• දෙවැනි පෙළ දමිළ දේශපාලන නායකත්වයක අවශ්‍යතාව.

    රුසියානු ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත්තේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 76කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගනිමිනි. ඒ අනුව බටහිර මාධ්‍යය කුමක් කීවද, රුසියානු ජනතාව තවමත් වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා වෙත සිය අනාගතය බාර දී ඇත්තේ ඔහුගේ පාලන කාලය තුළදී රුසියාව සමෘද්ධිමත් ගමනක ගමන් කළ නිසාත්, ගමන් කරමින් සිටින නිසාත්ය.

    මෙම මැතිවරණයේ ස්වාධීන නිරීක්‍ෂකයෙකු ලෙස එක්වීමට ලැබීම වැදගත් අවස්ථාවකි. රුසියාවේ ඡන්ද ක්‍රමය බොහෝ සෙයින් ශ්‍රී ලංකාවේ ඡන්ද ක්‍රමයට සමානය. නමුත් ශ්‍රී ලංකාවේ මෙන් ඡන්ද මධ්‍යස්ථාන තුළ පෝලිම් නොතිබිණි. ඉතාමත් කාර්යක්‍ෂම ලෙස ජනතාව ඡන්දය භාවිත කළ අතර, ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටි සේවකයන්ද කාර්යක්‍ෂමව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.

    රුසියානු ජනාධිපතිවරණයේ කටයුතු නිමාවීමත් සමග රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මා සූදානම්ව සිටියද, ඇමෙරිකාවේ උපදෙස් පරිදි මා ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන්යානයට ඩුබායිවලදී ගොඩවීමට අවස්ථාව නොලැබිණි. මෙය බලාපොරොත්තු නොවූ තත්ත්වයක් වන අතර, මේ අවස්ථාවේදී එය දරාගත හැකි තත්ත්වයට පත් කිරීමට ගුවන්යානයේ කාර්යමණ්ඩලය කටයුතු කළ අකාරය ප්‍රශංසනීයය.

    රුසියාවේ සිට ඇමෙරිකාව වෙත ගමන් කිරීමට මාගේ ප්‍රධානම අරමුණ වූයේ පවුලේ ඥාතියෙකුගේ අවමංග්‍ය උත්සවයක් සඳහා එක්වීමය. නමුත් ඒ සඳහා අවස්ථාව නොලැබීම කනගාටුදායකය. මේ සඳහා විවිධ පාර්ශ්ව විසින් විවිධ ආකාරයේ අදහස් පළකරමින් සිටියි.

    අමෙරිකාවට සම්බන්ධ එහෙත් රුසියානු විරෝධී ‍වෙබ් අඩවි සඳහන් කරන්නේ මා හට ඇමෙරිකාව වෙත ගමන් කිරීම සඳහා වීසා නොමැති වීමෙන් මා හට මෙම අවස්ථාව අහිමි වූ බවයි. නමුත් මා දන්නා තරමින් මාගේ ගුවන් බලපත්‍රයේ ඒ සඳහා වීසා තිබිණි. කෙසේ වෙතත් මේ වනතෙක් ඇමෙරිකාව විසින් මාගේ ගමන වැළැක්වීමට අදාළව කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් මා වෙත ඉදිරිපත් කර නොමැත. මේ අනුව මාගේ ඇමෙරිකානු ගමන වැළැක්වීම පසුපස ශ්‍රී ලංකා ආණ්ඩුව සිටිනවා දැයි දැන් සාධාරණ සැකයක් ඇතිව තිබේ. මන්දයත් ඇමෙරිකානු ඇතැම් වෙබ් අඩවි හා ලංකාවේ ආණ්ඩුව හැසිරෙන ආකාරයේ වෙනසක් නොමැති හෙයිනි.

    නව ක්‍රමය යටතේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන ආයතන සංස්ථාපනය මේ වන විට සිදුවෙමින් පවතින නමුත් එම මැතිවරණ ක්‍රමයේ තිබෙන ගැටලුකාරී තත්ත්වය නැවත වතාවක් ජනතාව වෙත ඉස්මතු වී පෙනිණි. අනෙක් අතින් මේ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන අතළොස්සක් අතරින් කිහිපයක් බලයද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට අවස්ථාව ලැබිණි. ගාල්ල මහ නගර සභාව, දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව, මීගමුව නගර සභාව ඒ අතරින් කිහිපයකි.

    පළාත් සභා වෙනුවෙන්ද ආණ්ඩුව නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ අවධානය යෙමුකර ඇති හෙයින් මේ මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යම කරුණකි.

    පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව පෙරළීමේ පළමු අවස්ථාව වන අතර, එහි අවසාන බලාපොරොත්තුව ආණ්ඩුව ලබා ගැනීමය. එම ක්‍රියාවලිය වෙනුවෙන් හානියක් නොවන පරිදි අපි පළාත් පාලන ආයතනය සංස්ථාපනය කිරීමට කටයුතු සකස් කරමින් සිටින්නෙමු. පොදු ජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කර පළාත් පාලන සභිකයන් ලෙස පත්වන මන්ත්‍රීවරුන්ට සභා හරහා මුදල් ඉපැයීමට අවස්ථාව නොදීමට තීරණය කර තිබේ. දූෂණයෙන් තොර රටක් බිහි කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතන දූෂිත බවෙන් තොර කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා ආදර්ශයෙන්ම කටයුතු කිරීම සභිකයන්ගේ මූලික අරමුණක් විය යුතු අතර, ඒ හැසිරීම මත එළැඹෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය, මහමැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු වනු ඇත.

    ජිනීවා මානව හිමිකම් කොමිසමේ 37 වැනි සැසියාවාරය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශ්‍රී ලංකාව පිළිබඳ වැඩි අවධානයක් යොමුවන තත්ත්වයක් තිබේ. මෙය සමගි සන්ධාන වීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන කාලසීමාවකි. මෙහිදී බොහෝ විට චෝදනා එල්ල වෙන්නේ ශ්‍රී ලංකා රජයටය. යුද්ධයෙන් පසුව සමගි සන්ධාන වීමේ කාර්යය ක්‍රමයෙන් සිදු කරමින් පවතී.

    දමිළ දේශපාලකයන් පවා මෙය හුදෙක්ම ආණ්ඩුව පැත්තෙන් සිදුවිය යුතු බවට වන මතයක සිටින බව ඔවුහු කරන ප්‍රකාශවලින් පෙන්නුම් කර කරමින් සිටිති. මෙහිදී මූලිකවම පැවසිය යුතු කරුණක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුද්ධයකි. එය කිසිසේතම දමිළ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාවේ හමුදාව කළ යුද්ධයක් නොවේ. යුද්ධයක් ඇතිවූ රටක් නගාසිටුවීම එක් රාත්‍රියකින් සිදු නොවේ. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවේ.

    මෙහිදී මාගේ අවධානය යොමු වූ කරුණවක් වූයේ සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියේදී දමිළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තරුණ දේශපාලඥයන්ගේ අඩුවක් පැවතීමය. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ඉදිරියේදී දමිළ තරුණ තරුණයන් වෙනුවෙන් දේශපාලනයේ නිරත වීමට අවස්ථාව ලබා දෙන්නේ නම්, එය මෙම ක්‍රියාවලිය වේගවත් කරන කරුණක් බවට පත්වනු ඇත. දමිළ ජනතාව අතර සිටි දක්‍ෂ මෙන්ම උගත් දමිළ තරුණයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කිරීම වක්‍රාකාරයෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමටද හේතුවක් වී තිබේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • නොහැකියාව වසා ගැනීමට දත්ත සැඟවීම.

    රුසියානු ජනාධිපතිවරණයට ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස එක්විමට අවස්ථාව ලැබීම දේශපාලන දිවියේ තවත් එක් අත්දැකීමක් විය. ඉරිදා පැවැති ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැති අතර, බටහිර මාධ්‍ය වාර්තා කළ අන්දමේ ගැටලුවක් එහිදී ඇති නොවුණි.

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය සම්පාදනය කරන්නේ රුසියාවේ සිටය. ලිපිය ලියන විටත් වත්මන් ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතාට මැතිවරණයෙන් පැහැදිලි ජයක් ලැබෙන තත්ත්වයක් පෙන්වීය.

    වර්තමානයේදී රුසියාව ලෝකයේ කැපී පෙනෙන රටක් බවට පත්කිරීමට පුටින් ජනපතිවරයා සුවිශේෂී මෙහෙයක් ඉටුකළ අතරම ඔහු එය තවදුරටත් ඉටුකරමින් සිටී. මෙවර ලැබූ ජනවරමින් පැහැදිලිවන්නේ රුසියානු ජනාධිපතිවරයාට බටහිරින් කුමන චෝදනා එල්ලවුවත් රැසියානු වැසියන් ඔහු කෙරෙහි විශ්වාසය තබා ඇති  බවයි.

    රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නීරීක්ෂකයෙකු වීම හරහා බොහෝ දෑ ඉගෙනගැනීමටත්, අත්දැකීම් ලබාගැනීමටත් හැකි වූ අතර, ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය තවදුරටත් ස්වාධීන හා අපක්ෂපාතී කිරීම වෙනුවෙන් එයින් ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලමි.

    දත්ත සැඟවීම

    යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අදක්ෂම මෙන්ම රටේ සංවර්ධනය ආපස්සට රැගෙන ගිය ආණ්ඩුවක් බව අපි දිගින් දිගටම ඔබට සඳහන් කළෙමු. 2017 වසර සඳහා සමස්ත දළ ජාතික නිෂ්පාදිතය හා 2017 වසරේ අවසන් කාර්තුව සඳහා වන දළ ජාතික නිෂ්පාදිතයේ දත්ත ඉදිරිපත් නොකිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරමින් තිබුණි.

    ආණ්ඩුවේ අසාර්ථක ගමන ජනතාවගෙන් වසන් කිරීම වෙනවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත්තද 2017 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථක සංවර්ධන වේගය 3.1ක් තරම් වූ පහළ අගයක පවතින බවට හෙළිව තිබේ. එය වසර 16ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අවම අගයයි.  2016 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.4ක අගයක පැවැතිණි.

    ආණ්ඩුවට මේ සඳහා විවිධ හේතු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේ. නියඟය හා ගංවතුර වැනි ස්වාභාවික විපත් මේ සඳහා හේතුවක් බවට ආණ්ඩුව සඳහන් කරනු ඇත. නමුත් යුද්ධයක් පවතිද්දී පවා පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට සමත්ව තිබිණි.

    මේ වසරේ 4.4ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ලබාගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසකළද, එවැනි තත්ත්වයකට ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බව මාගේ හැඟීමයි. ප්‍රධාන වශයෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය ඒ සඳහා හේතු වනු ඇත.

    විශ්වාසභංගය

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට අදාළව අතසන් ලබාගැනීම  සටහන ලියන විටත් ලබාගනිමින් තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ එම විශ්වාසභංගයට සහාය දැක්වීමට ඉදිරිපත් වන බවට දැනගැනීමට ලැබිණි. විපක්ෂය නියෝජනය පක්ෂ අතරින් විශ්වාසභංගයට ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීම තරමක ගැටලුවක් බවට පත්ව තිබේ.

    මේ අතර ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාද විශ්වාසභංගයට අත්සන් කළ අතර, තවත් පිරිසක් ඉදිරියේදී ඒ සඳහා අත්සන් කරනු ඇත. මම රුසියාවට පැමිණියේද එම විශ්වාසභංගය සඳහා අත්සන් තැබීමෙන් අනතුරුවය.

    විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් පිරිසක් එයට අත්සන් තබනු ඇත. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පිරිසක්ද විශ්වාසභංගයට සහාය දැක්වීමට වැඩි අවස්ථාවක් තිබේ.

    පළාත් පාලන ආයතන සංස්ථාපනය

    අනෙක් අතින් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නිසා ඇතිව තිබෙන්නාවූ ගැටලුව තවමත් අවසන්ව නොමැත. මේ අතර අම්පාර හා මහනුවර ඇතිවූ ගැටුම්ද යම්තාක් දුරකට ආර්ථිකය වෙනුවෙන් බලපෑමක් ඇතිකරනු ඇත. මූලිකවම සංචාරක කර්මාන්තයට මේ හරහා ගැටලුවක් ඇතිවිය.

    පළාත් පාලන මැතිවරණය පවත්වා මාසයකට අධික කාලයක් ඉක්මවා ගොස් ඇතත්, තවමත් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබේ. පළාත් පාලන ආයතන වසර දෙකකටත් අධික කාලයක සිට මේ වනවිට අකර්මණ්‍යව පවතී. ඡන්දය පවත්වා අවසන් හෙයින් වහාම මෙම ආයතන පිහිටුවීමට කටයුතු කිරීම ආණ්ඩුවේ වගකීමකි.

    පළාත් සභා මැතිවරණයද කල්දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඒ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියට දමාගනිමිනි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැති නව මැතිවරණ ක්‍රමය හරහා ගැටලු රාශියක් මතුවිය. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල්ගත වීමටද මෙය හේතුවක් විය.

  • නැවතත් යුද්ධයකට නොයමු!

    අම්පාර නගරයෙන් ආරම්භ වූ නොසන්සුන්කාරී තත්ත්වය මහනුවරින් අවසන් වීම රටක් ලෙස අපට සතුටු වීමට අවස්ථාව තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල සුළුසුළු සිදුවීම් වාර්තා වුවද, ඒවා දුරදිග නොයෑම පිළිබඳ එක් ජාතියක් ලෙස අප සතුටු විය යුතුය. මේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් සෑම දෙනෙකුම පාඩමක් ඉගෙන ගත යුතුව තිබේ.

    වසර 30ක කාලයක් පුරා පැවැති කුරිරි යුද්ධයෙන් රට බේරාගෙන මේ වන විට ගෙවී ඇත්තේ වසර අවුරුදු 08ක් වැනි කෙටි කාලයකි. මෙවැනි කාලයක් තුළ තවත් වරක් සිවිල් ගැටුමක් ඇතිවුව හොත් එහි කුරිරි ප්‍රතිඵල නැවතත් විඳීමට සිදු වනුයේ අපගේ අනාගත පරපුරටය.

    කුරිරි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හේතුවෙන් මගේ පරම්පරාවේ බොහෝ පිරිසක් බැට කෑවේය. ඉන් ඉගෙන අපි පඩමක් ඉගෙන ගත්තා නම් නැවත වරක් එවැනි ගැටුමක් ඇති නොවීමට වග බලා ගැනීමේ වගකීමද අප සියලු දෙනා සතුය. යුද්ධයක් පවතින රටක කිසිදු දියුණුවක් ඇති නොවේ. රට ආර්ථිකමය, සාමාජීමය, දේශපාලනික වශයෙන් දිනෙන් දින අගාධයකට යයි. ඒ වෙනුවෙන් විශාල ධනස්කන්දක් වැය කිරීමට සිදුවෙයි. මේ පිළිබඳ අවධානය යොමු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. අනෙක් අතින් මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා අප සියලු දෙනා පෙරමුණ ගත යුතු වෙයි.

    අම්පාර හා මහනුවර ඇති වූ සිදුවීමේදී පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ බොහෝ දෙනෙක් ගැටලු මතුකරමින් සිටියි.  නීතිය හරියාකාරව ක්‍රියාත්මක වූයේ ජනතාව නීතිය අතට ගැනීමක් සිදු නොවෙයි. ජනතාව නීතිය අතට ගෙන දඬුවම් දීමට කටයුතු කරන්නේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවූ බවට ඔවුන්ට හැඟී යන අවස්ථාවේදීය.

    මහනුවර ගැටුමට මූලික සිදුවීම වී තිබුණේ රියදුරු මහතෙකුට සිදු කළ පහරදීමක් හේතුවෙන් ඔහු ජීවිතක්‍ෂයට පත්වීමය. මෙම පහරදීමට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන ඉක්මනින්ම ඔවුන් නීති මගින් කටයුතු කළේ නම්, ජනතාව මේ ආකාරය නොසන්සුන් නොවෙනු ඇත.

    මහනුවර ඇතිවූ සිදුවීමේ පාඩුව සමස්තයක් ලෙස රටට දරා ගැනීමට සිදුව ඇත. එයින් හානි වූ දේපොළ වෙනුවෙන් වන්දි ගෙවිය හැකි වුවද, ජීවිතයක වන්දි ගෙවන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ අප සලකා බැලිය යුතුය. අනෙක් අතට මෙම වන්දි ගෙවීම් යෙදවීමට සිදුවන්නේද අනෙක් සංවර්ධන කාර්යයන් වෙනුවෙන් යොදා ගැනීමට හැකිව තිබූ ජනතා මුදල්මය.

    මෙම සිදුවීම් සමථයකට පත්කිරීම සඳහා ජනපති මෙන්ම අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අකාරය පිළිබඳ සිතා බැලිය යුතු වෙයි. අලුත්ගම සිදුවීම සිදු වූ අවස්ථාවේදී විදේශතව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව කෙළින්ම අලුත්ගමට ගොස් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර ගැටලුව සාමකාමීව විසඳිමට කටයුතු කළේය. කෙසේ වුවද ගැටුම පිළිබඳ සාකච්ඡා කිරීමට සියල්ලන්ම එකම මේසයකට ගැනීමටත් වත්මන් ආණ්ඩුවට දින දෙක තුනක කාලයක් ගත විය. එයින් ආණ්ඩුව ගැටලු විසඳීමේ අසමත්මක පිළිබිඹු වෙයි.

    අනෙක් අතින් තත්ත්වය පාලනය කිරීම සඳහා රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් එහිදී රටට තවත් කළු පැල්ලමක් එක් විය. මෙය සංචාරක කර්මාන්තයට දැඩිව බලපාන සිදුවීමකි. මාලදිවයිනේ පසුගිය දින කිහිපයේදී ඇති වූ තත්ත්වයත් සමග එරටට පැමිණි සංචාරකයන් ප්‍රමාණය දැඩි ලෙස අඩු වූ අතර, ඔවුන්ගේ විකල්ප බවට ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් පත් විය. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට රුකුළක් වුවද, ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එයින් වාසියක් ලබා ගැනීමට අවස්ථාවක් නොවිණි. මන්දයත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුඛ සංචාරක අන්තරයක් ලෙස මහනුවර පවතින හෙයිනි.

    නුවර ඇති වූ සිදුවීමත් සමග රට තුළ තිබූ සත්‍යය ප්‍රශ්න මේ වන විට යටපත් වෙමින් තිබේ. භාණ්ඩ මිල ඉහළ යෑම, වී ගොවියාට නිසි මිලක් නොමැති වීම, පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයත් සමග ආණ්ඩුවට එරෙහිව පැමිණි විරෝධතා රැල්ල මේ වන විට අමතක වී තිබේ. එක් අතකින් එය ආණ්ඩුවට වාසිදායක කරුණක් බවටද පත්ව තිබේ. නමුත් මේ සිදුවීම හේතුවෙන් සැබෑ ජනතා ප්‍රශ්න යටත් කිරීමට අපි අවස්ථාවක් නොදෙමු.

    මේ අසීරු මොහොතේ බොහෝ මාධ්‍ය වගකීමෙන් යුතුව කටයුතු කිරීම ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි දැඩි ප්‍රචාරණයක් ගෙන ගියේය. කෙසේ වෙතත් මුස්ලිම් ජනතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සිංහල ජනතාව හා බෞද්ධ භික්ෂූන් වහන්සේලා කටයුතු කළත් ආකාරය මෙන්ම ආණමඩුවේ විනාශ වූ හෝටලය පැය 18ක් තුළ නැවත ප්‍රතිසංස්කරණය කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කළ ආකාරයත් ජාත්‍යන්තර මාධ්‍යයේ අවධානය යොමු නොවීම ගැටලුවකි.

    මහනුවර ඇති වූ සිදුවීමෙන් විපතට පත් වූ සියලුම පිරිස් හමුවීමට ඉදිරි දිනයකදී පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවට පැවසීමට  මෙය අවස්ථාවක් කර ගනිමි.

    සමාජ මාධ්‍ය තහනම

    ආණ්ඩුව මෙම ගැටලුව විසඳීම සඳහා ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමටත්, වට්ස්ඇප් හා වයිබර් සේවාවන් අවහිර කිරීමටත් කටයුතු කළේය. මේවා යම් තරමකට පාලනය විය යුතුය යන ස්ථාවරයේ මමද සිටිමි. නමුත් ඒවා තහනම් කළ කිරීම විසඳුමක් නොවේ. මෙම තහනමද ඇතැම් ව්‍යාපාර සඳහා ඍජුව බලපෑම් ඇතිකර තිබේ.

    පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය ෆේස්බුක් තහනම් කිරීමට යන බවට ජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ එවකට විපක්‍ෂ නායක මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ෆේස්බුක් තහනම් කර ඇත. පසුගිය ජනාධිපතිවරණ  සමයේදී අපට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කිරීමට ඔවුන් මූලික වශයෙන්ම යොදාගත් මාධ්‍යයක් වූයේ ෆේස්බුක් සමාජ ජලයයි.  රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, රත්‍රං අශ්වයන්ගේ කතාව, ලැම්බෝගිනි කතාව ඇතුළු බොහෝ දේ ඔවුන් ප්‍රකාශ කළේ ෆේස්බුක් සමාජ ජාලය ඇසුරෙනි. මේ ප්‍රකාශ යොදාගෙන අපව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ප්‍රකාශ ලබාගනිමින් සිටියි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය මගෙන් ප්‍රශ්න කරන්නේ ෆේස්බුක්හි පළ වූ වාර්තා යොදාගෙනය. මෙවැනි දේ ෆෙස්බුක් හරහා ව්‍යාප්ත වෙන බවට ආණ්ඩුව තේරීම් ගැනීමද හොඳ දෙයකි. පසුගිය ආණඩුව සමාජ මාධ්‍ය ජනතාවගේ අයිතියක් ලෙස දැක්කේය. වත්මන් ආණ්ඩුව එය සම්පූර්ණ ලෙස තහනම් කර තිබේ. නමුත් සිදුවිය යුත්තේ එය පාලනය කිරීමකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • විශ්වාසභංග හා අර්බුද!

    පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එක්වීමට අවස්ථාව ලැබීම මාගේ දේශපාලන දිවියට තවත් අත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් විය. ඒ වෙනුවෙන් මට අවස්ථාව ලබාදුන් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසිය පැවැත්වීමේ ප්‍රධානතම අරමුණක් වූයේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සැසිය පිළිබඳව සාකච්ඡා කිරීමයි.

    පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය තේරුම් ගැනීම මෙම සැසිය තුළදී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර පවතින තරුණ විරැකියාව, ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් දූපත් ආරක්ෂා කර ගැනීම, පරිසරය ආරක්ෂා කර ගැනීම, සංවර්ධනය හා තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීම යන මාතෘකා ඔස්සේ සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූ අතර, ඒ සෑම සාකච්ඡාවක් හරහාම ගැටලු සඳහා ලබගත හැකි විසඳුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි.

    විශ්වාසභංගය

    පවතින දේශපාලන අර්බුදය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් විශ්වාශභංග යෝජනාවක් ගෙන එන බවට සඳහන් කළත් කිසිවෙක් ඒ සඳහා පෙරමුණ ගන්නා බවක් පෙනෙන්නනට නොතිබේ. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට එකාබද්ධ විපක්ෂයේ අපි පෙරමුණ ගන්නෙමු.

    ජනතා ප්‍රශ්න විසඳීමට අපොහොසත් වීම හරහා රජය හා අග්‍රාමාත්‍යවරයා කෙරෙහි ජනතා විශ්වාසය අහිමි වී තිබීම යන මූලික කරුණ යටතේ මෙම විශ්වාසභංගය සකස් කිරීමට කටයුතු කෙරිණි. මෙම සටහන ලියන අවස්ථාව වන විටත් එම විශ්වාසභංග යෝජනාවේ කටයුතු සිදුවෙමින් පැවතිණ. එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීමේ කටයුතු අද (06දා) වන විට ආරම්භ කිරීමට නියමිතව ඇති අතරම, එය අද දිනයේදීම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.

    මෙය එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය හේතුවෙන් ගෙන එන විශ්වාසභංගයක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමට වඩා මේ වන විට රටේ ජනතාවට විසඳා ගත යුතු ප්‍රශ්න රාශියක් තිබේ. එම ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් වෙයි. පක්ෂ නායකත්වයේ ගැටලුව එක්සත් ජාතික පක්ෂය විසින් විසඳා ගනු ඇත.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛව ගෙන එන විශ්වාසභංගය වෙනුවෙන් විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරමි. යම් පුද්ගලයෙක් මෙම විශ්වාසභංග යෝජනාවට සහය නොදක්වනවා නම් ඔහු ජනතා වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොවනු ඇත.

    කැබිනට් සංශෝධනය

    ජනතාව ඉල්ලූ වෙනසට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ කැබිනට් සංශෝධනයයි. කැබිනට් සංශෝධනය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් විය. මේ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අප පසුගිය සතියේ මෙම තීරු ලිපිය හරහා පැහැදිලි කළෙමු. අප දිගටම සඳහන් කළේ එම කැබිනට් සංශෝධනය කිසිඳු ආකාරයක විද්‍යාත්මක පදනමකින් තොරව සිදුව ඇති බවයි.

    ඒ බව ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පිළිගනු ලැබුවේය. කැබිනට් සංශෝධනය සිදුකිරීම හරහා ආණ්ඩුව මූලික වශයෙන්ම බලාපොරොත්තු වූයේ රට ස්ථාවර කිරීමයි. කෙසේ වෙතත් එවැනි තත්ත්වයක් තවමත් ඇති වී නොමැත. රුපියල අවප්‍රමාණය වීම, කොටස් වෙළෙඳපොළේ පසුබෑම, ආයෝජන නොපැමිණීම, ලැබෙන ආයෝජනත් රටින් ඉවත්වීම යනාදී දෑ අඛණ්ඩව සිදුවෙමින් පවතී.

    ආර්ථිකය කඩා වැටෙද්දීත්, සංවර්ධනය එක තැන පල්වෙද්දීත් දෙපැත්තේ නායකයන් දෙපළත්, ඇමතිවරුනුත් තමන් ආරක්ෂා වීම සඳහා කටයුතු කරමින් සිටියි. රත්නපුරයේදී  සන්ධානයේ 96 එනවා නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බව පැවසූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට මාසයක කාලයක් ආණ්ඩුවේ රැදී සිටින ලෙස පවසා ඇත. මේ සියල්ලකින්ම පෙන්වන්නේ ආණ්ඩුව තවදුරටත් තමන්ව ආරක්ෂා වීම සඳහා මුක්කු ගසමින් සිටින බවයි. නමුත් එයින් රටට සිදුවන ධනාත්මක ලකුණක් නොවේ. මේ සියල්ලන්ගේම රට ස්ථාවර කිරීමට මුලින්ම දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් අවශ්‍ය අතර, ඒ සඳහා මහ මැතිවරණයක් අවශ්‍යම වෙයි.

    අර්බුද

    මේ වන විට රට නැවතත් අරාජික තත්ත්වයකට පත්ව ඇත. දියතලාවේ බස් තුළ බෝම්බ පිපිරෙයි. තඹුත්තේගම ජනතාව ජලය ඉල්ලා විරෝධතාවයේ නිරත වෙයි. අම්පාරේ හා මහනුවර ජාතිවාදී ගැටුම්ය. නමුත් මේ සියල්ලක්ම සිදුවෙද්දී ආණ්ඩුව නිහඬව සිටියි. පසුගිය කාලයේදී රතුපස්වල ජනතාව විරෝධය දක්වන විටදී, බේරුවල මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කරන විටදීත් ඒවා සියල්ලම කරන්නේ මහින්ද රාජපක්ෂය. ඒවාට වග කිවයුත්තේද මහින්ද රාජපක්ෂය. නමුත් වර්තමානයේදී තඹුත්තේගම ජනතාව ජලය ඉල්ලා විරෝධතාවල නියැළෙද්දී, ඔවුන්ට එළව එළවා පහරදෙන විට, අම්පාර හා මහනුවර ගැටලු ඇතිවන විට ඒවාට මේ ආණ්ඩුව වගකීම බාර ගන්නේ නැත. කමිටු පත්කරමින් කල් මරමින් සිටියි. නමුත් මෙවැනි දෙයක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සිදුවූවා නම් ඇතිවන තත්ත්වයන් ගැන ඔබට පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ. ඒ සියල්ලක්ම ඔවුන් ජනතා මනසට ව්‍යාජ ලෙස ඇතුළත් කළේය. කෙසේ වෙතත් ජනතාව දැන් ඒවාට මුළා වන්නේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය පසුගිය පළාත් පාලන මැතිවරණයයි. සෑම තැනකම වෙඩි පත්තු වේ. කියමනට කියනවා මෙන් චිකා‍ගෝ නුවර එළිපිට මහජනතාව වෙඩි තබා ඝාතනය කරයි. මේ සියල්ලකින්ම පෙනෙන්නේ රටේ සාමකාමී වාතාවරණය බිඳ වැටී ඇති බවයි.

    වර්තමානයේ නීතිය හා සාමය භාරව කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සති දෙකකට ඔහු එම අමාත්‍ය ධුරය භාරගත් බවට පැවසෙයි. කෙසේ වෙතත් එම පත්වීමෙන් පසුව රටේ සෑම තැනකම ගැටුම් සිදුවෙමින් තිබේ. මහින්ද රාජපක්ෂට චෝදනා කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂාව භාරව සිටියදීත්,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය භාරව සිටියදීත් මේ සියල්ල ගැන නිශ්ශබ්ද වීම ගැටලුවකි.

    රනිල් වික්‍රමසිංහ පොලිස් ඇමති වීමෙන් මහින්ද රාජපක්ෂ ආරක්ෂිතද?

    රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය පැවරීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතාට  එරෙහිව ආණ්ඩුව විසින් සිදුකරනු ලබන පරීක්ෂණ අවසන් වනු ඇති බවයි. මෙවැනි කතා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පාර්ශ්ව ප්‍රකාශ කරන්නේද, එසේත් නොමැතිනම් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පාර්ශ්ව පවසන්නේදැයි නොදනී. නමුත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ මහතාත් කුමන අමාත්‍ය ධුර දැරුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කරන පළිගැනීම් නිමා නොවේ.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති සියලු චෝදනා අසත්‍ය හා අභූත බවට දැන් දැන් නිරාකරණය වෙමින් හිටපු ජනපතිවරයාගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙමින් තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මේ සියල්ලන්ම දේශපාලනික වශයෙන් ආශ්‍රය කළද එයින් අයුතු ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරයි. එසේ අවශ්‍ය නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පළිගැනීමට කටයුතු කිරීම විනා මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගෙන් කිසි විටක පළිගෙන නොමැත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!