• ඉන්දීය හොඳ හිත පළුඳු කර ගැනීම.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. පසුගිය සතියේදී පැවැති කැබිනට් හමුවේදී තමන් ඝාතනය කිරීම සඳහා ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවය සැලසුම් කරන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවා එය නොදන්නා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව මුලින්ම වාර්තා කළේ ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතයි.

    මෙම පුවත අසත්‍ය බවට කැබිනට් ලේකම් කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදන නිකුත් කළ අතර, ඒ නිවේදන තුනද පරස්පර විය. පසුව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේ එම පුවත වාර්තා කළ පසුගිය බදාදා දින පස්වරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග දුරකථන සංවාදයකට එක්වූ බවත්, දෙරට හොඳ හිත නැවත ඇතිකර ගත් බවත්ය.

    මෙම පුවත සැළවීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තර්ංජිත් සිංදු මහතාද ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා හමුවී එහි සත්‍ය, අසත්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් ඒ සියල්ල සිදු වූයේ ඉන්දු – ලංකා මිත්‍රත්වය ගැටලුවකට පත්කරමිනි.

    මේ අතර “ද හින්දු” ප්‍රකාශ සමූහයේ සභාපති එන්. රාම් මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේ, තම පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිනිය පළකළ අතිශය නිවැරදි වූ පුවත වෙනුවෙන් පෙනී සිටින බවයි. එම වාර්තාකාරිනියද සඳහන් කළේ තමන් අදාළ පුවත පාර්ශ්ව කිහිපයකින්ම තහවුරු කර ගත් බවයි.

    මෙවැනි තත්ත්වයක් යටතේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩලයේ “රෝ” ඔත්තුකරුවන් සිවුදෙනෙකු සිටින බවත්, ඔවුන්ගේ නම් ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත්ය. මෙයද ඉතා බරපතළ ප්‍රකාශයකි. මන්දයත් ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කර නොමැති බවට පවසන අවස්ථාවේදී ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු තම කැබිනට් මණ්ඩලයේ “රෝ” ඔත්තු සේවයට සම්බන්ධ අමාත්‍යවරුන් සිටින බවට ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ ජනපතිවරයා එවැනි ප්‍රකාශයක් කළ බවට වක්‍රාකාරයෙන් තහවුරු කිරීමකි.

    මෙම කැබිනට් හමුවේදී ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර මතගැටුමක් ඇතිවී තිබූ බවද මාධ්‍ය වාර්තා කළේය.

    එවැනි තත්ත්වයක් පවතිද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී ඉන්දීය නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අත්සන් කළ හවුල් ව්‍යාපාර ගිවිසුම් ක්‍රියාත්මක නොවීම ගැන තමන් කනගාටු වන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ බවයි.

    මෙයින් අග්‍රාමාත්‍යවරයා වක්‍රාකාරව පවසන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදිය යුතු බවයි. අනෙක් අතින් මෙය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදු වූ අභ්‍යන්තර සාකච්ඡාවකි. එවැනි තත්ත්වයක් යටතේ මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම හරහා අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ දැනුවත් වීම වටී.

    කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ හමුව සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක එවැනි කිසිවක් සඳහන් නොවූ අතර, ඔවුන් සඳහන් කළේ එම හමුව සාර්ථකව අවසන් වූ බවත්, දෙරට අතර සබඳතා තවදුරටත් සාර්ථක වූ බවත්ය.

    මේ කාරණා දෙකෙන් පැහැදිලි වන පොදු කරුණු කිහිපයක් පවතී. එකක් නම්, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අතර පවතින මතගැටුම මේ වන විට ඉතා උග්‍ර අතට පත්ව ඇති බවයි. අනෙක් කරුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකාවේ සම්පත් විදේශයන් වෙත අලෙවි කිරීමේ කටයුත්තේ අඛණ්ඩව නියැළී සිටින බවයි. මෙවැනි ආකාරයකට ආණ්ඩුවක් ඉදිරියට පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ ගැටලුවක් තිබේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය දිනෙන්දින දරුණු අතට පත්වෙමින් පවතින අතර, මෙම සටහන ලියන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දැවැන්ත ලෙස කඩා වැටෙමින් තිබිණි. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (22දා) වන විට ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 173 ඉක්මවා ගියේය. අනෙක් අතින් ආර්ථික අර්බුදය නිසාත්, අධික බදු බර නිසාත් ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ඔවුන්ගේ කර්මාත්ත වැසී යන තත්ත්වයට පත්ව තිබේ.

    හම්බන්තොට වරාය චීනයට බදු පදනම ලබා දුන්නද, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිදු සටහනක් නොමැති අතර, එහි රාජ්‍ය ආයතන පවත්වා ගැනීම වෙනුවෙන් කුලී ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

    වරායේ ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූවද, ඒ වෙනුවෙන් ඔවුන්ට  කුලී ලෙස වසරකට රුපියල් මිලියන 51ක් ගෙවීමට සිදුව තිබේ. අනෙක් අතින් විදුලිබල මණ්ඩලය එහි පවත්වාගෙන යන සුළං බලාගාරය වෙනුවෙන් රුපියල් මිලියන 23ක් වරායට කුලී ලෙස ගෙවා තිබේ.

    මෙම සුළං බලාගාරය ඉවත් කිරීමට මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ විදුලි සැපයුමයි. එයට විසඳුමක් ලෙස සූර්ය බලාගාර ගම්මාන ඉදිකිරීමට කටයුතු සකස් කළද, වත්මන් ආණ්ඩුව එම ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කළේය. අනෙක් අතින් දැන් ඔවුන් සුළං බලාගාරයද ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ කිසිම සැලසුමක් නොමැතිව රාජ්‍ය දේපොළ විකිණීමටත්, ඒවා වසා දැමීමටත් රජය කටයුතු කරමින් සිටින බවයි.

    ආණ්ඩුව සිදු කරන සෑම කටයුත්තකින්ම ඔවුන් අසාර්ථක තත්ත්වයට පත්ව තිබේ. මේ සඳහා හොඳම උදාහරණය බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට කටයුතු කිරීමය. හෙරොයින් ජාවාරම් මැඬලීමට ආණ්ඩුවට මේ හරහා බලාපොරොත්තු වන්නේ නම්, එය බන්ධනාගාර නිලධාරීන් සමග ඒකාබද්ධව සිදුකළ යුතුය. එවැන්නක් සිදු නොවීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් කරමින් සිටිනුයේ පොලිස් රාජ්‍යයක් වෙත බවයි.

    මේ අතර, මාලි රාජ්‍යයේ සාමසාධක කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලංකා භට පිරිස් කණ්ඩායමේ අණදෙණ නිලධාරී ලුතිනන් කර්නල් කළණ අමුණුපුරට එල්ල වූ මානව හිමිකම් චෝදනා අනුව නැවතත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීමක් අනුවය. ජනපති මෛත්‍රීපල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දිගින් දිගටම පවසන්නේ තමන් ජාත්‍යන්තර දිනාගත් බවයි. ජාත්‍යන්තරය දිනාගත්තේ නම් මෙවැනි දේවල් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් පවතී.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    සුබ අනාගතයක්!

     

  • ආනයන සීමා කිරීම විධිමත්ම කළ යුතුය.

    “කුරහන් සුවඳ” තීරු ලිපිය ආරම්භයේ පසුගිය සතියේදී උපන්දිනයන් සැමරූ හිටපු ක්‍රිකට් නායක තිලරත්න ඩිල්ෂාන් මහතාට හා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සුබ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. සුපුරුදු පරිදි මෙවරද %කුරහන් සුවඳ^ තීරු ලිපිය ලිවීමට සිදුව ඇත්තේ ජනතාවට අනේකවිධ දුක්කම්කටොලු සඳහා මුහුණ දීමට සිදුව ඇති අවස්ථාවකය. බදු බර, ඉන්ධන මිල ඉහළ යෑම ඒ අතරින් කිහිපයක් පමණි.

    ඉන්ධන මිල සූත්‍රය අනුව පසුගිය 10 වැනිදා නැවත වරක් තෙල් මිල ඉහළ ගියේය. බස් හිමියන්ගෙන් හා ධීවර කර්මාන්තකරුවන්ගෙන් ආණ්ඩුවට එල්ල විය හැකි විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව “ඔටෝ ඩීසල්” මිල පමණක් ඉහළ නොදැමීමට කටයුතු කළේය.

    මේ අතර, ලබන මාසය වන විට ඇමෙරිකාව ඉරානයට දැමූ සම්බාධක ක්‍රියාත්මක වීමත් සමග ලෝක වෙළෙඳ පොළ තුළ ඉන්ධන මිල ඉහළ යෑමට වැඩි අවස්ථාවක් ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය අනුව නොවැම්බර් මස 10 වැනිදාත් බොහෝ විට ඉන්ධන මිල වැඩිවීමක් සිදු වීමට ඉඩ තිබේ.

    කෙසේ වෙතත් වත්මන් රජයේ තවත් තීරණාත්මක අයවැයක් නොවැම්බර් මස 05 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ඇති අප්‍රසන්නතාව මගහරවා ගැනීම වෙනුවෙන් සහන ලබා දීමට කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇති ඇත. මීට අමතරව කෙටි කාලයකට ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට ඉඩක් ඇතැයි වාර්තා වෙයි.

    අනෙක් අතින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ ඉන්ධන මිල සූත්‍රය සතියකට වරක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඔහු ඉන්දියාව මෙන්ම සිංගප්පූරුවේද ඉන්ධන මිල සූත්‍රයන් ක්‍රියාත්මක බව සඳහන් කළේය. ඉන්දියාවේ හා සිංගප්පූරුවේ ආර්ථිකය සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය සන්සන්දනය නොකළ යුතු අතර, එම ආර්ථිකයන් අප මෙන් කිහිප ගුණයකින් විශාල ආර්ථිකයන්ය.

    අනෙක් අතින් ඉන්දියාවම උදාහරණයකට ගන්නේ නම්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ ගියද, එයින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් ඔවුන් තෙල් මත පැනවූ බදු අය කිරීමටත්, තෙල් මිල ඉන්දීය රුපියලකින් අඩු කිරීමටත් කටයුතු කරනු ලැබීය.

    පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරියක් කිහිප දෙනෙකු සමග සාකච්ඡාවකට සම්බන්ධ වීමට මා හට අවස්ථාව ලැබුණු අතර, එහිදී ඔවුහු තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳ දීර්ඝ විස්තරයක් කළහ. වර්තමානයේ පවතින අධික බදු බර හේතුවෙන් තමන් මුහුණදී ඇති ගැටලු පිළිබඳ ඔවුහු විස්තරාක්මක පැහැදිලි කිරීමක් කළහ.

    ශ්‍රී ලංකා ආර්ථිකය නව පිම්මකින් ඉදිරියට යෑමට නම්, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්‍ෂා කර ගැනීමට පසුගිය ආණ්ඩුව යටතේ මහින්ද රාජපක්‍ෂ මහතා සෑම පියවරක්ම ගත්තේය. ක්‍රමයෙන් ආනයනය සීමා කරමින් ඒ සඳහා වන ආදේශකයන් නිෂ්පාදය කිරීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පෙළඹවීමට අපි කටයුතු කළෙමු. අපෙන් ආණ්ඩුව භාරගත් වත්මන් පාලකයන් එම වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙනු ඇත.

    රුපියල මෙතරම් අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද සීමාවකින් තොරව සිදු කරන ආනයනයයි. ජනපතිවරයාම සඳහන් කරන්නේ සරුංගලයේ සිට සෑම දෙයක්ම ශ්‍රී ලංකාව ආනයනය කරමින් සිටින බවයි. එයට වගකිව යුත්තේද ජනපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවයි. ජනපතිවරයා හා අගමැතිවරයා ගැලරියට කතා කිරීම පසෙකලා පවතින මාස කිහිපය තුළ හෝ ජනතාවට සේවය කිරීමට කටයුතු කළ යුතුය.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආනයන සීමා කිරීමට කටයුතු කළේ ශීතකරණ, රූපවාහිනී ඇතුළු විද්‍යුත් උපකරණ ලංකාවට ගෙන ඒම සීමා කිරීමෙනි. නමුත් සිදු විය යුත්තේ එය නොවේ, මුලින්ම විකල්ප හඳුන්වා දෙමින් ජනතාව එයට පොලඹවා ක්‍රමයෙන් ආනයනය සීමා කිරීමට කටයුතු කිරීමය. එහිදී ජනතාවට ගැටලු සඳහා මුහුණ දීමට සිදු නොවේ.

    සභාග ආණ්ඩුවක් පිළිබඳ වන මාතෘකාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ හෙයින් පසුගිය දින කිහිපයේදී අයපහත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුව කටයුතු නොකළ අතර, එහිදී එම ජනතාව වෙනුවෙන් හැකි අයුරින් උදවු, උපකාර කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අපි මැදිහත් වීමු.

    පසුගිය සතියේදී අප ඔබට සඳහන් කළේ, සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පවත්වන සාකච්ඡාවේ ප්‍රතිඵලය ඔබට මේ සතියේදී “කුරහන් සුවඳ”  තීරු ලිපිය හරහා දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී සියලු මන්ත්‍රීවරුන් එකඟ වූ කරුණ වූයේ, සභාග ආණ්ඩුව පිළිබඳ අවසන් තීරණය ගැනීම මගේ පියාට ලබාදීමටය.

    සභාග ආණ්ඩුව යෝජනාවක් පමණි. අනෙක් අතින් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ නම්, මුලින්ම %ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය^ යන මතයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සිටින අතර, මාගේ අදහස වන්නේ යම් හෙයකින් සභාග ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එය “ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුම් දීමට වැඩපිළිවෙළක් සමග පිහිටුවිය යුතුය” යන්නය. “එය කිසිසේත් තම තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් කියාත්මක නොවිය යුතුය” යන මතයේ මම සිටිමි. මේ අතර, පසුගිය සතියේදී ව්‍යවස්ථාදායක සභාවත්, නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා මහතාත් පත්විය. මෙම දෙපාර්ශ්වයටම සිය කටයුතු අපක්‍ෂපාතී ලෙස කරගෙන යෑමට හැකිවේවායි යන්න අපගේ පැතුමයි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

  • ජනපතිට අමතක 21 වැනි සියවස.

    එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ ගැටලු විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉඩ ලබා දෙන ලෙස කළ ප්‍රකාශයට මම ද එකඟ වෙමි. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස අපේ ගැටලු පවතී නම්, එම ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු වන්නේද අපම හෙයින් දේශීය යාන්ත්‍රණයක් පිළිබඳ හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට විදේශීය මැදිහත්වීමක් සම්බන්ධයෙන් පාර කැපුවේද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙම ආණ්ඩුව බව සඳහන් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඇමෙරිකාව, එංගලන්තය, මැසඩෝනියාව, මොන්ටිනෙග්‍රෝ ඇතුළු රටවල් කිහිපයක් එක්ව ගෙන ආ යෝජනාවලියට ශ්‍රී ලංකාවද සමඅනුග්‍රහය දැක්වීම හරහා ශ්‍රී ලංකාවේ ගැටලු පවතී නම්, එය විසඳීම වෙනුවෙන් විදේශීය මැදිහත්වීමට රජය අවස්ථාව දුන් බව ජනතාවට අමතක නැත.

    එම යෝජනාවලිය ගෙන එන විට රටේ විධායක ජනපතිවරයා වශයෙන් විරුද්ධ වීමට ඔහු කටයුතු කළේ නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙවැනි ඉල්ලීමක් වර්තමානයේදී කිරීමට සිදු නොවනු ඇත. මෙම සමුළුවට සමගාමීව ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මතභේදාත්මක ප්‍රකාශයක් කළේය. ඒ යුද්ධයේ අවසන් සති දෙක තුළ සිදු වූ සිදුවීම් පිළිබඳවය.

    ඔහු සඳහන් කළේ, එම සති දෙකේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පැවැති හෙයින් එවක හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා, හමුදාපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම්වරයාද රටින් පිටව ගිය බවත්, ඒ හේතුවෙන් තමන්ට අවසන් සති දෙකේදී ආරක්‍ෂක ඇමතිකමේ වැඩ බැලීමට සිදූ වූ බවත්ය.

    මේ සම්බන්ධයෙන් එවක යුද හමුදාපති වූ අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැහැදිලි පිළිතුරක් ලබාදීමට කටයුතු කළේය. ඒ අනුව මට මෙහිදී යමක් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය නොවුණද, ජනතාව වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් පැවසීම මගහැරීමටද නොහැකිය.

    අවුරුදු දෙකයි, මාස නවයක කාලයක් පුරා පැවැති යුද්ධයෙන් කිසිදු අවස්ථාවක පැන යෑමට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා, ආරක්‍ෂක ලේකම්වරයා හෝ එවකට ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන්ගේ සිට සාමාන්‍ය සොල්දාදුවා දක්වා කිසිවෙකුට අවශ්‍යතාවක් නොතිබිණි.

    ජාත්‍යන්තර බලපෑම් හමුවේ පවා ආරක්‍ෂක අංශයන්ට පීඩනයක් නොදී යුද්ධයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය. එයිනුත් නොනැවතී ත්‍රිවිධ හමුදාවන් වෙනුවෙන් සාමාජිකයන් බඳවා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් මාගේ මල්ලී යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදාවට එක් කිරීමටද මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

    එතැනින් නොනැවතී ආරක්‍ෂක අංශවල අනතුරු ඇඟවීම් පිළිබඳ අවධානය නොතකමික් අපගේ විරෝදාර හමුදාවන් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයෙන් මුදවාගත් ප්‍රදේශ වෙත ගොස් පෞද්ගලිකවම රණවිරුවන් හමුවී ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කළේය. මෙවැනි කැපවීමක් කළ නායකයෙකුට යුද්ධයේ අවසන් සති දෙකේදී එයින් පලායෑමට අවශ්‍යතාවක් නොවිණි.

    එසේම ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳ මට හැඟීමක් නොවේ. නමුත් එතුමා දැන සිටිය යුතු කරුණක් වන්නේ ලෝකයම මේ වන විට විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බවයි. ඇමෙරිකාවේදී කරනු ලබන ප්‍රකාශයක් එම මොහොතේම ජනතාවට අසීමට, දැකීමට අවස්ථාව තිබේ. මේ බව ඔහුට අමතක වී ඇත. මීට වසර තිහ, හතළිහකට පෙර පොළොන්නරුවේදී කළ ප්‍රකාශයකට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් කොළඹදී කිරීමට හැකියාවක් තිබිණි. නමුත් විසිඑක්වැනි සියවසේදී නම් එවැනි දේ කිරීමට අවස්ථාවක් නොමැත.

    අනෙක් අතින් ජාත්‍යන්තරය පවසන පරිදි යුද්ධයේ අවසන් කාලයේදී මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සිදුව ඇත්තම් ඒ සඳහා වගකිව යුතු පුද්ගලයෙකු ලෙසද ජනාධිපතිවරයා හැඳින්විය හැකිය. අවසාන වශයෙන් මේ පිළිබඳ ප්‍රකාශ කිරීමට ඇත්තේ සිය ජනපති ධුරයේ අවසන් මාස කිහිපය ගතකරමින් සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමේ අදහසින් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් මෙවැනි ප්‍රකාශ සිදු කරන බවයි.

    රුපියල අවප්‍රමාණය වීමට ස්ථිර විසඳුම් නොදී මේ වන විට මුක්කු විසඳුම් ගසමින් රට ඉදිරියට පවත්වාගෙන යෑමට රජය කටයුතු කරමින් සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ වවනවාට අඩුවෙන් විදේශයෙන් ආහාර ගෙන්වා ජනතාවට ලබාදිය හැකි බවයි. පොල් මිල ඉහළ යන විට එක්සත් ජාතික පක්‍ෂයේම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ ලංකාවේ මිලට වඩා අඩුවෙන් පොල් ආනයනය කර ලබාදිය හැකි බවයි. මේ වන විට ඔවුන්ම ප්‍රකාශ කරන්නේ අපනයන ආර්ථිකයක් ලෙස රට දියුණු කිරීමට අවශ්‍ය බවයි. නමුත් ආණ්ඩුව දැන් එය සිදු කිරීමට උත්සාහ කරන විට සියලු දේ සිදුව හමාරය.

    මෙයින් පැහැදිලි වන්නේ අවුරුදු හතරක් තිස්සේ ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රධානව ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි බවට ඔවුන් පිළිගෙන ඇති බවයි. පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය සමයේදී මේ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබිණි. ක්‍රමයෙන් ආනයන සීමා කරමින් ඒ සඳහා ආදේශක රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ අතර, එහි අතිරික්තයන් අපනයනය කිරීමේ සැලසුමක්ද අපට තිබිණි.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආනයන සීමා කිරීමට කටයුතු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය ලබාදීම වසර එකහමාරකට කල් දැමීමට කටයුතු කිරීමය. කෙසේ වෙතත් මේ වන විට සියලු මන්ත්‍රීවරුන් තමන්ට හිමි බලපත්‍ර යොදා ගනිමින් වාහන ගෙන්වා අවසන්ය. එවැනි තත්ත්වයක මෙවැනි තීරණයක් ගත්තේ හුදු ජනතාවගේ පැහැදීමක් අපේක්‍ෂාවෙන් වුවද, මේ වන විට එහි නිරුවත  ජනතාව හමුවේ හෙළිව තිබේ. ජනතාවට පටි තදකර ගැනීමට  පවසමින් ඇමතිවරුන්ට වාහන ගෙන්වූ ආණ්ඩුව මෙම තීරණයෙන් පසුව තවදුරටත් ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්විය.

    නමුත් මෙම තීරණයේ බලපෑම ඇතිව තිබෙනුයේ අහිංසක රාජ්‍ය සේවකයන්ටය. අවුරුදු ගණනාවක් වැඩ කිරීමෙන් පසුව ඔවුන්ට හිමි වන වාහන බලපත්‍රය පවා ඔවුන්ට අහිමි කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

    පසුගිය දින කිහිපයේදී නැගෙනහිර පළාතේ ජනතාව සමග දින කිහිපයක් ගතකිරීමට අවස්ථාව ලැබුණු අතර, එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්ව දේශපාලන ප්‍රවාහයට පැමිණි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නැතහොත් අප සියලු දෙනාම දන්නා %පිල්ලෙයාන්^ හමුවීමටද අවස්ථාව ලැබිණි. මඩකලපුව බන්ධනාගාරයට ගොස් ඔහු සමග කෙටි සාකච්ඡාවකටද එක්වූ අතර, වසර තුනකට අධික කාලයක් තිස්සේ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රජය කටයුතු කර තිබේ. එසේම ජනතාව සමග පැවැති සාකච්ඡාවලදී ඔවුන් සඳහන් කළේ, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් පසුව කිසිදු සංවර්ධනයක් සිදු නොවූ බවයි. එසේම ඔවුන් දැඩි ආර්ථික අපහසුතා සඳහා මුහුණ දී සිටින අයුරු සියැසින්ම දැක ගැනීමට අවස්ථාව ලැබිණි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • එක්වන්නේ නම්, ජනතාව වෙනුවෙනි!

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ බලමණ්ඩල රැස්වීමකට එක්වීම සඳහා පසුගිය සතියේදී එංගලන්තයට පිටත්ව ගිය අතර, නැවතත් ඊයේ (08දා) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණි වහාම “කුරහන් සුවඳ” තීරු ලිපිය ලිවීම අරම්භ කළෙමි.

    එංගලන්තයේ පැවැති බලමණ්ඩල රැස්වීමට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර, ඔවුන් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු පිළිබඳ ඉහළ අවධානයක් යොමුකර ඇති බවත්, ඒ පිළිබඳ හොඳින් දැනුවත් වී ඇති බවත් පැවැත්වූ සාකච්ඡාවලදී දක්නට ලැබිණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විදෙස් බලමණ්ඩල කිහිපයකට මා එක්වූ අතර, ඒ සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන අයුරු දක්නට ලැබීම කැපීපෙනෙන සාධකයක් විය.

    ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය මෙන්ම ජනතාව මුහුණදී ඇති ආර්ථික අපහසුතා පිළිබඳ ඔවුන් හොඳින්ම දැනුවත්ව තිබිණි. එසේම අප සමග අදහස් හුවමාරු කරගත් ව්‍යාපාරිකයෝද ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනාත්මක කතා කරන්නට වූහ.

    මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය සභාග ආණ්ඩුවක් පිළිබඳ යොමුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ව මෙම සභාග ආණ්ඩුව පිහිටුවීමට යන බව මාධ්‍ය වාර්තාවල පළවෙමින් තිබේ.

    මේ පිළිබඳ මන්ත්‍රීවරුන් ලෙස අපේ අදහස ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉන් අනතුරුව “කුරහන් සුවඳ” ලිපිය හරහා ඒ බව ඔබට දැනුම් දීමටද කටයුතු කරමි. පක්‍ෂයේ නායකයන් එක්ව ගනු ලබන තීන්දුවකට එකඟ වීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් ගන්නා තීන්දුව රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් සුබවාදී තීන්දුවක් විය යුතුය යන්න මාගේ අදහස වෙයි.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධුරයට පත්වනුයේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පළිගැනීමේ වුවමනාවෙන් විනා රට සංවර්ධනය කිරීමේ කිසිදු චේතනාවකින් නොවේ.  පොදුජන පෙරමුණ නැවත වරක් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට යන්නේ හුදෙක්ම රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමෙන් පළිගැනීමට නම්, එවැනි ආණ්ඩුවක් බිහිකිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව මාගේ අදහසයි.

    ඒකාබද්ධ විපක්‍ෂ පක්‍ෂ නායකයන් මෙම තීරණය ගත යුත්තේ රටේ අනාගතයට වැඩපිළිවෙළක් ඉදිරිපත් කර එය මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක්ය යන්න මාගේ අදහසයි.

    සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා එක්වූයේ පළිගැනීමේ අපේක්‍ෂාවෙනි. මෙම සභාග ආණ්ඩුවත් එවැනි අරමුණකින් එක්වන්නේ නම්, ජනතාවට එයින් සෙතක් අත්නොවේ.

    අනෙක් අතින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සභාග ආණ්ඩුවක් පිළිබඳ තම එකඟතාව ප්‍රකාශ කරන්නේ නැවත වරක් ජනපති ධුරයට පත්වීමේ අපේක්‍ෂාවෙන් නම්, එයද සිදු නොවිය යුතුය. ඔහු යම් හෙයකින් සභාග ආණ්ඩුවක් පිළිබඳ එකඟතාව ප්‍රකාශ කරන්නේ රටේ ජනතාව පිළිබඳ සිතමින් නම්, මීළඟ ජනපති අපේක්‍ෂකයෙකු පිළිබඳ කටයුතු කළ යුතුය යන්න මාගේ අදහසයි.

    අනෙක් අතින්  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ගෙනෙන යෝජනාව ජනපති අපේක්‍ෂකත්වය නම්, එය හුදෙක්ම රට ගැන සිතා ගන්නා තීරණයක් නොවේ. මේ අනුව  රටේ ඊළඟ ජනාධිපතිවරයා හා අගමැතිවරයා තෝරා ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබිය යුතු අතර එය ඔවුන්ගේ තීරණයකි.

    යම් හෙයකින් අප ආණ්ඩුවක් නිර්මාණය කළා යැයි උපකල්පිතයකට පැමිණිය හොත් එසේ නිර්මාණය කරන ආණ්ඩුවේ ප්‍රධානම අංගයක් විය යුත්තේ ජනතාවට ඇත්ත පැවසීමට කටයුතු කිරීමය.

    අවුරුද්දක දෙකක වැඩපිළිවෙළක් මෙහිදී ඉදිරිපත් කළ යුතු අතර කාලවකවානු අනුව ගන්නා තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලැස්මක් තිබිය යුතුය. මුලින් ආණ්ඩුවක් නිර්මාණය කර පසුව වැඩපිළිවෙළක් සකස් කිරීම ප්‍රායෝගික නොවේ.

    උදාහරණයක් ලෙස මේ වන විට ජනතාව දැඩි බදු බරකින් පෙළෙයි. මෙම ගැටලුවට එක් රැයකින් විසඳුමක් ලබාදිය නොහැකිය. කෙසේ වෙතත් එය විසඳීමට යම් කාලයක් ගතවන අතර, එම කාලසීමාව කුමක්ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතුය. වත්මන් ආණ්ඩුවෙන් ජනතාව බැටකන ප්‍රධානම ක්‍ෂේත්‍රයක් වනුයේ රටේ බදු බරය. මේ හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය පළුඳු වී අවසන්ය.

    මේ අතර, රුපියල අවප්‍රමාණය වීමද දැඩි ගැටලුවක් බවට පත්ව තිබේ. ආර්ථික විශේෂඥයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මීට දින කිහිපයකට පෙර සඳහන් කළේ, රටේ විදේශ විනිමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විදෙස් සංචාරයකට එක් නොවන බවයි. ඔහු ඒ කියමන ප්‍රකාශ කර උණුසුම් යෑමටත් මත්තෙන් මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් විදෙස්ගතව තිබේ.

    පසුගිය මහින්ද රාජපක්‍ෂ සමයේදී %සීෂෙල්ස්^ සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කරන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මහින්ද රාජපක්‍ෂ මහතාගේ කළුසල්ලි සැඟවීමට එසේ කටයුතු කරන බවයි. ජනාධිපතිවරයා මේ සටහන ලියැවෙන විට “සීෂෙල්ස්” සංචාරයකට එක්ව තිබේ. මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මතය කුමක්දැයි යන්න පැහැදිලි කළ යුතු වෙයි.

    අනෙක් අතින් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සටන වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා යුරෝපයට පැමිණි අතර, එහිදී ඔහුට විදේශ විනිමය ගැන බලාපොරොත්තුවක් නොපැවැතියේද ‍යන්නත් විමසීමට අවස්ථාවක් කර ගනිමි.

    පාලකයන් පිටරට යෑම ඩොලරයේ කඩාවැටීමට හේතුවක් නොවේ.  අනෙක් අතින් ලෝක වෙළෙඳ පොළෙ කඩාවැටීමද ලංකාවේ රුපියල කඩා වැටීමට හේතුවක් නොවේ. එය අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සිදු වූවකි. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රැඳී සිටීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මේ තරමටම කඩාවැටීමකට ලක්විය.

    අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් තරගයට මෙන් විදේශ සංචාර සඳහා එක්වුවද, එයින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිඵල කුමක්දැයි යන්න ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතු වෙයි. ගිවිසුම් රාශියක් අත්සන් කළද මේ දක්වා පැමිණි ආයෝජනයක් හෝ පිටරට රැකියා අවස්ථා ලැබීමක් හෝ සිදුවූයේදැයි යන්න ජනතාවට පැහැදිලි කළ යුතු වෙයි. එසේ කිසිදු ආකාරයක වාසියක් ශ්‍රී ලංකාවට අත්වුණු බවක් පෙනෙන්න නොවේ.

    පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විදේශ නිල සංචාර සඳහා එක්වූවා නම්, විදෙස් ආයෝජන ලබා ගැනීම ප්‍රමුඛස්ථානයක තිබූ අතර, එහිදී අපට ජනතාව වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන කිහිපයක්ම ලබා ගැනීමට අවස්ථාව තිබිණි.

    ලබන සතියේදී හමුවෙමු!

    ඔබට සුබ අනාගතයක්!

     

  • මර්දනයට එරෙහි “ජනබලය” කුරුණෑගලට

    “ජනබලය” විරෝධතාව අවසන්ව දැන් සති දෙකකටත් ආසන්න කාලයක් ගතවී අවසන්ය. එම සාර්ථක විරෝධතාව අවසන් කර අප ඊළඟ අදියර පිළිබඳ අවධානය යොමු කරමින් සිටින විට ආණ්ඩුවේ පාර්ශ්ව තවමත් එහි සාර්ථක, අසාර්ථකභාවයන් පිළිබඳ කතා කරමින් සිටියි. ආණ්ඩුව මෙම විරෝධතාව අසාර්ථක බව පවසන වචනයක් පාසා එයින් පිළිබිඹු වන්නේ එම විරෝධතාව සාර්ථක වූ බවයි. “ජනබලය” විරෝධතාවෙන් පසුව ආණ්ඩුව තුළ පවතින දෙදිරීම මේ වන විට ශීඝ්‍ර වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

    ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු, හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් ලෝක් සභා මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනාවකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් ඉන්දියාවේ සංචාරයකට එක් විය. නවදිල්ලි නුවර පැවැති රැස්වීමක් ඇමතීම වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට මෙම ආරාධනාව ලැබී තිබිණි.

    එහිදී මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීමක් දක්නට ලැබුණු අතර, ඔහුගෙන් සම්මුඛ සාකච්ඡා ලබා ගැනීමට ඉන්දීය මාධ්‍ය අතර දැඩි සටනක් තිබුණු බව දැකගත හැකි විය. රැස්වීමේදී අනාගත රජයකදී ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.

    ඉන්දීය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඉතා සුහද මෙන්ම පෞද්ගලික සාකච්ඡාවකටද එක්වීමට අපට අවස්ථාව ලැබිණි. නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් කටයුතු කළේ, මහින්ද රාජපක්‍ෂ මහතාය. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමට පවා එක්වීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේය.

    කෙසේ වෙතත් මෝදි මහතා හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඉතා දීර්ඝ කාලයක පටන් සුහදතාවක් පවතින අතර, ඔහු මහඇමති ධුරයේ කටයුතු කරන කාලයේ පටන් මහින්ද රාජපක්‍ෂ මහතාත් සමග සමීපව කටයුතු කළේය. මෝදි අග්‍රාමාත්‍යවරයා හමුවීම හරහා පැරණි මිතුදම් තවත් ශක්තිමත් කිරීමටත්, එම මිතුදම අලුත් කරමින් නව මානයකට පැමිණීමටත් අප හට අවස්ථාව ලැබිණි.

    කොංග්‍රස් පක්‍ෂය හා පැවැති සාකච්ඡාද ඉතා සාර්ථකව අවසන් විය. ගාන්ධි පවුල හා රාජපක්‍ෂ පවුල අතර සමීප සබඳතාවක් පවතින අතර, ගාන්ධි පවුලේ අනාගතය වන රාහුල් ගාන්ධි මහතා සමගද යහපත් සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි. ඔහු මාගේ සමීප මිතුරෙකුද වෙයි. කොංග්‍රස් පක්‍ෂය නියෝජනය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය අවසන් වරට හෙබවූ මංමෝහන් සිං මහතාද ඉන්දියාවේ වත්මන් සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් කිරීමට සමත් වූ පුද්ගලයෙකු වෙයි.

    ඔහු විශේෂයෙන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවේ සංවර්ධන වෙනුවෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළේය. එසේම ඔහු විසින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රාජ්‍යතාත්ත්‍රික සබඳතා ශක්තිමක් කිරීම පිළිබඳ %‘ට්‍රයිකා’ කමිටුව පත්කරනු ලැබීය. එයට ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් තිදෙනෙකු හා ශ්‍රී ලංකාවෙන් රාජ්‍යතාන්ත්‍රිකයන් තිදෙනෙකු පත්කර තිබිණි. මෙය නැවත සක්‍රිය කිරීම පිළිබඳ මෙන්ම ඒ හරහා දෙරටම අත්කර ගත් ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීමටද අවස්ථාව ලැබිණි.

    ඉන්දීය සංචාරයේ තොරතුරු එතැනින් අවසන් කරමින් ආණ්ඩු විරෝධී සටන පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අවස්ථාවක් කර ගනිමි. අපි ලබන සතියේදී “මර්දනයට එරෙහිව ජනබලය” නමින් දැවැන්ත රැස්වීමක් සංවිධානය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිමු. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කතා කිරීමටත් මෙම රැස්වීම අවස්ථාවක් වන අතර, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාද එයට එක්වීමට නියමිතය.

    මේ අතර, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් පොලීසියේ ඉහළම නිලධාරියෙකු වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට චෝදනා එල්ල වී තිබේ. සටහන ලියැවෙන අවස්ථාව වන විටත් ඔහු අත්අඩංගුවට ගෙන නොතිබුණු අතර, ඔහු තොරතුරු තාක්‍ෂණ ඒකකයට මාරු කිරීම පමණක් සිදුකර තිබිණි.

    මෙය  සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. මන්දයත් රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම පිළිබඳ වන කුමන්ත්‍රණයක් මෙයින් කියැවිණි. මේ පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණකි. මෙහිදී රනිල් වික්‍රමසිංහ නොමැතිව නාමල් රාජපක්‍ෂ යන නම තිබුණේ නම් කුමක්වේදැයි යන්න පිළිබඳ ඔබට අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

    මේ හා සමාන සිදුවීමක් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පිළිබඳ වන සිදුවීමද සැලකිල්ලට ගත යුතුය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළ වූ කරුණක් සැලකිල්ලට ගෙන හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ සාමාන්‍ය පැමිණිලි අනුවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ කුමන්ත්‍රණයට වගකිව යුතු අය තවමත් අත්අඩංගුවට පත්ව නොමැත.

    මෙහි පරීක්‍ෂණ ඉතා මන්දගාමී ස්වරූපයකින් ගමන් ගන්නා අයුරු පෙනෙන්නට තිබෙන අතර, ඒ හරහා ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් එක්ව කළ කාර්යයක්දැයි මා හට මෙහිදී සැකයක් නිර්මාණය වී තිබේ. කෙසේ වුවද ආසන්න කාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම නායකත්වය පෙන්වීම සඳහා ළමා ක්‍රම උපයෝගී කර ගන්නා අයුරුද පෙනෙන්නට තිබේ.

    ශ්‍රී ලංකන් කජු ප්‍රශ්නය හා වියනා තානාපති කැඳවීම මේ සඳහා හොඳම උදාහරණ වෙයි. ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ලබා දෙන කජු පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ජනාධිපතිවරයා සිදුකළ යුතුව තිබුණේ එය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්යමණ්ඩලය සමග විසඳා ගැනීමට කටයුතු කිරීමය. එය ජාත්‍යන්තරට ප්‍රකාශ කිරීම හරහා අවසානයේ අවනම්බුවක් ඇතිවනුයේ රටටමය. මන්දයත් ශ්‍රී ලංකන් යනු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන හෙයිනි.

    ඔස්ට්‍රියාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීම මත වියනා නුවර තානාපතිනිය ඇතුළු තානාපති කාර්යමණ්ඩයේ කිහිප දෙනෙකු නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබිණි. දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූවා නම් ප්‍රථමයෙන් කළ යුතුව තිබුණේ එයට හේතු කුමක්ද යන්න සොයා බැලීමය. දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ තානාපති නිලධාරීන් කැඳවද්දී මිනිස් ජාවාරමට සම්බන්ධ වූ ඉතාලියේ තානාපති නිලධාරීන් පිරිසක් පිළිබඳ වාර්තා වූ තොරතුරු පිළිබඳ ජනාධිපතිවරයා ක්‍රියාත්මක නොවීම පුදුමයට කරුණකි.

    ලබන සතියේදී යළිත් හමුවෙමු!

    ඔබට සුබ අනාගයත්!