• ආපදා තත්ත්වය – ස්වභාව ධර්මයට අප මුහුණ දිය යුතුය

    පාලකයන් අධර්මිශ්ඨ වන්නේ නම්, රට විනාශ වන බවට හා ගංවතුර වැනි ස්වභාවික ආපදා ඇතිව ජීවිත විනාශ වන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පවසා තිබිණි. කෙසේ වුවද ඔහු මෙරට රාජ්‍ය නායකයා වීමෙන් පසු ඇතිවූ තත්ත්වය පිළිබඳ මෙලෙස අවධානය යොමු කරන්නෙමු.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිංහල හා හින්දු අලුත් අවුරුදු දින මීතොටමුල්ල කසළ කන්ද නාය ගියේය. ඒ හරහා ජීවිත විශාල ප්‍රමාණයක් නැති විය. එමෙන්ම පසුගිය වසරේදී ගංවතුර, අරණායක නාය යෑම වැනි ආපදා සිදු වූ අතර, ඉන් අවතැන් වූ ජනතාව තවමත් කූඩාරම්වල පසුවෙති. සාලාව කඳවුරේ පිපිරීමක් සිදු වූ අතර, ඉන් දේපොළ  හා ජීවිත විනාශ විය.

    කෙසේ වුවද, මෙවැනි තත්ත්වයන් ඇති වීම යහපත් දෙයක් ලෙස ජනාධිපතිවරයා පවසනු දැකගත හැකිය. ගංගා පිරීම, වැව් පිරීම යහපත් දෙයක් යැයි හෙතෙම පෙන්වා දෙයි. වගකිව යුතු නායකයෙකු ලෙස විපක්‍ෂයේ මා ඇතුළු පිරිසට මඩ නොගැසීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු අතර, ඒවා පසුපස පැමිණෙන බවද ඔහු සිහි තබාගත යුතුව ඇත. එතුමා මා හට වුවද උපදෙස් දිය හැකි නායකයෙකි.

    ස්වභාව ධර්මයට අප මුහුණ දිය යුතුය. එය යථාර්ථයකි. නමුත් එයට මුහුණ නොදී කටයුතු කිරීම හේතුවෙන් සිදු වෙනුයේ ජනතාව පීඩාවට පත්වීමය. ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට ලක්‍ෂකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.

    එම ජනතාව වෙනුවෙන් විපක්‍ෂ මන්ත්‍රීවරුන් ලෙස සිදු කළ හැකි උපරිම සේවය අප මේ වන විට සිදු කරමින් පවතී. ආණ්ඩුවේ නායකයන් නිවේදන නිකුත් කරමින් සිටියි. ආපදා තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු ජන ජීවිත නැවත නගාසිටුවීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වී තිබේ.

    එසේම සෑම වසරකම මෙම කාලසීමාවේදී ඇති වන ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව පුරුදු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුවෙමින් පවතී. ඒ හරහා බොහෝ ජීවිත ප්‍රමාණයක් ආරක්‍ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි මගේ විශ්වාසයයි.

    අනෙකුත් නායකයන්ට මඩ ගැසීමට වැය කරන කාලය මෙවැනි වැදගත් කාර්යයන් වෙනුවෙන් යොදා ගත්තේ නම්, අඩුම තරමින් අපට අහිම වූ ජීවිත කිහිපය හෝ ආරක්‍ෂා කර ගැනීමට හැකියාවක් තිබිණි.

     

    වැඩිවෙන කොට හොඳද

     

    අද රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ආණ්ඩුවට අමතක වී තිබේ. මේ වන විට ආණ්ඩුව සිතාගෙන සිටිනුයේ රුපියල අවප්‍රමාණය වීම වැඩි වන විට ආර්ථිකයට වාසිදායක වන බවටය. මේ වන විට රුපියල වාර්තාගත ලෙස කඩා වැටෙමින් තිබේ.

    කුඩා කාලයේ අප කියනුයේ %වැඩි වෙන තරමට හොඳයි^ යනුවෙන්ය. රුපියල අමාරුවෙන් 160ට ගෙන ආවක් මෙන් ආණ්ඩුවේ පිරිස් කතා කරනු දැකගත හැකිය.

    අද වන විට සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටී, ජීවන වියදම් වැඩි වී ඇත. හැමතැන පුද්ගල ඝාතන සිදුවෙමින් ඇති අතර, පාතාලය හිස ඔසවා ඇත. ඇතැම් දේශපාලඥයෝ අධිකරණයට බණිමින් අධිකරණය හෑල්ලු කරමින් සිටිති. මේ සියල්ල කරනුයේ ආණ්ඩුවේ මැදිහත් වීම මතය.

    ආණ්ඩුවට අවශ්‍ය ලෙස අධිකරණය කටයුතු නොකරන්නේ නම්, ආණ්ඩුවට අවශ්‍ය ලෙස පොලීසිය කටයුතු නොකරන්නේ නම්,  ආණ්ඩුවට අවශ්‍ය ලෙස නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු නොකරන්නේ නම් ඒ අය සොරුන්ය. නමුත් ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු කරන්නේ නම් හෝ ආණ්ඩුවට අවශ්‍ය ලෙස නටන්නේ නම් ඒ අය හොඳ පිරිස්ය.

    ආණ්ඩුවේ ආයුෂ අඩු බව අපි පසක් කරන්නෙමු. තවත් අවුරුදු එකහමාරකින් ජනාධිපතිවරණය පැවැත්වෙයි. දැඟලිල්ල, කයිවාරු ගැසීම, කඹ ඇඳිල්ල නතර කර මේ අවුරුද්දේ හෝ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් දීමට ආණ්ඩුව මැදිහත් විය යුතුය.

     

    පොලීසිය

     

    පොලීසිය සම්බන්ධයෙන් කතා කරද්දී මේ වන විට ඔවුන්ට තිබෙන චෝදනා එමටය. පාතාලය එළිපිට හිස ඔසවමින් තිබේ. පසුගියදා එවැනි වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා මහතාගේ පියා අභාවප්‍රාප්ත විය. රංජන් ද සිල්වා මහතා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්ද වෙයි.

    තමන්ට ඇති තර්ජන පිළිබඳ ඔහු පොලීසියට පැමිණිලි කර තිබියදී, වටිනා ජීවිතයක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ වගකීම සම්පූර්ණයෙන්ම පොලීසිය බාරගත යුතුය. පාතාල  නායකයන්ගේ මංගල්‍ය අවස්ථාවන්ට ආරක්‍ෂාව ලබාදෙන පොලීසියට මන්ත්‍රීවරයෙකුට ආරක්‍ෂාවක් ලබාදිය නොහැකි වීම ගැටලුවකි.

    මේ අතර, පොලීසියේ සැබෑ කාර්යය වන ජනතාවට සේවය කිරීම වෙනුවෙන් සිය ජීවිතය පුද කළ පොලිස් නිලධාරියෙකු පිළිබඳ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්විය. ඒ තම ජීවිතය පිළිබඳ වන අවදානමද පසෙකලා තිදෙනෙකුගේ ජීවිතයන් බේරා ගැනීමට ගොස් ජීවිතක්‍ෂයට පත්වූ ඩිලාන් සම්පත් නිලධාරියාය. ඔහුගේ උතුම් සද්ක්‍රියාව සෑම පොලිස් නිලධාරියෙකුටම ආදර්ශයකි. ශ්‍රී ලංකා පොලිස් සේවයට ඩිලාන් සම්පත් වැනි නිලධාරීන් දහස් ගණනකයේ සේවය අවශ්‍ය වී තිබේ.

     

    තරග පාවාදීමේ චෝදනාව

    ක්‍රීඩාවට ඇළුම් කරන පුද්ගලයෙකු ලෙස අල් ජසීරා පුවත් සේවයේ පළ වූ වාර්තාව පිළිබඳ මෙහිදී යමක් සටහන් කළ යුතුය. එම පුවත් සේවය ගාල්ලේ තණතීරුව පාවාදීම පිළිබඳ කළ හෙළි කිරීම ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී සඳහන් කළ අයුරු මාගේ මතකයට නැගේ.

    ඒ අවස්ථාවේදී මාලිංග තණතීරු සකස් කිරීමේදී සිදු වන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කළ අතර, ඒ පිළිබඳ ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය කඩිනම් පරීක්‍ෂණයක් කළේ නම්, අද වන  විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු වූ හානිය අවම කර ගැනීමට අවස්ථාවක් තිබිණි. ඒවාට පරීක්‍ෂණ පවත්වනවා වෙනුවට ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළේ මාලිංගගෙන් පලිගැනීමට ඔහුට කණ්ඩායමේ ස්ථානයක් ලබා නොදීමය.

    මේ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන බවට ක්‍රිකට් ආයතනය දැනටමත් පවසා ඇති අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පරීක්‍ෂණයක් පවත්වන ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව මෙම පාවාදීම් පිළිබඳ හා එන් එහාට පවතින කුමන්ත්‍රණ පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව මාගේ මතයයි.

  • ත්‍රස්තවාදියාට “මහත්තයා” කීම

    ශ්‍රී ලංකාව සැබෑම නිදහසක් ලබා ගැනීමෙන් වසර නමයක් ගත වන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ. එදා නන්දිකඩාල් කලපුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ම්ලේච්ඡ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මරා දැමීමෙන් ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් බවට පත් කළේය. මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් සියලු පිරිස් වෙත එය අවසන් කිරීමේ ගෞරවය හිමි වෙයි.

    ඔවුන් සිය ජීවිත පරිත්‍යාග කරමින්, අවයව දන් දෙමින්, සදාකාලික ආබාධ තත්ත්වයන්ට පත්වෙමින් මව් බිම ඒකීය රාජ්‍යයක් බවට පත්කිරීමට ගත් කැපකිරීම අප කිසිවෙකුටත් අමතක නොවිය යුතුය.

    කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව සංහිඳියාවේ නාමයෙන් මේ වන විට ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු පිටියේ පවතින රණවිරු ස්මාරකය අසලට සීමා කර තිබේ. ආණ්ඩුව පැය කිහිපයකට පමණක් රණවිරු සැමරුම ලඝුකොට පවත්වද්දී උතුරේ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් විසින් ජන සංහාර සතියක් ප්‍රකාශයට පත්කරමින් ත්‍රස්තවාදීන් සමරමින් සිටියි.

    මේ හරහා සිදුවන්නේ සංහිඳියාව ශක්තිමත් වීමක් නොවන අතර, දකුණේ ජනතාව  අතර නොසන්සුන්තාවක් ඇති වීමය.

    පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රජයේ සම කැබිනට් ප්‍රකශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය මෙහිදී අමතක නොකළ යුතුය. ඔහුට අනුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දරුවන්ය. එම දරුවන් දළදා මාලිගාවට බෝම්ම දැම්මේය. ජය ශ්‍රී මහා බෝධියට  ඉදිරිපිටදී සැදැහැවතුන් ඝාතනය කළේය. අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළේය. කාන්තණ්කුඩි පල්ලියක දේව මෙහෙයක සිටි මුස්ලිම් ආගමිකයන් මරා දැම්මේය. එසේම අමාත්‍යවරයා පවසන ආකාරයෙන් එය ‘ප්‍රභාකරන් %මහත්තයාගේ’ මහත්මා ක්‍රියාවන්ය.

    මේ අතරම ඔහු ප්‍රභාකරන් හා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා  එක සමාන කිරීමටත් කටයුතු කළේය. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේද යන්න පිළිබඳව ජනතාවට හෙළි කළ යුතුය. ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා කරන ප්‍රකාශ රජයේ නිල ප්‍රකාශ බවට  පත්වෙන බව අමුතුවෙන් සඳහන් කළයුතු නොවේ. ඒ අනුව සලකා බැලීමේදී වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් දරන්නේ මෙම මතය දැයි ජනතාව තුළ සැකයක් මතුව තිබේ.

    ශ්‍රී ලංකාවට පිළිලයක් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට අනුබල දුන් කොටි සමාජිකයන් සැමරීම හරියට ඇමෙරිකාව විසින් බිල් ලාඩන් සැමරීමක් වැනිය. එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වැනි රටවල් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සැමරීමක් වැනිය. ශ්‍රී ලංකාවේ මෙවැනි සැමරීමක් සිදුවුවත්, ඇමෙරිකාවේත් ඉහත කී අනෙක් රටවල්වලත් එවැනි සැමරීමක් සිදුනොවෙයි.

    අනෙක් අතට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශය එදා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා කළ සුදු කොඩි කතාවට සමාන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශ දෙකෙන්ම සිදුවූයේ රණවිරුවන් පාවා දීමය. මෙම ප්‍රකශ පදනම් කරගනිමින් ඉදිරියේදී ජීනීවා මානම හිමිකම් සැසිවාරවලදී තවදුරටත් ශ්‍රී ලංකාවට පීඩනය එල්ල වනු ඇත.

    අනෙක් අතින් අමාත්‍යවරයා එම ප්‍රකාශය කරන අවස්ථාවේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාද එම ස්ථානයේ සිටියේය. ඔහු දැඩි අපහසුතාවකින් එම ස්ථානයේ සිටින  බව පෙනිණ. කෙසේවෙතත් ඔහු අමාත්‍යවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා නම් යුද හමුදාවට එල්ල වූ චෝදනා ඒ අවස්ථාවේදී අසත්‍යයක් බවට පත්කිරීමට අවස්ථාව තිබුණි.

    වර්තමාන රජය ඒ ආකාරයට ත්‍රස්තවාදීන් සමරද්දී, දරුණු ගණයේ ත්‍රස්තවාදීන් නිදහස් කරන විටදී, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ත්‍රස්තවාදීන් ලෙස දකිමින් ඔවුන්ව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. මේ හා සම්බන්ධ ආසන්නතම සිදුවීම වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා පැය 12ක් ප්‍රශ්න කිරීමට කටයුතු කිරීමයි.

    ජාත්‍යන්තරයට දුන් පොරොන්දු අනුව අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරමින් නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරන  බවයි.

    එම ඒකකය වසා දමනවා යැයි පැවසුවද මේ වන විට සිදුව ඇත්තේ අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එයට කැඳවා ඔවුන් ජනතාව වෙනුවෙන් කරන සටන ආපස්සට හැරවීමට උත්සාහ කිරීමයි.

    නුවර සිදුවීම පිළිබඳව ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් කරනවා නම්, නුවර ඇතිවූ සිදුවීම් පසුපස ත්‍රස්තවාදී සංවිධානයක් සිටිය යුතුය. ඒ අනුව මට ආණ්ඩුවෙන් ඇසීමට ඇත්තේ මේ පසුපස සිටින ත්‍රස්තවාදී සංවිධානය කුමක්දැයි යන්න ජනතාවට හෙළිකරන්න යනුවෙනුයි.

    ජීවන වියදම් වැඩි වීම

    ජීවන වියදම් අඩුකරන බවට රූපවාහිනියේ දැන්වීම් පළකර පැමිණි ආණ්ඩුව මේ වන විට ජනතාවගේ සාක්කුවෙන් අන්තිම ශතයද ලබාගන්නා තත්ත්වයට පත්ව තිබේ. අප ඔබට සඳහන් කළ පරිදි ඉන්ධන මිල ඉහළ දැමූ අතර, එහිදී වැඩිම මිලකින් ඉහළ දැම්මේ භූමිතෙල් මිලයි. ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත සිදුවූවක් බව ජනතාවට ‘”අමු අමුවේම” හෙළි වූයේ ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය හේතුවෙනි.

    ඉන්ධන මිල ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීරණය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ එම ආයතනය විසින් ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ සිවුවැනි අදියර ලබාදීමට අදාළ වන සාකච්ඡා ජුනි මස මුල් සතියේදී අවසන් කිරීමට හැකි වෙනු ඇති බවයි. ඒ අනුව එම ණය පහසුකම ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. එම ණය මුදල වෙනුවෙන් ජනතාව පීඩාවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ඉන්ධන මිල ඉහළ දැමීම මගිනි.

    ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගින් ඒ හා සම්බන්ධ අනෙකුත් ගාස්තුද ඉහළ යනු ඇත. එහිදී මූලිකවම එය ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපාන අතර, මේ වන විට බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තුද, කන්ටේනර් ප්‍රවාහන ගාස්තුද වැඩිවීමට යෝජනා සම්මත වී තිබේ. ඇතැම් පාර්ශ්ව මේ වන විටත් ගාස්තු ඉහළ නංවා ඇත.

    මේ ආකාරයට සෑම අතින්ම ජනතාවට පීඩාවට පත්කරන ආණ්ඩුවට තවමත් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීමට අදාළ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට නොහැකි වී තිබේ.

    නැවතත් රට තුළ ආපදා තත්ත්වයක් නිර්මාණය වී තිබේ. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් හැකි සෑම සහනයක්ම ලබාදීමට අප ඉදිරිපත් වන බව පැවසීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එය පක්ෂ පාට භේදයකින් තොරව අපි සිදුකරන්නෙමු. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා එක් අවස්ථාවකදී ප්‍රකාශ කළේ තමාට ලැබුණේ වැඩක් කිරීමට නොහැකි අමාත්‍යාංශයක් බවයි. නමුත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය තරම් ජනතාවට සේවය කළ හැකි තවත් අමාත්‍යාංශයක් නොමැති තරම්ය. එම ප්‍රකාශයෙන් පෙන්නුම් කළේ අමාත්‍යවරයාගේ අදක්ෂතාවයයි.

    මේ අතර වර්තමානයේ එම අමාත්‍යාංශයේ කටයුතු කරන දුමින්ද දිසානායක අමාත්‍යවරයාද එම ධුරයේ කටයුතු කාර්යක්ෂම අයුරින් සිදුකරන බවක් පෙනෙන්නට නොමැත.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5ට මොකද වුණේ?

    ඔබ කුරහන් සුවඳ තීරු ලිපි මාලාව හා සම්බන්ධ වී සිටි පාඨකයෙකු නම් අප්‍රේල් මස 24 වැනිදා පළකළ ලිපිය හරහා අප සඳහන් කළේ අවුරුදු සමයෙන් පසුව පීඩන සමය උදාවන බවයි. ඒ අනුව අප සඳහන් කළේ ඉදිරියේදී ගෑස් මිල, ඉන්ධන මිල හා කිරිපිටි මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවයි. ඉන් අනතුරුව පළවන තෙවැනි කුරහන් සුවඳ තීරු ලිපිය ලියන විට පෙර පැවසූ පරිදිම මෙම භාණ්ඩ තුනෙහි මිල ගණන් ඉහළ ගොස් ඇත.

    ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන විට පවසන්නේ ඒ සෑම දෙයක්ම ජනතාව පිට පැටවීමට සිදුව ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය හේතුවෙන් බවයි. ආණ්ඩුවට කෝකටත් තෛලය බවට පත්ව ඇත්තේ රාජපක්ෂ පාලනයයි. කෙසේ වෙතත් තවදුරටත් ආණ්ඩුවට මෙසේ සෑම දෙයක්ම රාජපක්ෂ ගිණුමට බැර කිරීමට නොහැකි වනු ඇත. එය “විහිලුවක්” බව ජනතාව දැනටමත් තේරුම් ගෙන ඇත.

    මේ සියල්ලකින්ම පෙනෙන්නේ මෛත්‍රී – රනිල් පාලනයේ ඇති අසාර්ථක තත්ත්වයයි. තෙල් මිල ඉහළ දැමීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානව එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සඳහන් කරන්නේ තෙල් මිල වැඩි කිරීමට සිදුවූයේද මහින්ද රාජපක්ෂ පාලනය හේතුවෙන් නිසා බවයි. ඉන්ධන මිල වැඩි කර ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ මහින්ද රාජපක්ෂ මහතගේ පාලනය කාලය තුළදී ඉන්ධන ලබාදුන් මිලටත් වඩා අඩුවෙන් තවමත් ඉන්ධන ජනතාවට සපයන බවයි.

    නමුත් මෙහිදී අවධානයට ලක්විය යුතු මූලික කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ පැවැති තෙල් මිල කොපමණද? මෛත්‍රී – රනිල් පාලන කාලය තුළ තෙල් මිල කොපමණද යන්නයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලය තුළදී ලෝක අර්බුද හේතුවෙන් තෙල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බව සෑම දෙනෙකුම දන්නා කරුණකි. එවැනි තත්ත්වයක් යටතේ පවා අප ජනතාවට උපරිම අඩු මිලකට ඉන්ධන  ලබාදීමට කටයුතු කළෙමු.

    කෙසේ වෙතත් මේ වනවිට තෙල් මිල අඩු වී පවතින අතර, ඊයේ දිනය වනවිටත් ඔපෙක් සාමාජික රටවල් ඇතුළු ලෝකයේ බොරතෙල් සපයන රටවල් බොහෝමයක තෙල් මිල ගණන් අඩුවෙමින් තිබිණි. ඉන්ධන මිල අඩුවීම හරහා ලැබෙන වාසිය පිළිබඳ මෙහිදී ඔබ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ තෙල් ආනයනය කිරීම සඳහා වසරකට වැය වූ මුදල ඩොලර් බිලියන 4.5ක් විය. ඒ ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල වැඩි වී තිබූ අවස්ථාවකය.

    නමුත් වර්තමානයේ තෙල් මිල පහළ යෑමත් සමගම වත්මන් ආණ්ඩුවට තෙල් ආනයනය කිරීමට වැය වන මුදල අමෙරිකානු ඩොලර් බිලියන 02ක් බවට පත්ව තිබේ. ඒ අනුව වසරකට අවම වශයෙන් රජයට ඉතිරි වන මුදල ඩොලර් බිලියන 2.5කි. ඒ අනුව වසර තුනක් ගත වනවිට රජයට ඉතිරි වී ඇති මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 7.5ක් පමණ වෙයි.

    එනිසා මේ ඉතිරි වූ මුදල් සඳහා කුමක් සිදු වී දැයි යන්න පිළිබඳ ආණ්ඩුව පැහැදිලිව ජනතාවට පැහැදිලි කළ යුතුය. මේ අනුව සත්‍ය ලෙසම ආණ්ඩුවට ඉන්ධන මිල  ඉහළ දැමීමක් අවශ්‍යව තිබේදැයි යන්න පිළිබඳ ජනතාව තේරුම්ගැනීමට අවශ්‍ය වෙයි. මේ තෙල් වාසියේ ප්‍රතිලාභය අවම වශයෙන් පාරිභෝගිකයාට නොගොස් රටට පැමිණියේ නම් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල මේ තරම් අවප්‍රමාණය වීමට අවස්ථාවක් නොවේ. ඉතිහාසයේ ඩොලරයක් සඳහා ගෙවීමට සිදුව ඇති උපරිම මුදල මේ වනවිට රජය ගෙවා දමමින් තිබෙන්නේ ඩොලරයක් සඳහා රුපියල් 159ක් ලෙසය.

    ආණ්ඩුව දිගින් දිගටම රාජපක්ෂවරුන් හොරුන් යැයි කිය කියා කටයුතු කළේය. එය ඔවුන් සිදුකළේ තමන්ගේ හොරකම් වසාගැනීම වෙනුවෙන් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. මේ වනවිට  ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මාධ්‍ය ඉදිරියට යෑමට පවා බියක් දැක්වීමෙන් මේ බව මනාව පැහැදිලි වෙයි. ඉපලෝගම නිවාස ව්‍යාපෘතියක් යැයි පවසමින් සිදුකළ පුරාවස්තු විනාශයද මෙහිම එක් දිගුවකි. මේ පිළිබඳ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් සිවුදෙනෙකුගේ සේවය මේ වනවිට තහනම් කර ඇතත්, ඔවුන්ට නියෝග දුන් දේශපාලන බලධාරීන් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

    පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කළ රවී වෛද්‍යාලංකාර මහතා පිළිබඳ ගැටලු ඇති බව අප මීට වසර කිහිපයක පටන් පැවසූ දෙයයි. නමුත් ඔහු විශ්‍රාම යෑමට ආසන්න වනවිට පොලිස්පතිවරයාට රවි වෛද්‍යාලංකාරගේ වැරදි පෙනෙන්නට පටන්ගෙන තිබේ. රාජපක්ෂලාගේ වැරදි සෙවීමට පත්කළ පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙද්දී, ඔහු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා ලෙස පත්කළේ ඇයිදැයි යන්න ජනතාවට තේරුම් කිරීම අවශ්‍ය නොවේ.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • යහපාලනය මැරීමයි.

    සුපුරුදු පරිදි මෙවරද ශ්‍රී ලංකාවේ දැවැන්තම මැයි දින රැලිය පැවැත්වීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානව ඒකාබද්ධ විපක්ෂයට එසේත් නැතිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි විය. ඒ බව ගාල්ලේ පැවැති අපගේ මැයිදින රැලියට එක්වූ ජනතාව සාක්ෂි දරනු ඇත. කෙසේ වෙතත් මෙවර අපට මැයි දිනය සැමරීමට වූයේ ජාත්‍යන්තර වශයෙන් සම්මත මැයි පළමුවැනිදා නොවේ. ඒ රජය මැයි දිනය මැයි පළමුවැනිදා සිට මැයි 07 වැනිදා දක්වා වෙනස් කළ හෙයිනි.

    මැයි දිනය මූලිකවම වැඩ කරන ජනතාව වෙනුවෙන් වෙන් වෙයි. මැයි දිනයේදී ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කරයි. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් එකින් එක කප්පාදු කරමින් සිටියි. කම්කරුවාගේ ප්‍රධානම හිමිකමක් වන සේවක අර්ථසාධක අරමුදලට පවා බදු අය කරන ආණ්ඩුවක් දැන් රට පාලනය කරමින් සිටියි. සේවක අර්ථසාධක අරමුදල කම්කරුවා වෙනුවෙන් හඳුන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම මේ වනවිට එක්සත් ජාතික පක්ෂය හා එක්ව එම අයිතිවාසිකම කප්පාදු කරමින් සිටියි.

    මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන විට ශ්‍රී ලංකාව වැඩ බිමක් බවට පත්ව තිබිණි. සෑම තැනකම ඉදිකිරීම් පැවැතුණි. නමුත් වත්මන් ආණ්ඩුව එම වැඩබිම මුඩුබිමක් කළේය. ඒ හරහා සිදුවූයේ වැඩ කරන ජනතාවගේ ආදායම් මාර්ග අහිමිවීමය. ඒ හරහා  ජනතාව කබලට වැටුණු අතර, පසුව විවිධ ආකාරයේ බදු පනවමින් වැඩ කරන ජනතාව තලා පෙලා දැමීමෙන් සිදුවූයේ ඔවුන් කබලෙනුත් ලිපට වැටීමය.

    ශ්‍රී ලංකාවේ මේ වනවිට රැකියා අර්බුදයක් නිර්මාණය වී තිබේ. ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මාසයකට වැඩ කරන ජනතාවට අලුතින් 10,000ක් පමණ එක්වෙන බවයි. නමුත් මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් රැකියා නිර්මාණය කිරීමට ආණ්ඩුවකට කිසිදු සැලසුමක් නොමැත. වත්මන් ආණ්ඩුව පත් වී දැන් වසර තුන හමාරක්  පමණ ගෙවා දමා ඇතත්, රටට සිදුවූ යහපතක් නොමැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ පසුගිය වසර තුන වැය කළේ රාජපක්ෂ රජය සමයේදී ලබාගත් ණය ගෙවා  දැමීමට බවයි. නමුත් ගෙවූ ණයක් නොමැත. අප ආණ්ඩුව බාර දෙනවිටත් පැවැති ඒකපුද්ගල ණය ප්‍රමාණය දැනුත් පවතී.

    රුපියල බාල්දු වීමද ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා සිදු වූ දෙයක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඩොලර්වලට ඇති ඉල්ලුම හා සැපයුම මත රුපියලේ අගය තීරණය වෙයි. වර්තමාන ආණ්ඩුවට සීමාවකින් තොරව භාණ්ඩ හා සේවා ආනයනය කිරීම, දේශපාලන අස්ථාවරත්වය, විදේශ විනිමය රට තුළට නොපැමිණීම, විදේශ ආයෝජන රට තුළට නොපැමිණීම මෙයට හේතුවෙයි.

    විදේශ ආයෝජන රට තුළට නොපැමිණීමට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල බලධාරීන් හා නිලධාරීන් ආයෝජකයන්ගේ අල්ලස් ගැනීමය. මේ සඳහා හොඳම උදාහරණය රුපියල් කෝටි 02ක අල්ලසක් ගැනීමේදී ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අත්අඩංගුවට පත්වීමය.

    මෙවර කුරහන් සුවඳ තීරු ලිපියේ ප්‍රධාන මාතෘකාව වන්නේ මැයි දිනයයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පත් කරන බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව දැන් සූදානම් වන්නේ අහිංසක දුප්පත් ජනතාව සතු මුදල් කොල්ලකෑමටය. මහ බැංකුවට සිදු වූ දේ ඉදිරියේදී සමෘද්ධි බැංකුවටද සිදුවනු ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී සමෘද්ධිය දෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට බවයි. රජයේ තනතුරු ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂිකයන්ට බවයි.

    එය “මරු යහපාලනයකි” එනම් යහපාලනය මැරීමකි. වත්මන් ආණ්ඩුවේ යහපාලනය හුදෙක්ම බෝඩ් ලෑල්ලක්, එසේත් නොමැති නම් හුදෙක්ම වචනයක් පමණක් බවට ප්‍රකාශ කිරීම සඳහා මීට වඩා උදාහරණ තවත් අවශ්‍ය නොවේ. මහින්ද රාජපක්ෂ රජය මේ ආකාරයට කටයුතු කළා නම් එම වසර 10දී රටේ සිදු වූ දැවැන්ත සංවර්ධනය සිදු නොවිමට ඉඩ නොතිබිණි. ඔහු රැකියා ලබාදීමේදී, උසස්වීම් ලබාදීමේදී, පොදු ජනතාව වෙනුවෙන් සහනාධාර ලබාදීමේදී ප්‍රතිලාභියා නිදහස් පාක්ෂිකයෙකුද, එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුද එසේත් නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙකුද යන්න කිසි දිනක විමසා නොබැලුවේය. රට වෙනුවෙන් වැඩ කිරීමට කැමති කාටද, ඒ වෙනුවෙන් අවස්ථාව ලැබිණි. සංවර්ධනය, යුද්ධය අවසන් කිරීම මූලිකවම මහින්ද රාජපක්ෂ යුගය ඉතිහාසයේ රටේ ස්වර්ණමය යුගය බවට පත්වූයේ එහෙයිනි.

    නමුත් දැන් එක්සත් ජාතික පක්ෂය සිතමින් සිටින්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබාදුන් 38% ක් වන සිය පාක්ෂිකයන් පිළිබඳවය. ආණ්ඩුව ආරක්ෂා කරගන්නේ කෙසේද කියාය. ඉතින් රටක් දියුණු වීම සිහිනයකි.

    මේ අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම නොයවා සිටීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටින බවට වාර්තා පළ වී තිබේ. පොලිස්පතිවරයා පවසන්නේ මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියාට විවිධ චෝදනා පවතින හෙයින් ඔහුට සේවා දිගුවක් ලබාදීම සුදුසු නොවන බවයි. නමුත් පොලිස්පතිට මේ බව පෙනුණේ දැන්දැයි ඇසිය යුතුය. අප දිගින් දිගටම කීවේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය දේශපාලනික වශයෙන් පළිගැනීමට කටයුතු කරන බවත්, පරීක්ෂණ පැවැත්වීමේදී දේශපාලනික වශයෙන් කටයුතු කරන බවත්ය. එදා අප කී දේ දැන් යථාර්ථයක් බවට පත්ව ඇත.

    මෙහිදී ආණ්ඩුවෙන් තවත් ඉල්ලීමක් කිරීමට අවස්ථාවක් කර ගනිමි. එනම් විවිධ පරීක්ෂණ කරන මුවාවෙන් විදෙස්ගතවීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් වැය කළ මුදල් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය. විශ්‍රාම යෑමට සිටින කුමන හෝ රාජ්‍ය සේවකයෙකුට ඔහුගේ හැකියාව අනුව සේවා දිගුවක් ලබාදීම ගැන අපි විරුද්ධත්වයක් ප්‍රකාශ නොකරමු. නමුත් ගැටලුව වන්නේ චෝදනාලත් පුද්ගලයෙකු තවදුරටත් එම තනතුරේ තබා ගැනීමට රජය කටයුතු කිරීමයි. මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා විශ්‍රාම යෑමට සිටියදී ඔහුට සේවා දිගුවක් ලබාදීමට කටයුතු කිරීම පසුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි රජය ජනතාවට පැවසිය යුතු වෙයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු

    ඔබට සුබ අනාගතයක්.