• පාතාලයෙන් පාලනය වන රටක්.

    වර්තමානය වන විට පාතාලය හිස ඔසවා තිබෙන ආකාරය පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නීතිය හා සාමය භාර අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ ඉලක්කම් කිහිපයකින්ම මෙවර “කුරහන් සුවඳ” තීරු ලිපියට ප්‍රවේශයක් ගනිමි. ඔහු සඳහන් කළේ, මේ වසරේ ගතවූ මාස හය තුළදී මිනීමැරුම් 214ක් වාර්තා වී තිබෙන බවයි. මෙයින්ම වත්මන් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

     

    මෙම ලිපිය ලියැවෙන විටත් පැය 12ක කාලයක් තුළදී පුද්ගල ඝාතන 05ක් වාර්තා වී තිබූ අතර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි වැදී තුවාල ලබා තිබිණි. මෙලෙස මියගිය පුද්ගලයන් පස්දෙනා අතර කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ද විය. ගත වූ මාස කිහිපය තුළ ඝාතනය කරන ලද පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද තුනකි. කරන්දෙණිය, රත්මලාන ප්‍රදේශයේදී මීට ඉහතදී වෙඩි තබා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඝාතනය කරනු ලැබූහ.

    මෙයින් පැහැදිලිව පෙනෙනුයේ පාතලය විසින් රටත්, ආණ්ඩුවත් පාලනය කරන බවයි. එම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් මෙම ඝාතන රැල්ල මැඬපැවැත්විය නොහැකිය. එම ඝාතනයන් නැවත නැවත සිදුවීම වැළැක්වීම සඳහා විකල්ප වැඩපිළිවෙළක අවශ්‍යතාව ඉස්මතු වී තිබේ. පසුගිය දිනක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, පාතාලය මැඬපවත්වන ලෙස තමන් පොලිස්පතිවරයාට තදින් අවධාරණය කළ බවයි.  එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන්නේ නම්, පොලිස්පති තනතුර සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් එදිනත්, අදත් පොලිස්පති වශයෙන් කටයුතු කරන්නේ පූජිත් ජයසුන්දර මහතාය. වෙනස් වූයේ එදත්, අදත් සිදුවන ඝතන ප්‍රමාණය වැඩි වීම පමණි. අපරාධකරුවන් ඝාතනය කරන විට පොලීසියට භාවනා කිරීමට උගන්වන පොලිස්පතිවරයෙකු යටතේ හෝ අපේකම නොමැති වීම නිසා මෙම විනාශය සිදුවෙනවා යැයි පවසන පොලිස්පතිවරයෙකුගෙන් ඝාතන රැල්ල අඩුවෙතැයි අපේක්‍ෂ කළ නොහැකිය.

    මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල විවිධ අවිගත් කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය පතුරවමින් තිබේ. උතුරේ ජනතාව බිය ගන්වන තරමට “ආවා” කල්ලිය වර්ධනය වී තිබේ. එම කල්ලියේ ක්‍රියාවන් පාලනය කළ බව පැවැසූ පොලීසියට අද වන විට “ආවා” කල්ලියේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට යාපනයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට සිදුවෙයි. මෙය එක් උදාහරණයක් වෙයි. මෙම ක්‍රියාවන් පාලනය කිරීමට ආණ්ඩුව ඉතා ඉක්මනින් කටයුතු නොකළොත් නොබෝ දිනකින් අවිගත් කණ්ඩායම් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ පාලනය කිරීමට කටයුතු කරනු ඇත.

    ඝාතන රැල්ල සේම හෙරොයින්, කොකේන්, හෂීස්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රට තුළ භාවිත වන ප්‍රමාණය මෙන්ම, රට තුළට ගලා එන ප්‍රමාණයද වර්ධනය වී තිබේ. ගතවූ දින දෙකේදී රුපියල් බිලියන 1.7කට අධික හෙරොයින් අත්අඩගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය  නාශක  කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර තිබිණි. ඒ සඳහා සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රණාමය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

    කුඩු විකිණීම, කුඩු ජාවාරම හා කප්පම් ගැනීම්වල වර්ධනයක් වී තිබේ. දකුණේ පාසල් දරුවන්ද මෙම කුඩු ජාවාරම් වෙනුවෙන් යොදා ගැනීමටත්, ඔවුන්ව මත්ද්‍රව්‍ය පානයන් සඳහා ඇබ්බැහි කර ගැනීම වෙනුවෙනුත් සංවිධානාත්මක වැඩසටහන්ද මේ වන විට ක්‍රියාවට නංවා ඇත. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් වගේවගක් නැත. හුදෙක් වචනයට පමණක් සීමා වූ ළමයින් සම්බන්ධ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට පමණක් පාලකයන් කටයුතු කරමින් සිටියි.

    විජයකලාගේ ප්‍රකාශය

    වත්මන් ආණ්ඩුව පත්වූ විට අවස්ථා කිහිපකදීම අප සඳහන් කළේ ජාතික ආරක්‍ෂව ගැටලුවකට පත්ව ඇති බවයි. ආණ්ඩුව නියෝජනය කරන, එසේම වගකීම් දරන පුද්ගලයන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැංවිය යුතු බවට ප්‍රකාශ කරයි නම්, එය ආණ්ඩුවේම මතය විය හැකිය.

    එක් අවස්ථාවකදී නොව අවස්ථා කිහිපයකදීම ඇය මෙවැනි ප්‍රකාශ කළාය. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ලබාදෙන දිවුරුමද කඩකර ඇත. ඇයට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාව ලබාදීමෙන් පමණක් මෙම ප්‍රකාශයේ ඇති බරපතළකම අඩු නොවේ. ඇයට එරෙහිව ආණ්ඩුවක් වශයෙන් පියවර නොගැනීමෙන් පැහැදිලි වන්නේ වත්මන් ආණ්ඩුවට පාතාලයටත්, ත්‍රස්තවාදයටත් උපකාර කරන බවයි.

    රාජපක්‍ෂවරුන්ට අභූත චෝදනා එල්ල කිරීමට සතියකට වරක් හෝ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කටයුතු නොකරන්නේ නම්, ඔහුට නින්ද නොයයි. පසුගියදා ඔහු පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය සම්බන්ධයෙන්ද චෝදනාවක් එල්ල කළ අතර, ඔහු එම චෝදනාව එල්ල කළද, ඒ සම්බන්ධයෙන් මේ වන විට වසර තුනක කාලයක පටන් පරීක්‍ෂණයක් පැවැත්වෙයි. එම පරීක්‍ෂණයෙන් කිසිවක් තහවුරු කර ගැනීමට නොහැකිව තිබේ.

    මේ අතර, රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමට පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය සම්බන්ධයෙන් කර තිබූ චෝදනාවක් ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය අවසන් කර පිටත්ව යෑමට නියමිත ඇමෙරිකානා තානාපති අතුල් කේෂාප් මහතා සිය ට්විටර් ගිණුමෙන් “Retweet” කර තිබිණි. ඔහු පවසන්නේ “Retweet”කිරීම තම මතය නොවන බවයි.

    “Retweet” සාමාන්‍ය‍යෙන් තම මතය ප්‍රකාශ කිරීමක් නොවුණද, එයින් එම පුද්ගලයාගේ දේශපාලන හෝ අනිත් මතයන් පිළිබඳ අදහසක් ලබා ගැත හැකිය. තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ දෙයක් තමන් කෙදිනකවත් “Retweet” නොකරයි. වගකිව යුතු රටක තානාපතිවරයෙකු ලෙස මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු යැයි මගේ අදහස වෙයි. තානාපතිවරයෙකු වෙනත් රටවල් අභ්‍යන්තර ප්‍රශ්න සඳහා මැදිහත් නොවන්නේ නම්, යහපත් දෙයකි. මෙයින් පැහැදිලි වන්නේ ඔහුගේ පෞද්ගලික දේශපාලන මතය වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ බවයි.

  • ජනතා ප්‍රශ්න අමතක කර නිව්යෝක් ලිපියේ එල්ලීම.

    නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය පළකළ අසත්‍ය ලිපිය හේතුවෙන් ආණ්ඩුවට දැන් ජනතාවගේ ප්‍රශ්න අමතක වී ඇති බව පෙනේ. ඉන්දියාව, චීනය, ඇමෙරිකාව අතර ඇති කඹ ඇදීමේ තරගයට ශ්‍රී ලංකාව යොදාගැනීමේ ප්‍රතිවිපාක අවසානයේදී මේ රටේ අහිංසක ජනතාවට ගෙවීමට සිදුවනු ඇත.

    කෙසේ වෙතත් එම ලිපිය සම්බන්ධයෙන් නීතිමය වශයෙන් කටයුතු කිරීමට අප සූදානම්ය. ඒ පිළිබඳ කටයුතු කිරීමට ජ්‍යෙෂ්ඨ නීතිඥ කණ්ඩායමක් මේ වනවිටත් ඉදිරිපත් වී තිබේ. මේ ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලින් ලබාගත් බවට වාර්තා පළවන අතර, එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරුවලින් ලිපිය ලියා ඇත්නම් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

    මෙම ලිපියේ හම්බන්තොට වරාය ඉදි කිරීමට ණය ලබාගැනීම හා එය චීනයට පැවරීමට කටයුතු කිරීම පිළිබඳ සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙම වරායේ වැදගත්කම මෙන්ම අප එයට ලබාගත් ණය ගෙවාදැමීමට කටයුතු සැලසුම් කර තිබූ ආකාරය පිළිබඳ ඔවුන් සඳහන් කර නොතිබිණි.

    හම්බන්තොට වරායේ අදියර I, II සහ තෙල් ටැංකි සංකීර්ණය යන සියල්ල ඉදිකිරීම සඳහා ගත් මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,322කි. මෙහි මුල් ඇ.ඩො. මිලියන 307 කලින් සහනදායී පොලියට ලබාගෙන, ඉන්පසු වසරකට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට වෙනස් කළේ ඒ කාලයේදී ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනු සිදුවන පොලී අනුපාතය වන ලයිබෝ දර්ශකය ශීඝ්‍රයෙන් ඉහළ ගිය හේතුවෙනි. එම මුල් ණය මුදලේ සැබෑ පොලී අනුපාතය 6.5%දක්වා වැඩිවීම හේතුවෙන් තවදුරටත් එය වැඩිවීම වැළැක්වීමට 6.3%ක නිශ්චිත පොලියක් හැටියට නැවත වෙනස් කර ගැනීමට කටයුතු කෙරිණි. හම්බන්තොට වරාය සඳහා ඉතිරි ඇ.ඩො. මිලියන 1,000 ගෙන ඇත්තේ 02%ක සහනදායී පොලියටය.

    2012දී හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32ක්  බව නිව්යෝක් පුවත් සේවය වාර්තා කළද, 2014 වනවිට එම නැව් ගණන 335 දක්වා වැඩිවීම පිළිබඳ සඳහන් කිරීමට ඔවුන්ට අමතකව තිබේ. හම්බන්තොට වරාය 2014දී රුපියල් මිලියන 900ක හා 2015දී රුපියල් මිලියන 1,200ක  ලාභයක් ලැබීමට සමත් විය. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය මුදල ගෙවා දැමීම වෙනුවෙන් මෙන්ම හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම වෙනුවෙන් අපට සැලැස්මක් තිබූ අතර 2015 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය නොවුණා නම් හම්බන්තොට වරාය දකුණු ආසියාවේ ප්‍රධාන වරායක් බවට පත් කර ගැනීමට අවස්ථාව තිබිණි. එසේ වී නම් හම්බන්තෙට වරාය අද වනවිටත් ක්‍රියාත්මක වනු ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේය. අප කුරහන් සුවඳ තීරු ලිපිය ලිපියේදී සඳහන් කළේ හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් චීනයෙන් ලැබෙන මුදල් ඔවුන් ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවාගැනීම වෙනුවෙන් යොදාගන්නා බවයි. එය එසේම වූ අතර, වරාය බදු දුන්නද ඒ සඳහා ලබාගත් ණය මේ වනවිටත් ඒ ආකාරයෙන්  පවතී.

    එසේම මෙම ලිපිය ලියූ මාධ්‍යවේදිනිය කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයකදී ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනෙකු හමු වූ බව පිළිගෙන තිබිණි. ලිපියකට තොරතුරු ඕනෑම පාර්ශ්වයකින් ලබාගත හැකිවුවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් තොරතුරු ලබාගැනීමෙන් පැහැදිලි වන්නේ හුදෙක්ම මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කිරීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් බවයි. අනෙක් අතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට විරුද්ධව සතියකට වරක් මෙවැනි අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අණ්ඩුවේ පුරුද්දක් බවට පත්ව තිබේ.

    පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් එල්ල කළ අසත්‍ය චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිවීමත්, වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම බැඳුම්කර වංචාව ඇතුළු අනෙකුත් දූෂණ වසාගැනීමටත්  දැන් ජාත්‍යන්තර මාධ්‍ය යොදාගනිමින් තිබේ. වසර තුනහමාරක් රට ආපස්සට හැරවූ ආණ්ඩුව ඉතිරි වසර එක හමාර හෝ ජනතාවට සේවය කිරීමටද අදහසක් නොමැති බව මේ සිදුවීම් හරහා පෙනෙන්නට තිබේ.

    මෙරට උසස් අධ්‍යාපනය ලබන අහිංසක,  දුප්පත් උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරයද බැඳුම්කර වංචාවට යොදවා ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙමින් තිබේ. එය රුපියල් මිලියන 1000කට ආසන්න වංචාවක් බවද පැවසේ. නිව්යෝක් ලිපිය පළ වී පැය කිහිපයකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ගිය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද ජනතාව අවධානය යොමුකළ යුතු වෙයි.

    එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. එක්සත් ජාතික පක්ෂයට හෝ රන්ජන් රාමනායක මහතාට කොන්දක් තිබේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසද මෙහිදී පවසා සිටිමු.

    මේ රට පාලනය කරන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළුතරයත් මේ වනවිට පක්ෂ දේශපාලනයක නිරත වෙමින් සිටියි. මේ හේතුවෙන් රටේ ප්‍රශ්න බොහෝමයක් දැන් විසඳාගත නොහැකි තත්ත්වයට  පත්ව තිබේ. ජීවන වියදම ජනතාවට උහුලාගත නොහැකි ආකාරයට වැඩි වී තිබේ. උපාධිධාරීහු රැකියා නොමැතිකමින් මහමග සිඟා කමින් සිටිති. රාජ්‍ය අංශයේ බැලූ බැලූ තැන වැඩ වර්ජනය, එසේත් නොමැති නම් විරෝධතා ව්‍යාපාරය. මේ සියලු කාරණා පිළිබඳ අවධානය යොමුකරන විට ආණ්ඩුව දැන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ලිපිය යොදාගනිමින් තවත් දින කිහිපයක් ගත කිරීමට කටයුතු කරමින් සිටියි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!