• පීඩන සමය උදාවෙයි.

    ලෝක කම්කරු දිනය අද (01දා) දිනයට යෙදී ඇති බැවින් සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කර ගැනීමට මෙය පළමුකොට අවස්ථාවක් කර ගනිමි. එසේම වැඩ කරන ජනතාව නියෝනජය කරන දේශපාලඥයෙකු වශයෙන් ඔවුන්ගේ කම්කරු අයිතීන් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවටද මෙහිදී ප්‍රකාශ කරමි.

    ඔබ පසුගිය සතියේදී මා විසින් ලියූ “කුරහන් සුවඳ” තීරු ලිපිය කියවූවා නම් එහි මා සඳහන් කළ මාතෘකාව වූයේ ‘”අවුරුදු සමයෙන් පසුව පීඩන සමය” යන්නය. එහිදී මා මූලිකව සඳහන් කළ කරුණක් වූයේ, රජය විසින් භාණ්ඩ කිහිපයකම මිල ඉහළ දැමීමට සූදානම් බවයි. කිරිපිටි, ගෑස් හා ඉන්ධන මිල ඒ අතර විය.

    ඒ අනුව පසුගියදා ආණ්ඩුව ගෑස් මිල රුපියල් 245කින් ඉහළ දැමීමට කටයුතු කළේය. ඒ අනුව ආපන ශාලා හිමියන් දැනටමත් සිය ආහාර රුපියල් 10කින් ඉහළ දමන බවට තීරණය කර අවසන්ය. ඉන්ධන මිල සූත්‍රය පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද පසුව ඉදිරිපත් නොවිණි.

    ඉන්ධන මිල සූත්‍රයද ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව එයට කැබිනට් අනුමැතිය ලැබුණු විට ඉන්ධන මිල ඉහළ යනු ඇත. තවත් ඉතිරිව ඇත්තේ කිරිපිටි මිල පමණි. මෙහිදී දේශීය ගොවිය ආරක්ෂා කර ගැනීම පිළිබඳ තර්ක ගෙනාවද, කිරිපිටි මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

    ගෑස් මිල ඉහළ දමා ආණ්ඩුව පවසන්නේ ඒ හා සමගාමීව භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීමට කිසිසේත්ම ඉඩ නොතබන බවය. නමුත් එය සාධාරණ තීරණයක් නොවේ. වර්තමානය වන විට ආහාර නිෂ්පාදකයෝ සිය නිෂ්පාදන ක්‍රියාවලියට ඍජුවම ගෑස් භාවිත කරති. ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇත. ඔවුන්ට මිල ඉහළ දැමීමට ඉඩ නොදුනහොත් සිදුවන්නේ අලාභ ලැබීමටය. ඕනෑම ව්‍යාපාරිකයෙක් අලාභ ලබමින් ව්‍යාපාර පැවැත්වීමට  ඉදිරිපත් නොවේ.

    ඉන්ධන සූත්‍රය හරහා ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළහොත් බස් ගාස්තු ඉහළ දමන බවට දැනටමත් බස් සංගම් ප්‍රකාශ කර තිබේ. පසුගිය වර බස් ගාස්තු ඉහළ දැමීමෙන් පසුව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, යළිත් කිසිදිනෙක බස් ගාස්තුවක් වැඩි නොකරන බවය. නමුත් ඔහු සිය ප්‍රකාශයෙන් හැරී පවසනුයේ ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවය.

    නව කැබිනට් මණ්ඩලය

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මැයි දිනය දා උදෑසන කැබිනට සංශෝධනය කරන බවය. ඒ අනුව එම කැබිනට් මණ්ඩල වෙනස නියමිත මැයි දිනයේදී කරනවා නම් අද (මැයි 01දා) උදෑසන සිදුවිය යුතුව තිබේ. නැත්නම් ආණ්ඩුව වෙනස් කළ මැයි දිනයේදී සිදුවෙනවා නම් මැයි 07 වැනිදා සිදුවිය යුතුය.

    ජනාධිපතිවරයා පැවැසුවේ අද දිනය විය යුතුය. මෙවර කැබිනට් සංශෝධනය විද්‍යනුකූලව කරන බවට ජනාධිපතිවරයා කරන ප්‍රකාශයයි. ඒ අනුව ඔහු විසින් කළ පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධන කිසිවක් විද්‍යනුකූල පදනමකින් සිදු වූ සංශෝධන නොවේ. අනෙක් අතට මෙම සංශෝධනයේද සිදු වීමට ඉඩ ඇත්තේ ඔළුගෙඩි මාරු කිරීමක් පමණි. අලුතෙන් කිහිප දෙනෙකුට ඇමති ධුර හිමිවීමත්, තිබෙන අමාත්‍යවරුන්ගෙන් විෂය කිහිපයක් ගැලවීමත් සිදුවීමට ඉඩක් තිබේ. ඔළුගෙඩි මාරුකිරීමක් සිදුකිරීමෙන් පමණක් විද්‍යනුකූල ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු නොවනු ඇත.

    රුපියල අවප්‍රමාණය වීම

    ශ්‍රී ලංකා ආර්ථිකයේ කඩා වැටීම පෙන්වීමට ඇති හොඳම උදාහරණය වන්නේ රුපියල දිගින් දිගටම කඩා වැටීමය. ඊයේ වන විට ඩොලරයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 159ක් වැය කළ යුතුව තිබිණි. මෙය ඉතිහාසයේ ඉහළම අගය වෙයි.

    ආණ්ඩුවේ අදූරදර්ශී මෙන්ම එදාවේල පිරිමහ ගැනීමේ ආර්ථික ප්‍රතිපත්තිය මේ සඳහා හේතු වී තිබේ. රුපියල අවප්‍රමාණය වීමට හේතු කිහිපයක්ම බලපායි. රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය, විදේශ විනිමය නොපැමිණීම, අසීමාන්තිකව ආනයනය කිරීම, අපනයන වර්ධනය නොවීම, විදේශ ආයෝජන රට තුළට ගලා නොඒම එවැනි හේතූන්ය.

    මේ සියල්ම සිදුව ඇත්තේ ආණ්ඩුවේ අදූර්දර්ශී සැලැස්මක් නොමැති පාලනය හේතුවෙනි. රුපියල අවප්‍රමාණය වීම පාලනය වීම සඳහා හම්බන්තොට වරාය විකිණීම හරහා රජයට ලැබිය යුතු මුදල ලැබෙන තෙක් බලා සිටියි. නමුත් ආයෝජන ලබා ගැනීමට ආණ්ඩුවට සැලැස්මක් නොමැත. නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය නොවීම හේතුවෙන් සහල් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව කියැවිණි.

    නමුත් ලංකාවේ වී නිෂ්පාදනය අඩු වීමට ප්‍රධානම හේතුවක් වූයේ පොහොර සහනාධාර කප්පාදු කිරීමය. මේ අතර රුපියල අවප්‍රමාණය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබීමද ගැටලුවකි.

    හම්බන්තොට නගරාධිපති පත්කිරීම

    එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කළ හම්බන්තොට මහනගර සභාවේ නව නගරාධිපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව කටයුතු කළේය. කෙසේ වෙතත් එවැනි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළේ මන්දැයි යන්න පිළිබඳ මා හට ගැටලුවක් තිබේ. මම එම තීරණයට විරුද්ධතාව ප්‍රකාශ කරන අතරම ඉදිරියේදී එම තීරණය ගැනීමට හේතු පිළිබඳ අපගේ නායකයන් හා සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටිමි. එම සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරි සතියකදී ඔබව දැනුවත් කිරීමට කටයුතු කරමි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • අවුරුදු සමයෙන් පසු පීඩන සමය

    සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව පාඨක ඔබ හමුවන පළමු අවස්ථාව මෙය වෙයි. එහෙයින් ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී සියලු දෙනාට සාමය හා සෞභාග්‍ය සපිරි සුබ අනාගතයක් වෙනුවෙන් පියවර තබන අවුරුද්දක් වේවායි සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    කෙසේ වෙතත් මේ ආරම්භ වන අවුරුද්ද ජනතාවට එතරම්  යහපත් අවුරුද්දක් නොවනු ඇත. අප්‍රේල් මස 01 වැනිදා සිට නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවිණි. ඉදිරියේදී ඉන්ධන සූත්‍රයක් ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ යෑමට නියමිතය.

    ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළව ගෑස් හා කිරිපිටි සම්බන්ධ ව්‍යාපාරිකයන් දැනටමත් රජයෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ සියලු භාණ්ඩවල මිල ඉදිරියේදී ඉහළ නැංවීමට නියමිතය.

    ආණ්ඩුව ජනතා අවධානය වෙනත් අතකට යොමුකර එයින් වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ. අලුත් අවුරුදු කාලසීමාව වෙනුවෙන් ජනතාව කටයුතු කරන විට ආණ්ඩුව රත්‍රං 15෴ක බද්දක් පැනවීමට කටයුතු කළේය. මේ අනුව අවම වශයෙන් රත්‍රං පවුමක මිල රුපියල් 8,000කින් පමණ වැඩි වී තිබේ.

    ජනතාව දිගින් දිගටම පීඩාවට පත්කරන ආණ්ඩුව ඉදිරියේදී පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් කෝටි 100ක් වෙන් කිරීමට අවධානය යොමුකර තිබේ. ජනතාවට වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, මේ අගය රුපියල් ලක්‍ෂ දසදහසකි. පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක් යැයි මා පෞද්ගලිකව දරන මතයයි. ආණ්ඩුව කළ යුතු වන්නේ මේ මුදල් පීඩාවිඳින ජනතාවගේ එම පීඩනය ඉවත් කිරීමට යෙදවීමය.

    එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් වෙයි. ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට තීරණය කර ඇත්තේ මූලිකවම විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ පදනමිනි.

    වත්මන් ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට මූලික පොරොන්දුව මතය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ ශ්‍රී දේහය ඉදිරිපිටදී ප්‍රකාශ කළේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.

    කෙසේ වෙතත් ඔහුගේ ධුර කාලයෙන් දැනට වසර තුනහමාරකට ආසන්න කාලයක් ගෙවී ගොස් අවසන්ය. තවත් ගෙවා දැමීමට ඇත්තේ වසර එකහමාරක් වැනි සුළු කාලයකි. එම කාලසීමාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇතැයි විශ්වාස කළ නොහැකිය.

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පක්‍ෂ අතර විවිධ මත පවතින අතර, ඒකාබද්ධ විපක්‍ෂය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇත්තේ සියල්ලන්ගේම එකඟගත්වයකිනි.

    එසේම ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විට කාරක සභා අවස්ථාවේදී සුළු සුළු සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්‍ෂය කටයුතු කරනු ඇත.

    පසුගිය පනත් කෙටුම්පත් සියල්ලම සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩුව එවැනි ආකාරයට කුමන්ත්‍රණකාරී ලෙස කටුයුතු කරමින් කාරක සභා අවස්ථාවේදී රටට අහිතකර බොහෝ දෑ සම්මත කර ගත්තේය. ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳවද අවධානය යොමුකළ යුතු වෙයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව ජයග්‍රහණය කළද, ඒ හරහා ඇතිවූ දෙදරීම් තවමත් පෙනෙන්නට තිබේ. ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරු පිරිස විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ප්‍රකශ කර දැන් විපක්‍ෂයට පැමිණීමට තීරණය කර තිබේ. ඒ අනුව විපක්‍ෂය තවදුරටත් පුළුල් වෙනු ඇත.

    රග්බි ක්‍රීඩාව යනු මාගේ ජීවිතයේ කොටසකට හා සමානය. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් පසුගිය මහින්ද රජපක්‍ෂ රජය සමයේදී අපි විශාල කාර්යභාරයක් ඉටු කළෙමු. එම වැඩටහන ඉදිරියට ක්‍රියාත්මක නොවීම හේතුවේ බලපෑම් එල්ල වූයේ රග්බි ක්‍රීඩාවටමය.

    ක්‍රීඩාව යනු පක්‍ෂ, පාට, ජාති, ආගම් භේද නොමැති තැනකි. මාගේ ජීවිතයේ තවත් එක් විශේෂ අවස්ථාවකට එක්වීමට පසුගිය සතියේදී අවස්ථාව ලැබිණි. ඒ කාශ්මීරයේ සිටින කාන්තා රග්බි කණ්ඩායමකට පුහුණු සැසි පැවැත්වීමට අවස්ථාව ලැබීමය. සටහන ලියන විටත් මම සිටින්නේ කාශ්මීරයේ දක්‍ෂතාවලින් පිරිපුන් රග්බි ක්‍රීඩිකාවන් පිරිසකට ඔවුන්ගේ දක්‍ෂතා දියුණු කිරීමට අවස්ථාව උදාකරමිනි.

    ඉන්දීය මාධ්‍ය මගින් කරන ලද කරුණු අනාවරණයකින් පසුව ඔවුන් වෙනුවෙන් පුහුණු කඳවුරක් පැවැත්වීමට මා ඉදිරිපත් වූ අතර, ඒ වෙනුවෙන් මට සහාය දැක්වීමට රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම මාගේ සහෝදරයාද වන රෝහිත රාජපක්‍ෂද එක්විය. රග්බි පුහුණුකරුවන් වන රොනී ඊබ්‍රහිම් හා ඉරෝෂනී ප්‍රියංගා දැක්වූ සහායට ස්තූතිය ප්‍රකාශ කිරීමටද මෙය අවස්ථාව කර ගනිමි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • පැරදුණත් දිනූ විශ්වාසභංගය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එතුමා ජයග්‍රහණය කළද එම විශ්වාසභංගය ගෙන ඒම හරහා දිනුවත්, පැරදුණත් ජයග්‍රහණය ලබාගත් පාර්ශ්වය වූයේ ඒකාබද්ධ විපක්ෂයයි. ඒ පිළිබඳ පැහැදිලි කිරීමට මත්තෙන් මෙම විශ්වාසභංග යොජනාව පරාජයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් එක් පාර්ශ්වයක් කළ පාවාදීමක් බව කිවයුතුය.

    ඇතැම් මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාව බාරදෙන අවස්ථාවේදී එයට අත්සන් කළද, ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටියහ. නමුත් බොහෝ දෙනෙකු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ නොකරනු ඇති බවයි.

    එම මත සියල්ලම පුස්සක් බවට පත්කරමින් ඔහු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. දේශපාලකයන් වේවා පුද්ගලයන් වේවා අන්තර්පුද්ගල සබඳතා පවත්වාගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් දේශපාලනයේදී ඒ සියල්ලටම වඩා පෙරට එන්නේ රටය. මහින්ද රාජපක්ෂ මහතා සියල්ලටම පෙර රට ගැන සිතන හෙයින් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මෙය පාවා නොදෙන්නට රනිල් වික්‍රමසිංහ මහතාට එය පහසුවෙන් ජය ගැනීමට අවස්ථාවක් උදා නොවනු ඇත. ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 26ක් ජන්දය භාවිත කිරීම වැළකීමෙන් පෙන්නුම් කළේ ඔවුන් බැඳුම්කර වංචාව අනුමත කරන බවයි, ජාතිවාදය අනුමත කරන බවයි. ඒ අනුව ඔවුහු තාන්න මාන්න, වරදාන වරප්‍රසාද වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කළහ.

    කෙසේ වෙතත් ඔවුන්ට 2020දී ජනතාව ඉදිරියට යෑමට සිදුවෙයි. එහිදී ජනතාව ඔවුන්ට නිසි පාඩමක් උගන්වනු ඇත. ආණ්ඩුවේ සිටිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්  පිළිබඳවද මෙහිදී වචනයක් නොකියා බැරිය. ආණ්ඩුවේ සිටිමින් හෝ ඔවුන් ආණ්ඩුවට විරෝධය දැක්වීමට කොන්දක් පැවතීම සුබදායක කරුණකි.

    විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ පාර්ශ්ව අතර දෙමළ ජාතික සන්ධානයද වෙයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මාස තුනක් ඇතුළත ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුවක් අනුව ඔවුහු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එතැන මන්ත්‍රීවරු 16 දෙනෙකි. ආර්. සම්බන්ධන් මහතාගේ දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කළද ඔවුහු ආණ්ඩුවට අවශ්‍ය දෑ විපක්ෂයේ සිටිමින් සිදුකරති. ඔවුන්ගේ ඡන්දය අනුව ඉදිරියේදී රට බෙදන ව්‍යවස්ථාවක් නිර්මාණය වනු ඇත.

    විශ්වාසභංගය ඒකාබද්ධ විපක්ෂය දිනුවත් දිනුම්, පැරදුණත් දිනුම් යැයි ප්‍රකාශ කිරීමට හේතු කිහිපයක් තිබෙන අතර එය මෙලෙස පැහැදිලි කළ හැකිය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඡන්ද විමසීම පැවැත්වෙන දින උදෑසන බහුතරයක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට නොපැමිණිටහ. ඒ තම තනතුරු, වරදාන වරප්‍රසාද ආරක්ෂා කරගැනීම වෙනුවෙනි. ඒ අනුව ඡනතා ඡන්දය වරදාන, වරප්‍රසාද වෙනුවෙන් භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ලැබිණි. එය විශ්වාසභංගය පරාජය වුවද අප ලද ජයග්‍රහණයකි.

    මේ හරහා යහපලාන ආණ්ඩුව බෙදීමකට ලක්වූ අතර, රට ගැන සිතා විශ්වාසභංගයට පක්ෂව නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කිරීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන් වී තිබේ. ඒ අනුව ආණ්ඩුවට ඉදිරියේදී සිතූ සිතූ පරිදි පාර්ලිමේන්තුවේදී ජනතාවට අහිතකර අණපනත් පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කරගැනීමට අවස්ථාව උදා නොවනු ඇත. එය විශ්වාසභංගය පරාජය වුවද ලබාගත් ජයග්‍රහණයකි. මේ පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයා එම ගමන තාවකාලිකව නවත්වා ඇති බව දැනගන්නට ඇත. එසේම මේ සටහන ලියවෙන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වී නොතිබුණු අතර, බොහෝ විට එහිදී තම මතය ප්‍රකාශ කොට මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුවෙන් ඉවත්වීමට වැඩි ඉඩක් තිබිණි.

    පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය ඒකාබද්ධ විපක්ෂය බවට ජනතාවට දැනගැනීමට අවස්ථාව උදාවිය. එසේම දෙමළ ජාතක සන්ධානයේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරි මාස තුනක කාලයක් තුළ නව ව්‍යවස්ථාවක් සඳහා %‘ඩීල්’ එකක් දැමුවේය. මේ පිළිබඳ ජනතාවට දැනගැනීමට අවස්ථාව උදා විය. එය විශ්වාසභංගය පරාජයට පත් වුවද අප ලද ජයග්‍රහණයකි. යම් හෙයකින් මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කළා නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමට ඉඩ තිබිණි. එය අප මෙයින් ලබා ගැනීමට අපේක්ෂා කළ දිනුමයි.

    මේ සියලු කරුණු සාරාංශව පවසන්නේ නම් අප මෙම විශ්වාසභංගය හිටපු ජනාධිපති මහින්දර රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට හෝ අපට අමාත්‍ය ධුර බෙදාගැනීම වෙනුවෙන් වෙනුවෙන් ගෙනා එකක් නොවේ. එය හුදෙක්ම ජනතා විරෝධී අග්‍රාමාත්‍යවරයෙකුට, ආණ්ඩුවකට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයකි. අනෙක් අතින් මෙම විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට හෝ පරාජයට පත් කිරීමට අදාළව තුරුම්පු තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේය. ඔහු එම තුරුම්පු භාවිත කරමින් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළේය.

    මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළා යැයි තාවකාලික සතුටක් ලබාගැනීමට අවස්ථාව තිබේ. නමුත් අවසාන වශයෙන් පරාජයට පත්ව ඇත්තේ එතුමා හා එතුමාගේ ආණ්ඩුව බව නොබෝ දිනකින්ම ඔහුට වැටහෙනු ඇත.

    අවසාන වශයෙන් පැවසීමට අත්තේ විශ්වාසභංගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද, ජනතා මතය ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට බවයි. එසේත් නොමැති නම් පොදුජන පෙරමුණට බවයි. ඉදිරියේදී එන පළාත් සභා, ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණවල ප්‍රතිඵල අනුව මේ බව පැහැදිලි වනු ඇත. ආණ්ඩුව ජනතා මතයට පිටුපාමින් මේ යන ගමන වහාම නවතා දැමිය යුතුය. මේ සඳහා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • සාක්කු පිරවීම වෙනුවට සාක්කු හිස් කිරීම

    නව දේශීය ආදායම් පනත හරහා ඉහළ සිට පහළට සෑම දෙනෙකුගෙන්ම බදු අය කිරීමට රජය කටයුතු කර තිබේ. ඊට අමතරව අවුරුදු 18 ඉක්මවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම වෙනම බදු ලිපිගොනුවක් පවත්වාගෙන යෑමට රජය අවධානය යොමුකර ඇත්තේ තවත් පුද්ගලයන්ගෙන් බදු අය කිරීමේ අරමුණින් වනු ඇත. මේ ලිපිගොනුවට ඇතුළත් වන දත්ත අනුව ඔවුන්ගේ බදු ගෙවීමේ හෝ නොහැකි වීමේ හැකියාව තක්සේරු කිරීමෙන් අනතුරුව බදු පැනවීම සිදුකරනු ඇත.

    ජනතාවගේ සාක්කුවෙන් මුදල් පික්පොකට් ගසන ආණ්ඩුව පසුගිය වසර තුනේදී ජනතාවගේ  ඒකපුද්ගල ආදායම වැඩි කිරීමට කටයුතු කර ඇත්තේ ඩොලර් 100කින් පමණය. 2014 වසරේදී ඩොලර් 3900 තිබූ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ක් දක්වා මේ වනවිට වැඩිව තිබේ.

    රජයක් පවත්වාගෙන යෑමට නම් ආදායම් අවශ්‍ය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මේ සඳහා ක්‍රම දෙකකිත එකක් බදු ආදායම ය. අනෙක බදු නොවන ආදායමය. මේ අතරින් පහසුම මාර්ගය වන්නේ බදු හරහා ආදායම් උපයාගැනීමය. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ වෙනත් ආයතනවල උපදෙස් ලබාගනිමින් කරන්නේ  බදු ආදායම ඉහළ නංවාගැනීමට කටයුතු කිරීමය.

    නමුත් ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමක් කෙරෙහි රජය අවධානය යොමුකර නොමැත. අනෙක් අතින් බදු නොවන ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාවක්ද රජයට නොමැත. මන්දයත් නොහැකියාව වසා ගැනීම සඳහා, ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථාන බදුදීමට ආණ්ඩුව කටයුතු කරන හෙයිනි.

    සෘජු බදු වේවා, වක්‍ර බදු වේවා මේවා ජනතාව විසින් ගෙවිය යුතුය. ආණ්ඩුවක් කටයුතු කළ යුතු වන්නේ බදු අය කිරීමට නොව ජනතාවගෙන් හැකිතාක් දුරකට බදු බර අඩු කිරීමටය. ඒ සඳහා පොලී  අනුපාතිය අඩුකර ගැනීමට කටයුතු කරමින්, නිවැරදි ආර්ථික කළමනාකරණයක් යටතේ අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කළ යුතු වෙයි.

    පවතින බදු ක්‍රමය සරල කිරීමට නව බදු පනතක් ගෙන එනවා යැයි කියූ ආණ්ඩුව අවසානයේදී ඉතාමත් සංකීර්ණ බදු පනතක් ගෙනැවිත් තිබේ. ඉදිරියේදී පත්වන අපගේ ආණ්ඩුවකින් ජනතාවට පහසුවෙන් බදු ගෙවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමත්, බදු ආදායම පිළිබඳ සහ බදු නොවන ආදායම් පිළිබඳ අවධානය යොමු කරමින් එම මාර්ග හරහා ආදායම් උත්පාදනය කර ගැනීමටද කටයුතු කිරීමට සූදානම්ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව  ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඒකාබද්ධ විපක්ෂයට තිබේ. මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා වන සියලු කටයුතු සූදානම් කර අවසන්ය. දැන් ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ගැනීමය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ නම් එය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තිබේ. ඒ අනුව තීරණය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රත්නපුරයේ පැවැති ජන හමුවකදී එතුමා ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියලු දෙනා තමන් සමග එකට සිට ගන්නේ නම් නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

    ඒ අනුව ජනාධිපතිවරයාට සිය පොරොන්දුව ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට දැන් අවස්ථාව උදා වී තිබේ. විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහාය ප්‍රබල සාධයක් වන හෙයින් මෙහිදී එතුමා ගන්නා තීරණය පිළිබඳවද ජනතාව වැඩි උනන්දුවක් පෙන්වා තිබේ. සටහන ලියන අවස්ථාව වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීරණය පැමිණ නොතිබිණි. නමුත් නිල නොලත් ආරංචි මාර්ගවලින් වාර්තා වූයේ බහුතරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය දීමට තීරණය කර ඇති බවයි.

    ආණ්ඩුවට පැමිණෙන එක පිට එක ප්‍රශ්න අවසන් කිරීම සඳහා එක් එක් පියවර ගනිමින් තිබේ. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන පියවර පිළිබඳ දැන් කතාවක් නොමැත. මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණය වූ අර්බුදය පිළිබඳ දැන් කතාවක් නොමැත. මහනුවර හා අම්පාර ඇති වූ ගැටුම් පිළිබඳ කතාවක් නොමැත. මේ අතර විශ්වාසභංග යෝජනාව හා ආණ්ඩුව විසින් හඳුන්වාදුන් නව දේශීය ආදායම් පනත ජනතාවගෙන් අමතක කිරීම සඳහා කටයුතු කළේ පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමය.

    මෙහිදී වැලිකඩ සිදුවීමට සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ දක්ෂ නිලධාරියෙකු වූ පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතරම බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ළමාහේවා මහතාද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීට අමතරව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමටද කටයුතු කළේය.

    නමුත් මේ අත්අඩංගුවට ගැනීම් හරහා නව දේශීය ආදායම් පනත පිළිබඳ මාතෘකාව හෝ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ජනතා අවධානය වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ඉඩ නොතබනු ඇත.

    පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩගුවට ගැනීම මත්කුඩු ජාවාරම්කරුවන්ට වාසිදායක ප්‍රවෘත්තියක් වනු ඇත. සෑම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වූ අවස්ථාවකදීම පාතාලයේ හිස එසවීම හා මත්ද්‍රව්‍ය ජාවාරම් වර්ධනය වීම අතීතයෙන් ඉගෙනගත හැකි පාඩම්ය.

    එක්සත් ජාතික පක්ෂයෙන් රටේ මුල්පුටුවලට ගිය පුද්ගලයන් හා පාතාල සාමාජිකයන්ගේ නම් එකට කියැවිණි. ඇතැම් නායකයන් සිය ආරක්ෂක කණ්ඩායම් සඳහා පාතාලයට සම්බන්ධ වූවන් සේවයේ යොදවාගෙන සිටි අවස්ථාද කියැවිණි. පොලිස් පරීක්ෂක රංගජීව මහතා පසුගිය කාලයේදී මත්ද්‍රව්‍ය විරෝධී සටනට සක්‍රීයව දායක වූ නිලධාරියෙකු වූ අතර, ඒ හේතුවෙන් වරක් ඔහු වෙඩි ප්‍රහාරයකට පවා ලක්විය. ආණ්ඩුව එම නිලධාරියාට වෙඩි තැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කළේ රංගජීව අත්අඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමකි. මෙය පාතාල නායකයන්ගේ උවමනාවට ආණ්ඩුව කළ සැලසුමක්දැයි යන සැකය ඇතිව තිබේ.  මේ අත්අඩංගුවට ගැනීමත් සමගින් පොලිස් නිලධාරීන් ඉදිරියේදී මත්කුඩු ජාවාරම් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්වලින් වැළකී සිටීමටද මෙවැනි සිදුවීම් හේතුවක් බවට පත්වනු ඇත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු.

    ඔබට සුබ අනාගතයක්.