• පාතාලයද? එල්.ටී.ටී.ඊ. යද?

    වර්තමානයේදී පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනික වශයෙන් කඩේ යන තත්ත්වයකට පත්ව තිබේ. ඒ හේතුවෙන්ම පොලීසියට යොමුවන ප්‍රශ්නවලදී පොලීසියට දේශපාලන වශයෙන් පිළිතුරු ලබාදීමට සිදුව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය. මේ හේතුව නිසා පාතාලය සම්බන්ධයෙන් මාධ්‍ය නගන ප්‍රශ්නවලදී ඔහු අසරණ තත්ත්වයකට පත්ව තිබේ.

    මෙය ආරම්භ වන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නීතිය නවන බවට කළ ප්‍රකාශයෙනි. පොලීසිය දේශපාලනීකරණය කිරීම හරහා සිදුවන්නේ අනාගතයේදී මෙරට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලුවලට මැදිහත් වීමට සිදුවීමයි.

    වර්තමානය වන විට නීතිය හා සාමය ඇමතිකම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අමාත්‍යාංශයක් බවට පත්ව තිබේ. මේ හරහා සිදුවන්නේ පොලිස් නිල ඇඳුම සම්බන්ධයෙන් ජනතාව අතර පවතින ගෞරවය කෙළෙසීමට පත් කිරීමකි. වත්මන් රජය බලයට පැමිණීමේදී ජනතාවට විවිධ පොරොන්දු දුන් අතර, ඔවුන් නොමඟ යැවීම සඳහාද විවිධ අසත්‍ය ප්‍රකාශ කළේය.

    නීතිය හා අධිකරණ ක්‍රියාත්මක වෙන්නේ අරලියගහ මන්දිරයෙන් බවත්, සුදු වෑන් සංස්කෘතියක් පිළිබඳවත් පවසමින් ඔවුහු ජනතාව නොමඟ යැවීමට කටයුතු කළහ. ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධයෙන් ඔවුහු කතා කළහ. වැලිකඩ සිදුවීම සම්බන්ධයෙන් ඔවුහු කතා කළහ.

    නමුත් යහපාලනය ගෙනෙන බවට පැවැසූ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට වත්මන් පාලනය යම පාලනයක් බවට හඳුන්වාගැනීමට සිදුවීම දෛවයේ සරදමක් බඳුය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාම එය සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශ කළේ මාතර සිදු වූ අපරාධය හේතුවෙනි. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන කරුණ නම් මෙය පොලීසිය සිදු කළ ඝාතනයක් බවයි.

    මාතරදී පොලීසිය හා කොල්ලකරුවන් පිරිසක් අතර සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එහි ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී මිය ගියේය. මේ සිදුවීමේ සත්‍ය තොරතුරු තවමත් හෙළි වී නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණකි.

    නීතිය හා සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ පොලිස් නිලධාරියා වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුය. නමුත් නීතිය අතට ගෙන අපරාධකරුවෙකු ඝාතනය කිරීම තුළින් යුක්තිය ඉටු නොවේ.

    ආණ්ඩුවට අප දිගින් දිගටම සඳහන් කළේ රට තුළ පාතාලය කිසිදාක නොවූ පරිදි හිස ඔසවමින් තිබෙන බවයි. නමුත් ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක අද රටේ ජනතාවට විඳීමට සිදුව තිබේ. පාතාලය හිස ඔසවන බවට ආණ්ඩුව දැනගත් මුල් අවස්ථාවේදීම නිවැරදිව නීතිය ක්‍රියාත්මක කළේ නම් වර්තමානයේදී රට මෙවන් තත්ත්වයකට පත් නොවනු ඇත. අනෙක් අතින් අපරාධකරුවන් වෙත ආරක්ෂාව ලබාදීමටද ආණ්ඩුව කටයුතු කළේය. එක් අවස්ථාවක පාතාල කල්ලි නායකයෙකුට සම්බන්ධ විවාහ උත්සවයකට පොලීසිය ආරක්ෂාව ලබා දී තිබූ අතර, එවැන් දේ සිදුවන්නේ නම් පාතාලය පාලනය වන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ගැටලුවක් ඇති වේ.

    අනෙක් අතින් අප දිගින් දිගටම ප්‍රකාශ කරමින් තිබුණේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තවමත් මතවාදීව පරාජය වී නොමැති බවයි. මෙතෙක් කලක් ත්‍රස්තවාදීන් සඟවා තිබූ ආයුධ සොයාගත් පොලීසියට මැතකදී ත්‍රස්තවාදී ඇඳුම් හා ආයුධ සමග සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට සිදුවිය. මෙවැනි දේ සිදුවන්නේ ආණ්ඩුවේ අසමත්කම නිසාවෙනි. ආණ්ඩුවේම ඇතැම් අමාත්‍යවරුන් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නම් රට පත්ව ඇති තත්ත්වය පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය නොවේ.

    මෙසේ ත්‍රස්තවාදීන්වට වන්දි ගෙවීමට ඉදිරිපත් වීම හරහා සිදුවන්නේ ඔවුන් කළ සියලු සංහාරයන් සාධාරණීකරණය කිරීමකි. එල්.ටී.ටී.ඊ. සමාජිකයන් එසේ වන්දි ගෙවීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන ආණ්ඩුව අනෙක් පසින් යුද්ධය ජයග්‍රහණය කිරීමට දායක වූ රණවිරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිටියි.

    ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට බුද්ධි අංශ  අඩපණ වී තිබේ. වර්තමානයේ රට පුරාම සිදුවන වෙඩි තැබීම්වලට සම්බන්ධ පාතාලයද, එසේත් නොමැති නම් ත්‍රස්තවාදීන්ද යන්න වෙන්කර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මන්දයත් පාතාල සාමාජිකයන් යම් අපරාධයක් කර එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කිරීමට හැකි අතරම, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපරාධයක් කර එය පාතාලයට බැර කිරීමට හැකි හෙයිනි. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ රටේ නීතියේ පටන් සෑම අංශයකම තිබෙන කඩාවැටීමයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු යළිත් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීමට කටයුතු කළේය. එමෙන්ම රට වෙනුවෙන් සිය ජීවිතයට පරදුවට තබා කටයුතු කළ රණවිරුවන් හා පොලිස් නිලධාරීන් අභූත චෝදනා එල්ල කර සිරගත කරන විට වර්තමානයේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට මැළිකමක් දක්වනු ඇත. මන්ද යත් ඔවුන්ටද එසේ බන්ධනාගාරගත වීමට සිදුවනු ඇතැයි සිතන හෙයිනි.

    මේ අතර පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානියා ලෙස හිටපු පුද්ගලයාම යළි සේවයට පත්කර තිබේ. ඔහුට එරෙහිව රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාගත් බවට පරීක්ෂණයක් පවත්වන අතරතුර නැවත එම ඒකකයේ ප්‍රධානී ලෙස නැවත පත්කිරීම ගැටලුවකි.

  • ඝාතන රැල්ල.

    ජනාධිපතිවරයා වත්තල අධිකරණ සංකීර්ණය විවෘත කරන අවස්ථාවේදීත්, ඉන්පසුව අවස්ථා ගණනාවකදීත් සඳහන් කළේ රටේ අපරාධ රැල්ල මැඬපැවැත්විමට නීතිය හා සාමය අමාත්‍යාංශයට නොහැකි වී ඇති බවයි. මේ පිළිබඳ තමන් පොලිස්පතිවරයාට දැඩිව කතා කළ බවත් ඔහු සඳහන් කළේය.

    ජනාධිපතිවරයා එසේ කතා කර තිබියදීත් කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වූ කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමක් සිදුවිය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබුණත් අවස්ථා කිහිපයකදී කතරගම ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති විය. ඒ අවස්ථාවේදී කතරගම ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගත්තා නම් කොබවක ධම්මින්ද හිමියන්ට මෙවැනි වෙඩි තැබීමකට මුහුණදීමට සිදු නොවන්නට තිබිණි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි. එසේම කතරගම ආරක්ෂා කිරීමට පොලීසියට නොහැකි වීම පිළිබඳ පොලිස්පතිවරයා වගකීම බාරගත යුතු වෙයි.

    එසේම ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය තුළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ කරමින් ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ගෙනගිය මඩ ප්‍රචාරය හෙළාදැකීමටද මෙය අවස්ථාවක් කරගනිමි.

    කතරගම පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම තැනකම දැන් වෙඩි තබා ඝාතන සිදුකිරීම් බහුල තත්ත්වයක් බවට පත්ව තිබේ. යුද්ධය පැවැති දිනවලදී මියගිය පිරිසට සමාන පිරිසක් මේ වනවිට පාතාලය ක්‍රියාත්මක වීම හේතුවෙන් මියයමින් තිබේ.

    වත්මන් ආණ්ඩුවට පැමිණි විට විදේශගතව සිටින පාතාල නායකයන් ලංකාවට පැමිණීමත්, ඇතැම් පාතාල කල්ලි සාමාජිකයන් විදේශයන්හි සිටිමිනුත් ශ්‍රී ලංකාව තුළ පාතාලය ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂ අංශ සාමාජිකයන් ඇතැම්විට පසුබට වීමට හේතු විය හැක්කේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන්ටද සිරබත් කෑමට සිදුවනු ඇතැයි යන විශ්වාසය මත විය යුතුය.

    මන්දයත් වත්මන් ආණ්ඩුව විසින් රට වෙනුවෙන් කටයුතු කළ බුද්ධි අංශ සාමාජිකයන් ඇතුළු බොහෝ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් අභූත චෝදනා එල්ල කරමින් සිරගත කර ඇති හෙයිනි. මේ අතර අප උතුරේ තත්ත්වයද සැලකිය යුතු වෙයි. දකුණේ මෙන්ම උතුරේත් සැලකිය යුතු පුද්ගල ඝාතන කිහිපයක්ම සිදුව තිබේ. යාපනයේ පමණක් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 07කට ආසන්න අතර ඇතැම් ඝාතන සඳහා පොලීසියද සම්බන්ධ වී තිබේ. මෙයින් පෙනෙන්නේ රට අගාධයකට යන ආකාරයයි.

    ආර්ථිකයේ කඩාවැටීම

    ශ්‍රී ලංකා ආර්ථිකය ඇස් පනාපිටම කඩා වැටෙමින් තිබේ. මෙය පෙන්වන එක් දර්ශකයක් වන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ කඩාවැටීමයි. ඊයේ වනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 161ක් ලෙස වර්තාගත අගයක් සටහන්ව තිබිණි.

    මේ සඳහා හේතුව වන්නේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය නොපැමිණීමය. ඍජු විදේශ ආයෝජන නොලැබීම, රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය, විදෙස් ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම ඒ සඳහා හේතු වෙයි. එසේම සීමාවකින් තොරව භාණ්ඩ හා සේවා ආනයනය වෙනුවෙන්ද රජය විශාල මුදලක් වැය කරමින් සිටියි. එයද රුපියල අවප්‍රමාණයට බලපා ඇති හේතුවකි.

    ආණ්ඩුවේ අක්‍රමිකතාද මෙම තත්ත්වයට  බලපා තිබේ. එවැනි තත්ත්වයකදී විදෙස් ආයෝජන රට තුළට ගලා නොඑයි. ආර්ථිකය හැසිරීමේ නොහැකියාව මෙයින් මනාව පිළිබිඹු වෙයි. ආණ්ඩුව ආරම්භ වී ගත වූ වසර තුනහමාර තුළ විවිධ නමින් ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කෙරිණි. නමුත් එම එකඳු ප්‍රතිපත්තියක් හෝ ක්‍රියාත්මක නොවිණි.

    අනෙක් අතින් ආර්ථිකය යහපත් බව පැවසීමට ජනතාවට අසත්‍ය ප්‍රකාශද ආණ්ඩුව ඉදිරිපත් කළේය. ඒ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය නම් කුලියාපිටියේ ඉදි කෙරෙන බව කියූ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවයි.

    සිංහරාජ අලි

    වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට අවශ්‍ය තරම් නිදහස ලබා දී ඇති බවයි. නමුත් අවසානයේදි ඔහුට සිංහරාජයේ සිටින අලි දෙදෙනාවත් අල්ලා ගැනීමට ජනපතිගෙන් නිදහසක් ලැබී නොමැති බව සිංහරාජය තුළ සිදු වූ සිදුවීමෙන් අපට පෙනේ.

    සිංහරාජයේ අලි ඇල්ලීමට ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වීම පසුපස තිබෙන්නේද ආණ්ඩුවේ නොහැකියාවයි. එනම් තීන්දු තීරණ ගැනීමේදී ගම සමග සාකච්ඡා නොකරමින් අත්තනෝමතික ලෙස තීරණ ගැනීමේ ගැටලුවයි. ආණ්ඩුව කළ යුතු දේ නොකර, නොකළ යුතු දේ කිරීමද මේ හරහා පැහැදිලි වූ තවත් ගැටලුවකි. හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව හා හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල වන අලි ගැටලුව ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව තිබේ. නමුත් ඒ ප්‍රදේශවල ගැටලු විසඳනවා වෙනුවට සිංහරාජයේ සිටින අලි දෙදෙනෙකු ඇල්ලීමට විශාල පරිශ්‍රමයක් දැරුවේය. ඇමතිකම තිබූ පලියට හිතුමනාපෙට වැඩ කිරීම හරහා සිදුවන්නේ විශාල වශයෙන් ගැටලු මතුවීමක් පමණි.

  • මැතිවරණ සඳහා මුදල් ගැනීම නියාමනයට කාලය පැමිණ ඇත.

    පර්පචුවල් සමාගමට අනුබද්ධ සමාගම් විසින් දේශපාලකයන්ට ලබා දුන් මුදල් පිළිබඳ විවිධ හෙළි කිරීම් මේ වන විට අධිකරණය හරහා ජනතාවට දැන ගැනීමට ලැබී තිබේ. එම මුදල් ලබා ගැනීම් බොහෝ දෙනෙක් සාධාරණීකරණය කිරීමට උත්සාහ ගන්නේ ඒවා මැතිවරණ ව්‍යාපා සඳහා යෙද වූ බව සඳහන් කරමිනි. එසේ නොමැති නම්, මැතිවරණ ව්‍යාපාර සඳහා ලැබුණු බව සඳහන් කරමිනි.

    මැතිවරණ සඳහා විශාල ලෙස මුදල් වියදම් වන බව සඟවා සිටීමේ අවශ්‍යතාවක් නොමැත. නමුත් ලෝකයේ අනෙකුත් රටවල පවතින ආකාරයට ශ්‍රී ලංකාවේද මෙම ක්‍ෂේත්‍රය දැන් නියාමනය කිරීමට කාලය පැමිණ තිබේ.

    ඒකාබද්ධ විපක්‍ෂයට දිවා රෑ දෙකේදීම “හොරා” යැයි පැවසූ පුද්ගලයන් දැන් බැඳුම්කර ගනුදෙනුවෙන් මුදල් ලබාගෙන ඇති බවට හෙළි වී අවසන්ය. ඔවුන් මැතිවරණයට මුදල් ගත් බව ප්‍රකාශ කළද, මැතිවරණයට කලින් මුදල් ලබාගත් අය මෙන්ම මැතිවරණයට පෙරාතුව මුදල් ලබාගත් අයත් සිටින බවට දැන් තොරතුරු වාර්තා වෙමින් තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණ දූෂණයට විරුද්ධ බවට සඳහන් කළද, බැඳුම්කර ගනුදෙනුවේ මුදල් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් පිළිබඳ කතා නොකරයි. නමුත් ඔවුන් මන්ත්‍රයක් ලෙස පවසන්නේ නාමල් රාජපක්‍ෂට ඇලෝසියස් දුරකථන ඇමතුම් 800ක් ලබාදී ඇති බවයි. අනෙක් අතින් ජනතා විමුක්ති පෙරමුණ ඇලෝසියස්ගේ මුදල් ලබා ගැනීම් පිළිබඳ කතා නොකරන්නේ ඔවුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති නිසාදැයි යන්න පිළිබඳ සාධාරණ සැකයක් නිර්මාණය වී තිබේ.

    මෙහිදී මා මිත්‍ර රන්ජන් රාමනායක අමාත්‍යවරයා පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. බැඳුම්කර සම්බන්ධයෙන් වරින්වර හෝ කතා කරන අමාත්‍යවරයාට පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන් මුහුණ දී ඇති ගැටලුව පිළිබඳ කතා නොකිරීම ගැටලුවකි. සුද්දවන්තයෙකු ලෙස කතා කරන රන්ජන් රාමනායක මහතා තරමක නිහඬ ප්‍රතිපත්තියක් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අනුගමනය කරන අතර, මා කී පෞද්ගලික මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් ඔහු හුදෙක්ම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයිදැයි යන්න පිළිබඳ ජනතාවට පැවසිය යුතුය.

    රුසියාවෙන් ජපානයට

    රුසියාවේ පැවැති ලෝක පාර්ලිමේන්තු සම්මේලනයට එක්වීමට ලැබීම තවදුරටත් මාගේ දේශපාලන දිවියේ අත්දැකීම් වැඩිකර ගැනීම  සඳහා ඉවහල් වූ සාධකයක් බවට පත්විය. ලෝකයේ රටවල ආරක්ෂාව, මූලිකමව රටවල පවතින සාමූහික හැඟීම වර්ධනය කර ගැනීම හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භූමිකාව පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමුකළ මාතෘකා අතර පැවැතිණි.

    එම සම්මේලනයට එක්වීමෙන් අනතුරුව අප රුසියාවේ සිට ජපානය බලා පිටත් වූයේ මූලිකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජපන් ශාඛාව පිහිටුවීමේ අරමුණ අනුවය. එය ප්‍රධාන අරමුණ වශයෙන් පවතින විට අප ජපානයේ විවිධ ප්‍රදේශයන්හි සංචාරය කරමින් ශ්‍රී ලංකා ජනතාව හමුවීමට අවස්ථාවක් කරගත් අතර, ෆූජි කන්ද තරණය කිරීම, ලෝකයේ විශාලම බෞද්ධ විශ්වවිද්‍යාලය වන නාලන්දා විශ්වවිද්‍යාලයට සංචාරය කිරීමට අවස්ථාව ලැබීම සුවිශේෂීය. නාලන්දා විශ්වවිද්‍යාලය තවත් නොබෝ දිනකින් විවෘත වීමට නියමිත අතර, එහි ගෘහ නිර්මාණ ශිල්පය මනස්කාන්තය.

    විදේශ ප්‍රතිපත්තිය

    ජපානයේ සිටිමින් මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපිය සටහන් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා පිළිබඳ කතා කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. වත්මන් ආණ්ඩුව පත්වීමේ පසුව ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය, ආගමික, දේශපාලනික ආදී සෑම අංශයකින්ම කඩා වැටෙමින් පවතින අවස්ථාවක ඒ හා සාපේක්‍ෂව විදේශ ප්‍රතිපත්තියද කඩා වැටී තිබේ.

    නොබැඳි ප්‍රතිපත්තයක් අනුගමනය කළ ශ්‍රී ලංකාව මේ වන විට බටහිර ගැතිව කටයුතු කරන තත්ත්වයක් හොඳින්ම පෙනෙන්නට තිබේ. අනෙක් අතින් බටහිර ගැතිව කටයුතු කරන අතරම ඔවුහු සම්බාධක පනවා ඇති රටවල් හා සම්බන්ධතා පැවැත්වීමටත් කටයුතු කරමින් සිටිති. නොබැඳි විදේශ ප්‍රතිපත්තියක සිටිමින් එවැනි ආකාරයකට කටයුතු කිරීම ගැටලුවක් නොවේ.

    කටාරය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින අවස්ථාවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් කටාරයේ සංචාරයක නිරත වෙති.  එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ඉරානයේ සංචාරයක නිරත විය. බටහිර රටවල් විසින් ඉරානයට සම්බාධයක පනවා ඇති අවස්ථාවක ඔහු මෙම සංචාරය සිදු කළේය. කටාර් සමග හෝ ඉරානය සමග අපට ගැටලුවක් නොමැත.

    නොබැඳි ප්‍රතිපත්තියක සිට මෙම රටවල් හා කටයුතු කිරීම ගැටලුවක් නොවන නමුත් ගැටලුව වන්නේ බටහිර ගැති ප්‍රතිපත්තියක සිට ඔවුන් සම්බාධක පනවා ඇති රටවල් සමග කටයුතු කිරීමය. මංගල සමරවීර ඇමතිවරයා වරක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමය කරන බවයි.

    එසේම ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බව කියමින් ඇමෙරිකාව සමග ඒකාබද්ධ යෝජනා ඉදිරිපත් කරමින් ඇමෙරිකාව සම්බාධක පනවන රටවල් සමග ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ මෙන් සෑම විටම වෙනස් වෙන එනම්, අද කියන දේ හෙට වෙනස් වෙන  විදේශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට දැන් නිර්මාණය වී තිබේ. මෙයින් සිදු වනුයේ රට ලෝකයා හමුවේ හෑල්ලුවට ලක්වීම මිස රටක් ලෙස ඉදිරියට යෑම නොව පසුපසට යෑමය.

    නිදහස් පක්‍ෂ ප්‍රතිසංවිධානය

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන බව පවසමින් පැලැස්තර අලවමින් සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවතිනුයේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පවතින ස්ථානය තුළය. එය ඩාලි පාරේ ගොඩනැගිල්ලට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ බෝඩ් ලෑල්ලට සීමා නොවෙයි. නිදහස් පක්‍ෂ ප්‍රතිසංවිධානයෙන් දුමින්ද දිසානායක අමාත්‍යවරයා නම් පාඩමක් ඉගෙන ගෙන ඇත. ඒ “මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විශ්වාස කළ නොහැකියි” කියාය.

     

  • දකුණේ උණ රෝගයෙන් පෙනෙන ආණ්ඩුවේ අසමත්කම.

    දකුණේ පවතින උණ රෝගයට හේතුව ඉන්ෆ්ලුවෙන්සා ඒ වෛරස බව වෛද්‍ය පර්යේෂණ ආයතනය සොයාගත්තේය. මේ සටහන ලියන විට ඒ පිළිබඳ මාධ්‍ය වාර්තා පළවෙමින් තිබිණි. රෝගයෙන් දරුවන් 15 දෙනෙකුගේ ජීවිත අහිමි වූ විට හෝ අවසානයේදී රජය රෝගයට හේතුව සොයාගැනීමට සමත් විය.  ඒ සඳහා ගත වූ කාලය විශාල වන අතර, යම් හෙයිකින් මීට දින කිහිපයකට හෝ පෙර රෝගයට හේතුව සොයාගත්තා නම් අහිංසක ළමයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට අවස්ථාව තිබිණි.

    මේ පිළිබඳ සොයා බැලීමට රටේ නායකයන් දෙපළවත්, සෞඛ්‍ය අමාත්‍යවරයාවත් දකුණට නොපැමිණීම ගැන දකුණේ ජනතාව කනගාටුවට පත්ව තිබේ. ඔවුහු කොළඹ සිට මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පමණක් සිදු කළහ. ආණ්ඩුව අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නේද මේ ආකාරයෙනි. උණ රෝගය විසඳීමට ආණ්ඩුවට මෙවැනි කාලයක් ගතවෙමින් තිබෙන්නේ නම්, රටේ ආර්ථිකය නැංවීම සඳහා ආණ්ඩුවට කොපමණ කාලයක් ගතවෙනු ඇතිදැයි මෙයින්ම දැන් ජනතාවට තේරුම් ගැනීමට හැකියාව තිබේ.

    මේ රෝගී තත්ත්වය හේතුවෙන් දෛනිකව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 100ක් විය. ප්‍රතිකාර සඳහා දිනකට හම්බන්තොට රෝහලට පැමිණෙන දරුවන් සංඛ්‍යාව 50-60 අතර තත්ත්වයකට පත් විය. හම්බන්තොට තත්ත්වය මෙසේ නම් ගාල්ල හා මාතර තත්ත්ව කෙසේ වේ දැයි ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මෙම රෝගී තත්ත්වය මාධ්‍ය විසින් හෙළි කරන විට ආණ්ඩුව මුලින්ම සිදුකළ යුතුව තිබුණේ එය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමයි. නමුත් ඔවුහු එය සිදුනොකළ අතර, ජනතාවට බිය නොවැන්නයි දැනුම් දුන්හ. එසේම හිඟයකින් තොරව ඒ සඳහා අවශ්‍ය ඖෂධ දකුණේ රෝහල්වලට නිකුත් කළ යුතුව තිබුණද, එය සිදු නොවීය. වෛද්‍යවරුන්ම සඳහන් කළේ රෝගය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණයේ හිඟයක් ඇතිව තිබෙන බවයි.

    මේ වනවිට එන්නත නිර්දේශ කොට එය පෞද්ගලික ආයතනයකින් ලබාගන්නා ලෙස රෝහල්වලින් පවසන බව දෙමාපියෝ මා සමග පැවසූහ. රාජපක්ෂ ආණ්ඩුව නිදහස් සෞඛ්‍යය විනාශ කරන බව කියමින් පැමිණි ආණ්ඩුව රෝගයකට අවශ්‍ය එන්නත ලබාගැනීමට දුප්පත් ජනතාව ෆාමසි සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුව ඉතාමත් ඉක්මනින්ම මේ ගැටලුව විසඳීම සඳහා තවදුරටත් කටයුතු නොකරන්නේ නම් එය රට පුරා පැතිරීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

    118 ලැයිස්තුව

    අර්ජුන් ඇලෝසියස් මහතාට සම්බන්ධ සමාගමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බවට හෙළිවීමත් සමග බැඳුම්කර වංචාවෙන් මුදල් ලබාගත් 118 දෙනෙකු පිළිබඳ මේ වනවිට සමාජයේ දැඩි කතාබහක් ලක්ව තිබේ.  මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ජනතාව වපර ඇසකින් බලන තත්ත්වයට පත්ව ඇති අතර,  වහාම මෙම 118 දෙනාගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    එසේ නොවුවහොත් පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ජනතාව තබා ඇති අවසන් විශ්වාසය හෝ නැති වී යනු ඇත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බව කියමින් පැමිණි යපහාලන ආණ්ඩුව දැන් මන්ත්‍රීවරයෙකුට මාර්ගයේ පවා ගමන් කළ නොහැකි තත්ත්වයක් උදාකර තිබේ.

    මැතිවරණයකදී ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් වෙත මුදල් ලබාදීම අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. නමුත් ගැටලුව වන්නේ පර්පෙචුවල් සමාගම මහ බැංකුවෙන් විශාල මුදලක් කොල්ලකා ඇති අවස්ථාවක එම සමාගම දේශපලඥයන්ට හා අනෙකුත් පුද්ගලයන්ට මුදල් ලබාදීමයි. සොරාගත් බව දැන දැනම එම මුදල් ලබාගැනීමද ගැටලුකාරී තත්ත්වයකි.

    මෙසේ මුදල් ලබාදීම් පිළිබඳ තොරතුරු වාර්තා වූයේ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට චෝදනා එල්ල වීමත් සමගිනි. නමුත් දයාසිරි ජයසේකර මහතාට එම චෝදනාව එල්ල වූයේ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය විටය. මේ වනවිට රුපියල් බිලියන 12ක බැඳුම්කර සොරකම  දැන් රුපියල් මිලියනයකට ලඝු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබේ.

    මේ වනවිටත් දැන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ පර්පෙචුවල් සමාගමෙන් මුදල් ලබාගත් 118 දෙනා පිළිබඳවය. නමුත් අපගේ අවධානය යොමුවිය යුත්තේ බැඳුම්කර වංචනිකයන්ට දඬුවම් දීම කෙරෙහිය. අනෙක් අතින් අලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් 118 දෙනා හෙළි කිරීමද අත්‍යවශ්‍ය කරුණකි.

    ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන් භීතියට පත්කිරීම සඳහා ආණ්ඩුව මොන ක්‍රියාමාර්ග ගත්තද ඉදිරියේදීත් තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වනු ඇත. එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවූයේද මෙහි එක් පියවරක් ලෙසිනි.

    යම් හෙයකින් අර්ජුන් ඇලෝසියස් මෙම ලියුම්කරු වන නාමල් රාජපක්ෂට මුදල් දී ඇති බවට බැඳුම්කර වාර්තාවේ සඳහන් වී තිබුණා නම් හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුටත් මුදල් ලබා දී තිබූ බවට සඳහනක් තිබුණා නම් ඇතිවන තත්ත්වය පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මගේ නම තිබුණා නම් නාමල් රාජපක්ෂ විත්තිකාරයා වී අර්ජුන් ඇලෝසියස් සාක්ෂිකාරයා බවට පත්වීමටද ඉඩක් තිබිණි. ඇලෝසියස් සහ මා අතර මිත්‍රකමක් තිබුණ නමුත්, ඔහු සහ මා ව්‍යාපාර කටයුතු සිදුකර නොතිබුණු අතරම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු සිරගත කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ මුලින්ම හඬ නැගුවේද මමය.

    ජනපතිගේ කතා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට මලකඩ බැඳී තිබූ කඩුව ඔහේ වනමින් තිබේ.  ඔහු රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ටද විවිධ චෝදනා එල්ල කරමින් මේ වනවිට කතා පවත්වමින් තිබේ. මේ සියල්ලකින්ම හොඳින් පෙනෙන්නේ විධායක ජනපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වූ අසාර්ථකත්වයයි. ජනාධිපතිවරයාගේ කතාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාත් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ හෙයින් ඒ පිළිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කිරීම අනවශ්‍ය දෙයකි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ ලබන සතියේදී මෙම තීරු ලිපියෙන් සාකච්ඡා කිරිමට අදහස් කරමි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!