතරම පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන බව වාර්තා වෙයි. එමෙන්ම 21දා දහවල් සිවිල් ආරක්ෂක කමිටු කැඳවමින් ඔහු ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ “මම තමයි රතුපස්වල සිටියේ. මෙතැනත් වැඩිපුර දඟලන්න ආවොත් බලාගන්නම්. මම කාටවත් බය නෑ” යනුවෙනි. මේ බව සනාථ කිරීමට ගම්වාසීන් දැන් දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම පැවසුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට බාර දෙන විට හිමිවූයේ මීතොටමුල්ල කුණු කන්ද මෙන් ණය කන්දක් බවයි.   අනෙක් අතින් ඔවුන් සඳහන් කළේ ණය ලබාගන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට බවයි. මෙසේ පැවසූ ආණ්ඩුව වසර තුනක් ගතවන විට රුපියල් බිලියන 3000කට ආසන්න ණයක් ලබාගෙන ඇත.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී යුද්ධය නිම කිරීමට හා රට සංවර්ධනය කරන අතරේ ලබාගත් සමස්ත ණය ප්‍රමාණය ප්‍රමාණය රුපියල් බිලියන 5000ක් විය. එයින් අඩකටත් වැඩි ණය ප්‍රමාණයක් වසර තුනක් තුළ යහපාලන රජය ලබාගෙන ඇත්තේ දිනකට රුපියල් බිලියන 3ක  අගයක් ලෙසිනි. කෙසේ වෙතත් සමස්ත ණය ප්‍රමාණයේ අඩුවක් නොවූ අතරම සංවර්ධනයක්ද සිදුව නොමැත. අනෙක් අතින් ආර්ථිකය අතට ගන්නා ජනපතිවරයා මේ ණය ගැන සොයන්නද කොමිසමක් පත්කරාවිද යන්න ඉදිරියේදී අවධානය යොමු කළයුතු කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • මතින් තොර රටක්?

    මහින්දි රාජපක්ෂ ආණ්ඩුව සමයේදි අපට මුහුණ දීමට ප්‍රධාන වශයෙන් අභියෝග  තුනක් තිබුණි. එකක් යුද්ධයය. දෙවනුව සංවර්ධනයයි. තෙවනුව මතින් රට මුදවා ගැනීමය.එකින් එක නොව මෙම අභියෝග තුනම එක්වර ජය ගැනිමට අප කටයතු කළේය. යුද්ධය අවසන් කරන අතරතුරේදීම නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය ආදී ව්‍යාපෘති මගින් යුද්ධය ඇතිව තිබූ ප්‍රදේශද ඇතුළත්ව සමස්ත රටම සංවර්ධනය කිරිමට කටයුතු කළෙමු.

    මේ අතර මතින් රට මුදවා ගැනීම සඳහා ‘මතට තිත’  යනුවෙන් වෙනමම වැඩසටහනක්ද දියත් කළෙමු.එය සාර්ථකව අප ඉදිරියට කරගෙන ආවෙමු. අපේ ආණ්ඩුව යටතේදී ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීම සඳහා සියලු සැලසුම් කර තිබූ අතර එම කාලයේදීම ආණ්ඩු මාරු විය. කෙසේ වෙතත් සැලසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ අතර අවසානයේදි වෙලේ සුදා අත්අඩංගුට පත්විය.

    ආණ්ඩුමාරුවීමත් සමග වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට මතින් මුදවා ගැනීම වෙනුවෙන් මතින් නිදහස් රටක් ව්‍යාපෘත්ය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේය.ඒ සඳහා අවංකවම ඔහු ක්‍රියාමාර්ග කිහිපයක් ගනු ලැබිය. නමුත් ආණ්ඩුවේම අනෙක් පාර්ශ්වයේ කකුලෙන් ඇඳිම හේතුවෙන් ඔහුට සිය අරමුණ ඉදිරියට පවත්වාගෙන යා නොහැකි තත්තවකට පත්ව ඇත.

    ජනපතිවරයා මතින් රට නිදහස් කර ගැනීමට විවිධ ව්‍යාපෘති ක්‍රියත්මක කරන අතරේදි මුදල් අමාත්‍යාංශය සිදුකරන්්නේ මත්ද්‍රව්‍ය හා පමත්පැන් ප්‍රවර්ධනය කිරීමට වැඩසහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමය. මෑත කාලයේදි මුලින්ම සිදුකළේ කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිලට ගැනීමටත් හා කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීමට අවස්ථාව ලබාදීමට ආදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරිමය.

    ඉන් අනතුරුව තැබෑරුම්හල් විවෘතව තබන වේලාවන් සංශෝධනය කරමින් කාණ්ඩ අනුව උදෑසන 8 සිට අලුයම  2 දක්වා ඒවා විවෘතව තැබිමට අවශ්‍ය නීති සම්පාදලයකිරීමයි. මේ හරහා  අවසානයේදී සිදුවීමට තිබුණි. ඒක් අතකට මෙය රාජ්‍ය නොවන සංවිධාන විසින් අනාධිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ පවත්නා බෞද්ධ සංස්කෘතිය, දර්ශනය විනාශ කිරීමට ගන්නා වූ පියවරයන්හි ප්‍රතිඵලද යන්න පිළිබඳව වෙනමම පරීක්ෂා කළ යුතු වෙයි.

    සුපුරුදු පරිදි රටේ ජනපතිවරයා මෙම ප්‍රවෘත්තිය දැක තිබුණේද මාධ්‍ය මගිනි. ඒ අනුව රට පාලනය කරන්නේ කවුදැයි යන්න ජනතාවට ඇති ප්‍රශ්නය තවදුරටත් කුතුහලයක් ලෙස පවතිනු ඇත.  නැවතත් මාධ්‍ය තුළින් ප්‍රවෘත්තිය දුටු ජනපතිවරයා සඳහන් කළේ එම ගැසට් නිවේදන අවලංගු කිරීමට කටයුතු කරන බවයි.

    ජනපතිගේ ධුර කාලය

    සිය ධුර කාලය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ ජනපතිවරයගේ ධුර කාලය වසර පහකට සිමා වන බවයි. 19 වැනි සංශෝධනය ගෙනවිත් ජනපතිවරයා එය වසර 5කට අඩුකර තිබියදී නැවත වරක් ඔහු සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූයේ ඇයිදැයි ගැටලුවකි.

    තීතිය අනුව ජනපතිවරයට එසේ සිය ධුරට කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ගැටලුවක් නොවේ.  නමුත් මේ සියල්ල හරහා අපට පෙනී යන කරුණක් වනනේ ජනපතිවරයා නැවත වරක් ජනපතිවරණයකට ඉදිරිපත්වීමට සූදානම් වෙනවා යන්නයි.

    අනෙක් අතින් ජනපතිවයාගේ ධුර කාලයෙන් පහෙන් තුනක් දැනටමත් අවසන් වී ඇත. ඒ අනුව ඔහු ජනතාව වෙනුවෙන් දුන් පොරෝන්දු බහුතරකයක්  ඉටුකිරීමට ඇත්තේ තවත් වසර දෙකක පමණ කාලයකි. දින 100 පටන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු දක්වා බහුතරයක් ලබාදුන් පොරොන්දු ඉටුකිරිමට ජනපතිවරයා කටයුතු කළ යුතුව ඇත.

    එසේ නොවුණ හොත් ජනතාව ඔහු වෙනුවෙන් තවදුරටත් විරෝධය දක්වනු ඇත. අනෙක් අතට ජතාට ඉදිරියේදි ඉටුකිරිමට තවත් බොහේ දෑ ඇති බව පවසමින් ජනපතිවරයා ඉදිරියේද අමාත්‍යාංශ කිහිපයක් හෝ තමා යටතට පවරා ගැනිමට කටයුතු කරනු ඇත.

    සහල් මාෆියාව

    මේ වන විට රටේ මාෆියා කිහිපයක්ම ක්‍රියාත්මක වෙසින් තිබේ. පළමුව සහල් මාෆියාවයි. 2015 වසරේ ජනවාරි මස 08 දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට රට බාරදෙන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබුණි. හොඳම උදාහරණය නම් ලැබුණා වූ වී අස්වැන්න ගබඩා කිරිමට මත්තල ගුවන් තොටුපොළ පවා යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.  කෙසේ වෙතත් මෙහිදී ගොවියාට වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබුණ අතරම පාරිභෝගිකයන්ටද අවම මිලක් යටතේ සහල් ලබාගැනීමට අවස්ථාව තිබුණි.

    මෙසේ ලැබුණා වූ වී අස්වැන්න ක්‍රමයෙන් අඩුවී ගියේය. ස්වාභාවික හේතුද ඒ සඳහා බලපෑ බව කිව යුතුය. නමුත් කෘෂිකර්මාන්තය බාර වත්මන් අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වී අතිරික්තයක් ඇති හෙයින් විකල්ප වගාවන් වෙත වී ගොවියන් යොමුවිය යුතු බවය. මේ හරහා වි ගොවීන් වි නිශ්පාදය කිරීම අධෙර්මත් විය.

    අනෙක් අතින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  ලබාදුන් පොහොර සහනාධාරය  කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. පොහොර නැව් එනතෙක් ගොවියන්ට බලා සිටීමට සිදුවිය. ගතවූයේ වසර තුනකි. දැන් රටින් හාල් ගෙනන තත්ත්වයට පත්ව ඇත්. එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද දක්වා මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් බැගින් ආනයනය කිරීමට තීරණය කර අවසන්ය.මේ හරහා ගැටලු රාශියක් උද්ගත වෙයි. පළමුවෙන්ම එය වෙළඳ ශේෂයට සෘණාත්මක ලෙස බලපානු ලබයි. දිගින් දිගටම ආනයනය කිරීම හරහා අපගේ මුදල් විදේශයන්ට ඇදි යන අතර ඒ හා සාපේක්ෂව අපනයන සිදු නොවීමෙන් ගෙවුම් ශේෂයේ සෘණ අගය වැඩි වෙනු ඇත.

    අනෙක් අතින් විදේශයන් සිට ආනයනය කරන සහල් සාපෙක්ෂ වශයෙන් අවම මිලක් යටතේ අලෙවි කරනු ලබයි. මෙහි ගුණත්වය වෙනමම සලකා බැලිය යුතු තත්ත්තවයකි. අවම මිලට විදේශීය සහල් අලෙවි කිරීම හරහා දේශීය සහල් අලෙවි වීම අඩුවශයෙන් සිදුවීමෙන් එහි අවසන් බලපෑමද සිදුවෙන්නේ ගොවියාටය. ඉදිරියේදී ඔවුන්ට නැවතත් කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට සිය වී අලෙව් කිරීමට සිදුවෙනු ඇත. මේ සහල් මාෆියාව පසු පස සිටින්නේ කවුදැයි යන්න අමුතුවෙන් ජනතාවට පැවැසීමට අවශ්‍ය නොවන අතර ජනතාව එය හොඳාකාරවම දනී.

    ලබන සතියේදී යළිත් හමුවෙමු.

    ඔබට සුබ අනාගතයක්!

     

  • මාෆියා ආණ්ඩුව!

    මෙවර බ්ලොග් සටහනට මාෆියාව යන නම යෙදීමට විශේෂ හේතුවක් තිබේ. ඒ රට පාලනය කරනන පුද්ගයන් විවිධ වූ ආකාරයට මාෆියාවන් ක්‍රියාත්කමක කරමින් සිටීමත් සෘජුව හා වක්‍රාකාරව ඒ සඳහා උපකාර කිරීමට කටයුතු කිරිමත් හේතුවෙනි.

    මුලින්ම මෙය විශ්ලේෂණය කිරීමට ආරම්භ කරන්නේ සහල් මාෆියාවෙනි. මාගේ මතකය නිවැරදි නම් 2003 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  කුඹුරු ඉඩම් ගොඩකරමින් ඒවා සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගත යුතු බවයි.

    නමුත්  එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාට සිය ධුර කාලය තුළදී එය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවූයේ 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්වීමත් සමගිනි. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකම අරමුණක් වූයේ රට සංවර්ධනය කිරීමට නම් කෘෂිකර්මාන්තය සංවර්ධනය කළ  යුතුය යන්නය.

    විවිධ වූ ක්‍රියාමාර්ග ගනිමින් මහින්ද රජපක්ෂ ආණ්ඩුව කෘෂිකර්මාන්තය නගා සිටුවීමට පියවර ගත්තේය. පොහොර සහනාධාරය  ලබාදිම ඒ අතරින් ප්‍රමුඛ කාර්යයකි. මීට අමතරව අපි වවමු රට නගමු ව්‍යාපෘතිය, මොරගහනක්ද  ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීම හරහා කෘෂිකර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගත්තේය.

    2015 වසරේ ජනවාරි මස 08 දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාට රට බාරදෙන විට සහලින් රට ස්වයංපෝෂිතව තිබුණි. හොඳම උදාහරණය නම් ලැබුණා වූ වී අස්වැන්න ගබඩා කිරිමට මත්තල ගුවන් තොටුපොළ පවා යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.  කෙසේ වෙතත් මෙහිදී ගොවියාට වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ලැබුණ අතරම පාරිභෝගිකයන්ටද අවම මිලක් යටතේ සහල් ලබාගැනීමට අවස්ථාව තිබුණි.

    මෙසේ ලැබුණා වූ වී අස්වැන්න ක්‍රමයෙන් අඩුවී ගියේය. ස්වාභාවික හේතුද ඒ සඳහා බලපෑ බව කිව යුතුය. නමුත් කෘෂිකර්මාන්තය බාර වත්මන් අමාත්‍යවරයා වරක් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට වී අතිරික්තයක් ඇති හෙයින් විකල්ප වගාවන් වෙත වී ගොවියන් යොමුවිය යුතු බවය. මේ හරහා වි ගොවීන් වි නිශ්පාදය කිරීම අධෙර්මත් විය.

    අනෙක් අතින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  ලබාදුන් පොහොර සහනාධාරය  කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. පොහොර නැව් එනතෙක් ගොවියන්ට බලා සිටීමට සිදුවිය. ගතවූයේ වසර තුනකි. දැන් රටින් හාල් ගෙනන තත්ත්වයට පත්ව ඇත්. එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද දක්වා මසකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් බැගින් ආනයනය කිරීමට තීරණය කර අවසන්ය.

    මේ හරහා ගැටලු රාශියක් උද්ගත වෙයි. පළමුවෙන්ම එය වෙළඳ ශේෂයට සෘණාත්මක ලෙස බලපානු ලබයි. දිගින් දිගටම ආනයනය කිරීම හරහා අපගේ මුදල් විදේශයන්ට ඇදි යන අතර ඒ හා සාපේක්ෂව අපනයන සිදු නොවීමෙන් ගෙවුම් ශේෂයේ සෘණ අගය වැඩි වෙනු ඇත.

    අනෙක් අතින් විදේශයන් සිට ආනයනය කරන සහල් සාපෙක්ෂ වශයෙන් අවම මිලක් යටතේ අලෙවි කරනු ලබයි. මෙහි ගුණත්වය වෙනමම සලකා බැලිය යුතු තත්ත්තවයකි. අවම මිලට විදේශීය සහල් අලෙවි කිරීම හරහා දේශීය සහල් අලෙවි වීම අඩුවශයෙන් සිදුවීමෙන් එහි අවසන් බලපෑමද සිදුවෙන්නේ ගොවියාටය. ඉදිරියේදී ඔවුන්ට නැවතත් කුණු කොල්ලයට වී මෝල් හිමියන්ට සිය වී අලෙව් කිරීමට සිදුවෙනු ඇත. මේ සහල් මාෆියාව පසු පස සිටින්නේ කවුදැයි යන්න අමුතුවෙන් ජනතාවට පැවැසීමට අවශ්‍ය නොවන අතර ජනතාව එය හොඳාකාරවම දනී.

    අනෙක් මාෆියාව පස් හා වැලි ජාවාරමයි. මේ මාෆියාවට විරුද්ධව හඩක් නැගූ මා මිත්‍ර රංජන් රාමනායක මහතාට අවසානයේදී දිවුලපිටිය ආසනය පවා අහිමිවිය. ඔහුම ප්‍රකාශ කර තිබුණේ තමන්ට ආසනය අහිමිවූයේ පස් ජාවාරම්කරුවන්ට එරෙහිව පෙනී සිටීම නිසා බවයි.

    වත්මන් රජය විසින් වැව් හෑරීමට ව්‍යාපෘතියක් පටන් ගෙන තිබේ. එම කෙනාත්‍රාත්තුව බාරගත් කොන්ත්‍රාත් කරුවන් වැව් හාරනවා වෙනුවට කරන්නේ වැව් තාවුල්ල හානී කරමින් වැලි හා පස් ලබා ගැනීමට කටයුතු කිරීමයි. පස් හෝදා ලැබෙන වැලි වෙනමත් ඉවත් වන පස් වෙනමත් විකිණිමේ මාෆියාවක් ක්‍රායාත්මක වෙමින් තිබේ.

    අනෙක් අතින් ඉවක් බවක් නොමැතිව ඔවුන් වැව් හාරන්නේ වැවේ පතුලටද හානි කරමිනි. මේ හරහා වැවේ ජල ධාරිතාව වැඩි වෙනවා යැයි කීවත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැවේ පතුලට හානි කිරීමෙන් වැවේ ජලය පොළවට උරා ගැනීම වේගවත් වීමයි.

    අනෙක් අතට වත්මන් රජය වැව් හාරන ආකරයට පසුගිය දිනවල ලැබුණු වර්ශාවෙන් වැව් පෝෂණය වීම සිදුවිය යුතුව තිබුණි. නමුත් එවැන්නක් සිදුනොවුණි. සිදුවූයේ තිබන ජලය පවා අහිමිවීමක. මා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කය ඒ සඳහා හොඳම උදාහරණයයි.

    මේ වැලි හා පස් ජාවාරම පසුපස සිටින්නේ කවුදැයි කියා අමුතුවෙන් ජනතාවට කීමට අවශ්‍ය නොවන බවද නැවතත් මතක් කරන්නෙමි.

    ඔබට සුබ අනාගතයක්!

  • අසාර්ථක වසර තුනක්

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්ව තෙවසරක් ගතවන අවස්ථාවේ මේ සතියේ “කුරහන් සුවඳ” තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉදිකළ හම්බන්තොට වරායේ චීන කොඩි ඔසවා තිබේ. ඒ සැමට ඉහළින් තිබූ     ශ්‍රී ලංකා කොඩිය පහත් කරමින් චීන හා ශ්‍රී ලංකා කොඩි එක මට්ටමකට ගෙන එමිනි.

    ජනාධිපතිවරයාගේ තෙවැනි පදවි ප්‍රාප්තිය සමරනුයේ ශ්‍රී ලංකාවේ සිදු වූ ලොකුම කොල්ලයට චූදිතයන් වූ  අග්‍රාමාත්‍යවරයා ආරක්‍ෂා කර ගනිමිනි. බැඳුම්කර වාර්තාව පිළිබඳ ප්‍රකාශයක් කර ජනාධිපතිවරයා එය නීතිපතිට යොමුකර ඇත. ඒ හරහා ඔහුගේ වගකීම අවසන්ය. දැන් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටය.

    මේ අතර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාවද අගමැතිවරයා නීතිපතිවරයාට යොමු කළේය. ඒ අනුව එම වාර්තාව සම්බන්ධයෙන්ද ඉදිරියට වගකීම ඇත්තේ නීතිපතිවරයාගේය.

    ඒ අනුව ජනාධිපති හා අගමැති බැඳුම්කර පන්දුව නීතිපතිට යොමුකර ඔවුන්ගේ අත් පිසදා ගෙන තිබේ. දැන් ජනතාව බලා සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්නය.

    කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කර මාස කිහිපයක් ගතව ඇතත්, ඒ සඳහා ගත් ඉදිරි පියවරක් නොමැත. එම තත්ත්වයම බැඳුම්කර වාර්තාවටත් අත්වෙනු ඇත. කාලයක් ගත වූ විට ජනතාවටම එය අමතක වනු ඇත.

    ජනාධිපතිවරයාගේ තෙවැනි පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් රාජගිරිය ගුවන්  පාලම හා මොරගහකන්ද ජලාශය ජනතාව වෙනුවෙන් විවෘත කිරීම සිදු කළේය. මේ ව්‍යාපෘති දෙකම ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේය.

    මෙම ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ ලබන්නේ ජනතාව වන හෙයින් ප්‍රමාද වී හෝ එම ව්‍යාපෘති ජනතාවට විවෘත කර දීමට රජය කටයුතු කිරීමට ස්තුතිවන්ත වෙමි. මේ ආකාරයටම වරාය නගරය, උමාඔය ව්‍යාපෘතිය, නෙළුම් කුළුණ නියමිත පරිදි ඉදි කිරීමට රජය අවස්ථාව දුන්නේ නම් එම ව්‍යාපෘති අවසන් අදිරයට පැමිණීමට හැකියාව තිබිණි.

    කුමන ව්‍යාපෘතියක් අවසන් කළද, එය සිදුවන්නේ ජනතා මුදලිනි. නමුත් වත්මන් ආණ්ඩුව පවසනුයේ මේ ව්‍යාපෘති සඳහා මුදල් ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා බවයි. නමුත් පවසනුයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සොරකම් කර ඇති බවය.

    ජනාධිපතිවරණ කාලසීමාවේදී රාජගිරිය ගුවන් පාලමෙන් කොමිස් ගත් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැතිවරණ වේදිකාවල පැවසීය.

    දැන් කතාව කණපිට හරවමින් කියනුයේ රාජගිරිය ගුවන් පාලමට මුදල් ගෙනාවේ ජනාධිපති හා අගමැති බවය. මෙයින්ම යහපාලන ආණ්ඩුවේ බොරුව හොඳින්ම පැහැදිලි වෙයි. එදා කොමිස් ගත්තා යැයි පැවසූ රාජගරිය ගුවන් පාලමට මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාය. ජනාධිපතිවරණ සමයේ කළ අනෙකුත් ප්‍රකාශද මේ ආකාරයටම වෙයි. කෙසේ වෙතත් ජනතාව දැන් යහපාලන ආණ්ඩුවේ අසත්‍ය ප්‍රචාරවලට හසු නොවනු ඇත.

    මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් පවත්වන ලද පළමු ජන හමුව පසුගියදා කඩවතදී පැවැත්විණි. ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක්ද ලැබිණි. එම ජනතාව දුටු ආණ්ඩුව දැන් කලබලයට පත්ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් මේ ආරම්භය පමණි.

    මේ අතර මැතිවරණය වෙනුවෙන් කොළඹ මහනගර සභාව වෙනුවෙන් තරග වදින අපේක්‍ෂකයන්ට සහාය දැක්වීම වෙනුවෙන් කොළඹ පැවැති ජනහමු කිහිපයකට එක්වීමට පසුගිය දින කිහිපයේදීම මා හට අවස්ථාව ලැබිණි. මීට සමගාමීව කොළඹ නගරයේ ජනතාව ජීවත් වන නිවාස වෙත ගමන් කිරීමද ආරම්භ කළේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලැබී ගැනීම වෙනුවෙනි.

    සමස්ත ජනතාවම බැට කන ජීවන වියදම් ප්‍රශ්නය කොළඹ ජනතාවට තදින්ම දැනී ඇත. ග්‍රාමීය ජනතාවට සාපේක්‍ෂව නගර බද ජනතාව එදිනෙදා සිය ජීවිතය පවත්වාගෙන යෑම සඳහා විශාල අරගලයක නිරත වන බව මෙහිදී පැහැදිලිව දක්නට ලැබිණි.

    අනෙක් අතින් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ඉබි ගමනින් ඉදිරියට යනවා හැරෙන්නට වත්මන් ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතියක් නොමැති තරම්ය.

    කොළඹ නගරයේ ව්‍යාපාරිකයෝද දැඩි ලෙස ගැටලු රැසකට මුහුණපා සිටිති. ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිරිසුදු නගරයක් බවට පත්කිරීම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මේ වන විට සිදු නොවන බව ජනතාව පැවසූ ප්‍රධාන කරුණකි. අනෙක් අතින් කොළඹ කොටුව ආසන්නයේ පවතින පාවෙන වෙළෙඳ සැල් සංකීර්ණයද දැන් අභාවයට යමින් තිබේ. හම්බන්තොටද, කොළඹද, යාපනයද, නුවරද කියා භේදයක් නොමැත. ජනතාව ආර්ථික ප්‍රශ්න හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. මේ සියල්ලෙන්ම පෙනෙනුයේ වත්මන් රජය පත්ව තවත් අසාර්ථක වසර තුනන් අවසානයේදී තවත් අසාර්ථක වසරක් ආරම්භ වෙමින් තිබෙන බවයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    සුබ අනාගතයක්!