• කැබිනට් සංශෝධනය විසඳුමක්ද?

    පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සැසියට එක්වීම සඳහා එංගලන්තය වෙත ගොස් සිටින අවස්ථාවක මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. එම අවස්ථාව නියෝජනය කිරීමට කථානායක කරු ජයසූරිය මහතා මා හට අවස්ථාවක් ලබාදීම පිළිබඳ ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. මෙම සැසියට එක්වීමෙන් ලැබෙන අත්දැකීම් තවදුරටත් ජනතාව වෙනුවෙන් සේවය කිරීම වෙනුවෙන් යොදා ගැනීමට අපේක්ෂා කරමි.

    මෙවර තීරු  ලිපිය වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන කැබිනට් මණ්ඩල සංශෝධනය මාතෘකාව බවට පත් කර ගැනීමට අපේක්ෂා කරමි. පළාත් පාලන මැතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය අනුව තුෂ්ණිම්භූතව සිටින ආණ්ඩුව එයින් බේරීමට බොරු ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කළේය. ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන්ම මේ කැබිනට් සංශෝධනයෙන් තෘප්තිමත් වී නොමැත.

    රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා පවසන්නේ මෙය කොමඩි නාට්‍යයක් බවත්, එහි පළමු අදියර රඟදැක්වීමෙන් අනතුරුව ඉදිරියේදී දෙවැනි අදිරය රඟදැක්වෙනු ඇති බවත්ය. සත්‍ය ලෙසම සිදුවූයේ එයයි. මුල්වරට සිදු කළේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කිරීම පමණකි. සත්‍ය ලෙසම පවසන්නේ නම් විෂය කිහිපයක් වෙනස් කිරීම පමණි.

    නමුත් ජනතාව අපේක්ෂා කළේ මෙම පුහු කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොවේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයෙන් ඔවුන් පෙන්වූයේ වත්මන් රජය ජනතාව වෙනුවෙන් සේවය කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරගැනීමටය. අපි දිගින් දිගටම මහ මැතිවරණයක් පවත්වන ලෙසට ආණ්ඩුවට බල කරන්නේ එහෙයිනි.

    නැතහොත් ජනතාව ආණ්ඩුවට මේ දක්වන්නා වූ දැවැන්ත විරෝධය වැඩි කල් නොගොස් පිපිරෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

    නැවතත් අපි කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ කතා කරන්නේ නම් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම  ඇමති මණ්ඩල සංශෝධනය විද්‍යාත්මක පදනමක් ඔස්සේ සිදුකරන බවයි. නමුත් සත්‍ය ලෙසම විද්‍යාත්මක පදනමක් අනුව කැබිනට් සංශෝධනය සිදු කළේදැයි යන්න පිළිබඳ උදාහරණයක් ඔස්සේ පැහැදිලි කළ හැකිය. එනම් 70 වැනි වියට පාතබමින් සිටින පියසේන ගමගේ මහතාට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමයි. තරුණ කටයුතු අමාත්‍ය ධුරය සාමාන්‍යයෙන් හිමිවිය යුත්තේ තරුණ මන්ත්‍රීවරයෙකුට වුවත් විද්‍යාත්මකව එය සිදු නොවීය.

    මේ වනවිට ජනතාව ජීවන වියදමින් බැට කමින් සිටිති. ඒ අතරේම ගොවියාගේ වී අස්වැන්න කුණු කොල්ලයට මහා පරිමාණ මෝල් හිමියන් විසින් මිලදී ගනිමින් තිබේ. වී අස්වැන්න මෝල් හිමියන් මිලට ගත්තද, එය සහල් බවට පරිවර්තනය වී ජනතාවට අඩු මිලකට වෙළෙඳ පොළට නොඑයි. මේ තිබෙන සහල් මාෆියාව යට සිටින්නේ කවුරුන්දැයි ජනතාව හොඳ අවබෝධයක් තිබේ.

    කැබිනට් මාරුවක් සිදු කිරීමෙන් පමණක් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත. වී අලෙවි මණ්ඩලය භාරව සිටින අමාත්‍යවරයා එයින් ඉවත්කර මේ ආණ්ඩුවම නියෝජනය කරන වෙනත් පුද්ගලයෙකු වී අලෙවි මණ්ඩලය බාරව සිටින අමාත්‍යවරයා බවට පත් කිරීම හරහා වී ගොවියාට සාධාරණ මිලක් හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාගැනීමේ අවස්ථාව හිමි නොවනු ඇත.

    ඒ නිසා පුහු ඇමති මාරුවකින් එහාට ගිය වෙනසක් ජනතාවට අවශ්‍ය වී ඇත. ඒ වෙනස ජනතාව වෙනුවෙන් ලබාදීමට අපි දිගින් දිගටම කටයුතු කරමින් සිටිමු.

    ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් ණය වාරිකයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ. එම කොන්දේසි අතර තෙල් මිල ඉහළ දැමීම,  විදුලිය මිල ඉහළ දැමීම වැනි දෑ ඇති බව දැනගන්නට තිබේ.

    එමෙන්ම ජාත්‍යන්තරයේ ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බවට ශ්‍රී ලංකාවේ ගෑස් සමාගම් දෙකම රජයෙන් ඉල්ලා තිබේ. රජය ගෑස් මිල ඉහළ නොදමන බවට සඳහන් කළද පෞද්ගලික සමාගම් අලාභ ලබමින් දිගින් දිගටම සිය සේවා ලබාදෙනු ඇතැයි විශ්වාස කළ නොහැක. ත්‍රිරෝද රථකරුවන්ද සඳහන් කරන්නේ සිය අමතර කොටස් මිල ගණන් 150෴කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී තෙල් මිල ඉහළ යනු ඇත. විදුලි බිල මිල ඉහළ යනු ඇත. ගෑස් මිල ඉහළ යනු ඇත. ත්‍රිරෝද රථ කුලිය ඉහළ යනු ඇත. තෙල් මිල ඉහළ යෑමට සාපෙක්ෂව තවත් බොහෝ සේවා රැසක මිල ඉහළ යනු ඇත.

    මේ සඳහා මුහුණදීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැත. එක් අවස්ථාවක ඉන්දියාවට අවශ්‍ය ලෙස වැඩ කරයි. තවත් අවස්ථාවක ඇමෙරිකාවට අවැසි ලෙස වැඩ කරයි. තවත් අවස්ථාවක යුරෝපයට,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමයට, ලෝක බැංකුවට අවැසි ලෙස වැඩ කරයි. මේ අනුව ආණ්ඩුව කිසිදු දැක්මක්, වැඩපිළිවෙළක් නොමැතිව ගමන් කරමින් තිබේ.

    පවත්නා දේශපාලන අස්ථාවරත්වය හමුවේ විදේශ විනිමය ලැබීම අඩුවීම් හේතුවෙන් රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වී තිබේ. අපි දිගින් දිගටම මෙහි අහිතකර බව පෙන්නුම් කළෙමු. නමුත් විදේශ විනිමය ගෙන්වාගැනීමට අදාළව කිසිදු වැඩසටහනක් රජයට නොමැත. ආයෝජන ගෙන්වාගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැත.

    රුපියල අවප්‍රමාණය වීම හරහා සිදුවන ප්‍රධානම අවාසියක් වන්නේ ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු ඩොලර් ණයවල අගය වැඩිවීමයි. මේ ආණ්ඩුව ගෙවීගිය අවුරදු තුනට කළේද ණය ගැනීම හා රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම පමණි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • ජනපතිතුමනි ‘’හෙට’ දිනය උදා වී අවසන්ය.

    පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂයත් පුන පුනා පැවසූ කරුණක් වූයේ පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩුවක් වෙනස් නොවන බවයි. නමුත් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත්  පාලන මැතිවරණය මේ වනවිට ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

    පළාත් පාලන මැතිවරණයකින් ආණ්ඩු වෙනස් විය නොහැකි බව පවසන උදවියට පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුව වෙනස් කළේ කොහොමදැයි යන්න පිළිබඳ දැන් අමතක වී තිබේ. එම මැතිවරණය පැවැත්වූයේ රටේ ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් වුවද, පත්වූ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ලෙස එවකට බහුතරයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසුරුවා හැර සුළුතරයක්ව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කළේය.

    ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 43කි. සන්ධානයට පාර්ලිමේන්තුවේ හිමිව තිබූ ආසන සංඛ්‍යාව 162කි. එවිට ජනාධිපතිවරණයකින් පසුව අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමට ජන වරම යොදාගත්තේ නම් මේ ජනවරම ආණ්ඩුව පෙරළීමට නොවන බව පවසන්නේ මන්දැයි යන්න ගැටලුවකි.

    මැතිවරණය පවත්වා අද (20දා) වනවිට දින දහයක් ගෙවී ගොස් අවසන්ය. රට අරාජික තත්ත්වයට පත්ව තිබේ. අමාත්‍යාංශ මට්ටමින් කිසිදු කාර්යයක් සිදු නොවේ. රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබේ. කොටස් වෙළෙඳ පොළ කඩාවැටී තිබේ. ආයෝජන නවතින තැනට රට පත්ව තිබේ. නමුත් ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට මේ ගැන කිසි ගාණක් නොමැත.

    අග්‍රාමාත්‍යවරයා සිය අග්‍රාමාත්‍ය තනතුරත්, පක්ෂ නායක තනතුරත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රට පසෙක දමා කටයුතු කරමින් තිබේ. අරලියගහ මන්දිරයේදී එජාප මැති ඇමතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහ, රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වමින් තම පුටුව ආරක්ෂා කරගැනීමේ සටන මෙහෙයවමින් තිබේ.

    කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය ලෙසත්, පොදුජන පෙරමුණ ලෙසත් මේ සිදුවීම් දාමය පිළිබඳ අපි මහත් ඕනෑකමින් අවධානය යොමුකර සිටිමු. අපේ ස්ථාවරත්වය දැනටමත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ අගමැති ලෙස පත්කර සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් අප විපක්ෂයේ සිට ඒ සඳහා සහාය ලබාදෙන බවයි.

    මෙම සහාය දීම වෙනුවෙන් අපි කිසිම තනතුරු ලබාගැනීමක් අපේක්ෂා නොකරමු. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුරයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 96 දෙනා තමන්ට සහාය දක්වන්නේ  නම් “හෙට වුණත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කරනවා” යනුවෙනි.

    ඒ “හෙට” දැන් උදා වී තිබේ. අතිගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දරන ඔබගේ අවංක චේතනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීම නම්, ඒ සඳහා ව්‍යවසථානුකූල බලයක් ඔබට පැවරී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ ලිපිය අනුව කැබිනට් මණ්ඩලය අහෝසි කර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තක් ඇති ඔබට සුදුසු පුද්ගලයෙකු අගමැති ධුරයට පත් කරගෙන මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකිය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව ඇති බවට මාධ්‍ය වාර්තා පළ විය. එසේ නම් දැන් කැබිනට් මණ්ඩලයක් තිබිය නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (2) අනුව අග්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය එයින් අවසන් වන්නේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වන හෙයිනි.  එසේත් නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හරහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබේ. ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල් දැමීම වැනි  රටට අහිතකර දෑ සිදුකි රීමට තුනෙන් දෙකක බලයක් යොදාගත්තේ නම් ජනතාව වෙනුවෙන් ජනතා ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන්  අවස්ථාව ලබාදිය යුතුය. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන් සහාය දැක්වීම ජාතියේ අවශ්‍යතාවක් ලෙස දකින අතරම, මේ සියලු ගැටලු අවසන් කිරීමට අවස්ථාව තිබෙන්නේද යළි මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමෙන් පසුය.

    බල තණ්හාව

    පසුගිය ජනපතිවරණ වේදිකාවේදී එවකට විපක්ෂනායක වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවන් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බල තණ්හාවෙන් පෙළෙන බවයි. නමුත් සත්‍ය ලෙසම බල තණ්හාවෙන් පෙළෙන්නා කවුදැයි යන්න දැන් ජනතාව විසින් හොඳින්ම තේරුම් ගෙන ඇත. පක්ෂ නායකත්වයෙන් ඉවත්වන ලෙසට පක්ෂය තුළින්ම කැරැල්ලක් පැමිණෙන විටත් බල තණ්හාව හේතුවෙන් ඒවා මැඬ පවත්වමින් අවුරුදු 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරන්නේ එම පක්ෂයට මැතිවරණ 30ක පරාජයන් අත් කරදෙමිනි.

    අණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාව පළාත් පාලන මැතිවරණය හරහා ප්‍රකාශ කර ඇති අවස්ථාවක ජන මතයට ගරු කරමින් ඉල්ලා අස්වෙනවා වෙනුවට අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ව්‍යවස්ථාව අනුව තමන්  තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි. එසේම දෝෂාභියෝගයක් පරාජයට පත්වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවටද එතුමා ප්‍රකාශ කර ඇත.  ඒ අනුව බල තණ්හාව පවතින්නේ කාටදැයි යන්න දැන් ජනතාවට හොඳින්ම තේරුම් ගොස් ඇත.

    ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය පැමිණීමටත් මත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් නික්මුණේය. නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් දීම වෙනුවෙන් සියලු කටයුතු සම්පාදනය කළේය. ඒ රනිල් බල තණ්හාවෙන් පෙළෙන බවට චෝදනා එල්ල කළ පුද්ගලයාය.

    ලෝකයේම අවධානය

    රට කෑලි කෑලිවලට බෙදා එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙනුවෙන් ලබාදීමට සූදානම් වන විට, ඉවක් බවක් නොමැතිව රටේ සම්පත් විදේශයන්ට විකුණන අවස්ථාවක පළාත් පාලන මැතිවරණය හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  ලැබූ ජයග්‍රහණය මේ වනවිට ලෝකයේම අවධානය දිනාගත් මාතෘකාවක් බවට පත්ව තිබේ.  මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව පක්ෂයකින්, නව ලකුණකින් ජනතාව අතරට පැමිණ ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳ බටහිර මාධ්‍ය පවා විශ්මයට පත්ව ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • අස්ථාවරත්වය නිම කිරීමට පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි!

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ) ජයග්‍රහණය වෙනුවෙන් සිය වටිනා ඡන්දය භාවිත කළ සියලු දෙනා වෙනුවෙන් මෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහිව වෙනත් පක්‍ෂවට ලත් ඡන්දය භාවිත කළ සියලු දෙනාට ස්තූතිවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගනිමි. මෙවර මැතිවරණයට කෙටි කාලයක් තුළ නව පක්‍ෂයක් සමගින් අපට තරග කිරීමට සිදු වූයේ ඉතිහාසයේ කිසිදු ආකාරයකින් විපක්‍ෂයකට මැතිවරණයකදී කටයුතු කිරීමට සිදු නොවූ අයුරින් විවිධ බාධා එල්ල වන තත්ත්වයක් තුළය.

    ආණ්ඩුව ජනතාව සිය පැත්තට නම්මවා ගැනීම වෙනුවෙන් මැතිවරණ දිනයේදී පවා ජනතාවට ඡන්ද අල්ලස් ලබාදෙන අයුරු දක්නට ලැබිණි. භාණ්ඩ වෙනුවට මෙවර මුදල් පවා ඡන්ද අල්ලස් වශයෙන් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. ඉන් නොනැවතී රාජ්‍ය සේවයකයන් පවා හම්බන්තොටට ගෙනැවිත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට මේ නිර්ලැජ්ජිත ආණ්ඩුව කටයුතු කළේය.

    මැතිවරණයේ අවසන් පැය 48 එකදිගට භාණ්ඩ බෙදීමට කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය හම්බන්තොටදී තමන්ට එක් ඡන්දයක් ලබා ගැනීම වෙනුවෙන් රුපියල් 10,000ක පමණ මුදලක් වෙන් කළේය. නමුත් මෙරට මවුකිරි බී හැදීවැඩුණු, බත් කා හැදුණු ජනතාව කිසිවකටත් යටත් නොවී සිය මතය සාමකාමීව ප්‍රකාශ කළේය. මේ සියල්ලට ඔවුන් පිළිතුර දුන්නේ ඉතිහාසගත ජයග්‍රහණයක් පොදුජන පෙරමුණට ලබාදෙමිනි. ඒ බලයේ සිටින ආණ්ඩුවකට පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ පළමු අවස්ථාව ලෙස මෙම මැතිවරණය වාර්තා අතරට එක්වෙන හෙයිනි.

    මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ යහපාලන ආණ්ඩුව දැන් රටේ බහුතරක් ජනතාවට වහපාලයක් වී ඇති බවයි. මේ මැතිවරණ ප්‍රකාශයෙන් කියැවෙන්නේ රාජ්‍ය සම්පත් විදේශයන්ට විකුණා දැමීමට ජනතාව අකැමැති බවයි. මේ මැතිවරණ ප්‍රකාශයෙන් කියැවෙන්නේ රට බෙදෙන නව ව්‍යවස්ථාවකට ජනතාව එකඟ නොවන බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ රණවිරු දඩයමට ජනතාව විරුද්ධ බවයි. මේ මැතිවණ ප්‍රකාශයෙන් කියැවෙන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ආණ්ඩුව විසින් හසුරු වන ආකාරය වැරදි බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් කියැවෙන්නේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ආණ්ඩුවට එරෙහි බවයි. මෙහි අවසන් ප්‍රතිඵලයෙන් සමස්තයක් ලෙස ගත් විට කියැවෙන්නේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ රටේ ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇති බවයි.

    ඒ අනුව ආණ්ඩුවට පැවැති ජනවරම දැන් අහිමි වී තිබේ. ජනවරමක් අහිමි වූ ආණ්ඩුවකට දැන් බලයේ සිටිය නොහැකිය. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායටද විරුද්ධය. ජනාධිපතිවරයා තුනෙන් දෙකක බලයක් ලබාගෙන දැන්වත් ජනතා මතයට හිස නමා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය. ජනතාවට තමන් කැමැති ආකාරයේ ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. එය නොවන්නේ නම් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ ඒකාධිපති නායකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයට එක්වෙනු ඇත. ඒ ජනතා මතයට හිස නමමින් මැතිවරණයක් පැවැත්වීමට ඔහු කටයුතු නොකරන නිසාවෙනි. මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණ පිට මැතිවරණ පවත්වමින් ජනතා මතය උරගා බැලීමට කටයුතු කළේය. ඒ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණු බවට සඳහන් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ නම්, කළ යුතු වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමය.

    මේ වන විට රට දේශපාලනික වශයෙන් අස්ථාවර වී තිබේ. මෙවැනි අස්ථාවරත්වයක් යටතේ රටක් පවත්වාගෙන යෑම අපහසුය. ප්‍රධාන වශයෙන්ම රටක ආර්ථිකයක් කඩාවැටීම සඳහා දේශපාලන අස්ථාවරත්වයට බලපානු ලබයි. මේ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුය. ජනතා ඡන්දයෙන් ආණ්ඩුවක් නිර්මාණය කිරීම අවස්ථාව ලබාදිය යුතුය. යම් හෙයකින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩු පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවොත් ඒ සඳහා සහාය දැක්වීමට ඒකාබන්ධ විපක්‍ෂය සූදානම්ය.

    මෙහිදී ජනතාවගේ දැනුවත් වීම සඳහා ප්‍රධාන වශයෙන්ම කරුණක් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක්‘ කර ගනිමි. ඒ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පොදු ජන පෙරමුණ එකඟතාවකට පත්වූ බවට වාර්තා වන තොරතුරු පිළිබඳවය. හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීම සඳහා පොදු ජන පෙරමුණ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්වීමට කිසිදු තීරණයක් ගෙන නොමැත. ඒ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුද අසත්‍ය වෙයි.

    මෙවර මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලැබූ අන්ත පරාජය පිළිබඳ වචනයක් කතා නොකරම බැරිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සම්පූර්ණ බලය යොදා මැතිවරණ ප්‍රතිඵලය මෙහෙයවීය. ජනාධිපතිවරයා නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගත හැකි වූයේ ඡන්ද මිලියන 1.47ක් පමණි. මේ අනුව පැහැදිලි වන්නේ 2015 ජනාධිපතිවරණයේදී ඔහු බලයට පත්කිරීම සඳහා එක්සත් ජතික පක්‍ෂයේ ඡන්ද ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

    මෙම %කුරහන් සුවඳ^ තීරු ලිපිය ඊයේ (12දා) ලියන විට මාධ්‍ය හරහා වාර්තා වූයේ, එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා තවදුරටත් ජනතා මතයට පයින් ගසමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා කළ යුතු වන්නේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහාය දැක්වීම නොව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය කටයුතු කර මැතිවරණයක් පැවැත්වීමය. ජනාධිපතිවරයා අපට සඳහන් කළේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය අප විසින් සිදුකරනු ලබන බවයි. නමුත් දෙවැනි බණ්ඩාරනායක ඝාතනය සිදු වූයේ ජනාධිපතිවරයා සිරිකොත පක්‍ෂ මූලස්ථානයට ගිය විටය. දැන් ඔහු තෙවැනි බණ්ඩාරනායක ඝාතනය සිදු කිරීමට කටයුතු කරන්නේ ජනතා මතයට පිටුපාමින් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සහාය දෙමිනි.

    කුමන කරුණක් යටතේ වුවද ආණ්ඩුවට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය ලබා දුන් ජනතාවගේ අපේක්‍ෂාවන් වෙනුවෙන් වගකීම් විරහිතව අපි පෙනී සිටින්නෙමු. මෙම ජනතා විරෝධී ආණ්ඩුව ගෙදර යන දවස වැඩි ඈතක නොවන බවද මෙහිදී මතක් කරන්නෙමු.

    ඔබට සුබ අනාගතයක්!

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

  • බැඳුම්කර නාටකයේ දෙවැනි අදියර!

    ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු බැඳුම්කර වංචාවට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කර අග්‍රාමාත්‍ය තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාගැනීමට ඇඟිලි ගනිමින් සිටියහ. නමුත් එම සිහිනය බොඳ වී යාමට ගතවූයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු දින ගණනකි.

    ඒ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන පුද්ගලයන් නම් කිරීම හේතුවෙනි.

    සටහන ලියන විට අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

    මේ අතර එහි තවත් සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් දැන් රටින් පැනගොස් සිංගප්පූරුවේ සිටියි. ඔහුට එළඹෙන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවෙන ලෙස අධිකරණය නියෝග කර ඇත. තමා අත්අඩංගුවට පත්වන බව දන්නා නිසාම අර්ජුන් මහේන්ද්‍රන් නියමිත දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට ඇත්තේ අවම ඉඩකි.

    ශ්‍රී ලංකාවේ හෝ පුරවැසිකමක් නැති පුද්ගලයෙකු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත් කිරීම සඳහා ඔහු සිංගප්පූරුවේ සිට ගෙන්වා ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වන හෙයින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමේ වගකීමද ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටමය.

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා මැතිවරණ රැලියකදී ප්‍රකාශ කළේ තමා දුර්වල නොකරමින් බැඳුම්කර සොරුන්ට දඬුවම් දීමට තමන්ට ශක්තිය දෙන බවයි. ඒ අනුව මේ වනවිට ඇලෝසියස් හා පළිසේන අත්අඩංගුවට පත්ව ඇත. නමුත් ඒ සඳහා වගකිවයුතු දේශපාලන අධිකාරියේ කිසිවෙකු අත්අඩංගුවට පත්ව නොමැත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටු වාර්තාවට පාද සටහන් එක්කළ කල්ලිය, බැඳුම්කර ගනුදෙනුවේ සොරකමක් සිදු නොවූ බවට ලියා පොතක් පළ කළ සුජීව සේනසිංහ, මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පවසන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් වන කබිර් හෂීම්, රවි කරුණානයක, මලික් සමරවික්‍රම, මහ බැංකුව බාරව කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහ බැංකු අධිපතිවරයා එම ධුරයට පත්කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඔහු එම ධුරයට යෝජනා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යන සෑම අයම සෘජුව හා වක්‍රව මෙම සොරකමට වගකිව යුතුය.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරට පත් කරන විට සිය විරුද්ධත්වය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව පවසමින් සහ මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා එම ධුරයට පත්කරන විට තමා විරුද්ධ වූ බව සඳහන් කරමින් අතිගරු ජනාධිපතිවරයාට සිය වගකීමෙන් මිදිය නොහැක. රටේ පළමු පුරවැසියාත්, විධායක ජනපතිත් ඔහුය. ඒ අනුව ඔවුන් අදාළ තනතුරුවලට පත් නොකිරීමට ජනපතිවරයා තීරණයක් ගත යුතුව තිබිණි. නමුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට එසේ නීතිය ක්‍රියාත්මක නොවේ.

    නමුත් ඒකාබද්ධ විපක්ෂයට එවැනි තත්ත්වයක් නොමැත. බී වාර්තා ඉදිරිපත් කරමින් මුලින්ම අත්අඩංගුවට ගන්නේ මන්ත්‍රීවරුන්ය. පසුව අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගනියි. මේ අතර රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට පත්විය. මැතිවරණයක් ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම්වලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ අනියම් වාසි ලබාගැනීමටය.

    මේ වනවිට ආණ්ඩුව මුදල් නොමැති බව සඳහන් කරමින් ජනතා සහන එකින් එක කප්පාදු කරමින් සිටියි. මේ අතරම ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීමේ කටයුතු ඇමෙරිකාවේ සමාගමක් වෙත පැවරීමට රජය කටයුතු කරමින් සිටියි. ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවක් තිබියදී මෙන්ම එම කාර්යය තමන්ට කළ හැකි බවට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවකයන් පවසද්දී රුපියල් මිලියන ගණනක මුදල් වියදම් කරමින් මිනින්දෝරු කටයුතු ඇමෙරිකාවේ සමාගමක් වෙත පවරන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. මෙය මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමේ පළමු පියවර හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට සමානය.

    මේ අතර ශ්‍රී ලංකන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා සමාගමේ සිදු වූ බව කියන දූෂණ සෙවීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ජනපති කොමිෂමක් පත් කළේය. එම කොමිෂන් සභාව පත්කිරීම යහපත් දෙයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉතිහාසයේ වැඩිම අලාභය මේ වසරේදී ලබා ඇති බව වාර්තා වේ. එසේ වීමට හේතුවද කොමිෂන් සභාවෙන් සොයා බැලිය යුතුය.

    ඊට අමතරව මිහින් ලංකා ගුවන් සේවය ඈවර කිරීම, ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ඇණවුම් කළ ගුවන් යානා අවලංගු කර එම යානා මිලදී ගැනීමට ගෙවීමට නියමිතව තිබූ මුදලක් වන්දි වශයෙන් ගෙවීමට කටයුතු කිරීම ආදිය පිළිබඳවද මෙම කොමිසමෙන් සොයා බැලිය යුතුය. ගිවිසුම අවලංගු කිරීම හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ශක්තිමත් කිරීමට එක්වීමට නියමිතව තිබූ ගුවන් යානා අහිමි වූ අතරම ඒ හා සමාන මුදලක් වන්දි වශයෙන් ගෙවීමෙන් තවත් මුදලක්ද ආණ්ඩුවට අහිමි විය.